සිරුරේ කොටස් රස පරීක්ෂකට
දෙමටගොඩ දුම්රිය අංගනයේ අනාරක්ෂිත ළිඳක තිබී සොයාගත් දුම්රිය තාක්ෂණික ශිල්පියාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් බවත්, සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (07 වැනිදා) තීරණය කළ බවත් දෙමටගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.
අදාළ දුම්රිය සේවකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07 වැනිදා) උදේ ආරම්භ කළ බවත්, එය පැය 3 ක කාලයකදී අවසන් කළ බවත් හෙතෙම කීය. මෙලෙස මියගොස් තිබුණේ මාතර, වැලිගම පදිංචිව සිටි සුජීව කුමාර නමැති 47 හැවිරිදි අයෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මෘතදේහය මියගිය දුම්රිය සේවකයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන්ට භාරදුන් බව ද හෙතෙම කීය.
මෙම දුම්රිය සේවකයාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ සවස් වනවිට පුද්ගලයන් 12 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද හේ කියා සිටියේය.
ඒ පිරිස අතර, දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් සහ ඔහුගේ බිරිඳ වන බවද හෙතෙම කීය.
මේ පිළිබඳව දෙමටගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිතනන්ද මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා