දෙදෙනාගේ සමීප ඇසුරක් තිබිලා මිතුරාට පිහියෙන් ඇන මැරූ තරුණයා එල්ලුම් ගස්

883

ලිහිල් දඬුවමක් දෙන්නැයි ඉල්ලූ මැරුම්කෑ තරුණයාගේ මව උසාවියේදී සිහිසුන්ව වැටෙයි

තමා ගැන නිසි සැලකිල්ලක් නොදක්වා සම වයසේ සිටි මිතුරන් සමග මුහුණු පොත ඔස්සේ සබඳතා පැවැත්වීම නිසා කෝපයට පත්වී සිය මිතුරාට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01 දා) මරණ දඬුවම නියම කළේය.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් සක්රීම් නමැති එම විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම නියම කළේය. 2014.8.13 වැනිදා එවකට 17 හැවිරිදි තරුණයකු වූ සිය පුත්‍රයා ඝාතනය කිරීමේ චෝදනාවට එම විත්තිකරු අධිකරණය විසින් වරදකරු බවට නිගමනය කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ ඝාතනයට ලක්වූ තරුණයාගේ මව විත්තිකරුට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඇයගේ ඉල්ලීම නොතකා අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ අවස්ථාවේදී එම කාන්තාව සිහිසුන්ව විවෘත අධිකරණය හමුවේ ඇදවැටුණාය. ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල් (67063) ලක්මාල් මහතා පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. මරණ දඬුවම නියම වූ තරුණයා ඝාතනය වූ තරුණයා ඉතා සමීපව ඇසුරු කර ඇති බවත් මරණකරු ඔහුගේ සම වයසේ පසුවන මිතුරන් සමග ඇසුරු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුගේ මනාපයක් නොතිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. මරණ දඬුවම ලැබූ තැනැත්තා ඝාතනය වූ තරුණයාට වඩා අවුරුදු පහකින් වැඩිමහල්ය. විත්තිකරු එකී ඝාතනය සිදුකරන අයුරු තහවුරු කිරීමට ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නොතිබුණත් මරණකරු සිදුකළ මරණාසන්න ප්‍රකාශය මත පදනම්ව ඔහු වරදකරු කරනු ලැබීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment