පයට පාවහන්, බොන්නට දිය පොදක් බස් එකේ යන්න වත්කමක් නෑ
ලෝක ගුරු දිනය සමරන මොහොතක සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් සපයමින් ආදරණීය පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් දිවා රාත්‍රී දෙකේම කැපවන පාසලක් ගැන තොරතුරු දැනගන්නට ලැබිණි. ඒ අම්පාර, වරාපිටිය විiාලය පිළිබඳවයි. අම්පාර නගරයේ සිට කිලෝමීටර් 25ක් ඇතුළට වන්නට මේ පාසල පිහිටා තිබේ.
මෙම විදුහලේ ගුරුවරුන් දිවා කාලයේ සාමාන්‍ය පරිදි පාසල් පවත්වා නැවත සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා රාත්‍රී පාසලක් ද ක්‍රියාත්මක කරති. ඒ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන් සඳහා ය.
එක බත් පතේ කෑම කන සිසුන් සහ ගුරුවරුන්
මෙහිදී අදහස් දැක්වූ විදුහලේ උසස් පෙළ උගන්වන ආචාර්ය බී. එම්. ගාමිණී බස්නායක මහතා මෙසේ පැවැසීය.
“මේ දරුවන්ට තියෙන ප්‍රශ්නය තමයි ඉගෙන ගන්න පහසුකම් නැති එක. මේ දරුවන්ගේ දෙමාපියන්ට ටියුෂන් පන්තියකටවත් යවන්න සල්ලි නැහැ. ඒ තරම් අපහසුතා මැදයි දෙමාපියන් දරුවන්ව පාසලට එවන්නේ. දරුවන්ට බස් එකේ යවන්නවත් සල්ලි නැහැ. මේගොල්ලන්ට තියෙන එකම දේ ඉගෙන ගන්න එක. අපේ මේ මහන්සිය මත තමයි මේ දරුවෝ ටික පාස් වෙන්නේ. එක දෙයයි කියන්න තියෙන්නේ, මේ ආදරණීය දරුවන්ට උදව් කරන්න පුළුවන් පරිත්‍යාගශීලීන් ඉන්නවා නම් උදව් කරන්න. ඒක ලොකු පිනක්.”
නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙසේ කීය.
“ ගුරුවරු වන අපි, දරුවන් ඉදිරියට ගේන්න උපරිමයෙන් කැපවෙනවා. අම්පාර නගරයේ ඉඳලා කිලෝමීටර් 25ක් ඇතුළට එනකොට හුදෙකලා වෙච්ච දරුවො ටිකකට තමයි අපි අපේ කැපකිරීම කරන්නේ. මේ දරුවන්ට අපි කැපවෙන්නේ නැතිව කව්ද කැපවෙන්නේ. මේ දරුවන්ගේ අම්මලා, තාත්තලා හුඟක් ගොවියෝ” දෙමාපියෝ මෙසේ කියා සිටියහ.
“මේ ගුරුවරු කරන කැපවීම අපිට අමතක වෙන්නේ නැහැ. අද බොහෝ ඉස්කෝලවල උගන්වන්නේ නැහැ. ඇතැම් පාසල්වල භාගෙට උගන්වන්නේ. මේ නිසා දෙමාපියෝ අමතර පන්තිවලට දරුවො යවනවා. ඒත් අපිට එහෙම පන්ති යවන්න සල්ලි නැහැ. එහෙම වෙලාවක මේ ගුරුවරු අපේ දරුවන් වෙනුවෙන්ම කැපවෙන එකට පින්සිද්ධ වෙනවා.”
මෙම විදුහලට පානීය ජලය නොමැති අතර ගම්මානයේ ජනතාව දැඩි වෙහෙසක් දරමින් දරුවන්ට පානීය ජලය සපයා දීමට දැඩි වෙහෙසක් දරති.
එසේම, පාසලට පැමිණෙන බොහෝ දරුවන්ට සපත්තු පැලඳීම සිහිනයක් බවට පත් වී තිබේ. සපත්තුවක් අරන් දීමටවත් එම දෙමාපියන්ට මුදල් නොමැත.
කෙසේ වෙතත්, පාසලේ ගුරුවරුන් තමන්ට හැකි අයුරින් ආදරණීය දරුවන්ගේ වැඩකටයුතුවලට උපකාර කරමින් ඔවුන්ගේ නැණැස පාදන්නට වෙහෙසීම සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් සපයනවාට කිසිදු සැකයක් නොමැත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්