දෙවියන් ගැන සාහිත්‍ය – ශ්‍රී රාහුල හිමියන් අබියස පෙනී සිටි ශ්‍රී විභීෂණ දිව්‍ය රාජයා

84

එදා සැළලිහිණියා පියාසර කළේ කැලණි පුවරය වෙතය!

පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට
කැලණියට පැමිණි සැළලිහිණියා හට දෑස පුරා

විභීෂණ සුරිඳුන් දැක ගන්නා ලෙස කතුවර හිමියෝ නියම කළහ.

මෙසේ පැවැති අනතුරු ගී රැඟුම් පුද
තොසේ සිතින් වැඩ සිටි පුර විමන් වැද
යසේ පතළ දියතුළැ උතුල මන නද
ඇසේපුරා දකු-විභීෂණ සුරිඳු සඳ


සැළලිහිණි සඳෙසේ අනූදෙවැනි කවියෙන්
වීභීෂණ දෙවියන් යනු කාගේ කවුරුන්ද
යන වග පැහැදිලි කෙරේ.

තුන්ලෝ තමා නතුකළ රවුළු සොහොයුරූ
තුන්කල් බලා රමිඳුට වූ ඉටු මිතුරූ
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරූ
තුන් විටෙකම වඳු එ සුරිඳු පා තඹුරූ

තුන් ලොව තමාට අවනත කරගත් රාවණ රජුට
සොහොයුරු වූ තුන් කල් බලා රාම රජු හට
කල්‍යාණ මිත්‍ර වූ තුන් වේදයට ඇදුරු වූ
පුලස්ති නම් ඉර්ෂීහුගේ වංශයට
මැණික් පහනක් වූ ඒ දෙව් රජුගේ පා පියුම්

තුන් වරක්ම වඳින ලෙස සැළලිහිණියාට නියම කෙරේ.

ක්‍රි.ව. 1412-55 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍යත්වය දැරූ හයවැනි සිරි පැරකුම්බා නිරිඳුගේ කාලය තුළ තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් මෙම සැළලිහිණි සන්දේශ කාව්‍යය රචනා කර තිබේ. මක් නිසාද යත්, පැරකුම්බා රජුගේ කනිෂ්ට දියණිය වූ උලකුඩය හෙවත් ලෝකනාථා දේවියට පින්වත් පුත්කුමරකු ලබා දෙන ලෙස විභීෂණ දෙවියන් යදිනු සඳහා සැළලිහිණියකු දූතයකු ලෙස යොදා ගනිමින් ජයවද්දන පුරයේ සිට කැලණි පුරයට යැවෙන සේ සැළලිහිණි සන්දේශය ලියන ලදී.

පාඨකයා ඉදිරියේ සජීවී ලෙස මැවීපෙනෙන මහානුභාව සම්පන්න දෙවියකු මැවූ, රාහුල ස්වාමි පාදයාණෝ, සිරිත් පරිදි කැලණියේ පුදබිම වන්දනා කරගැනීමට වැඩම කළහ. විභීෂණ දෙවියන් හිස සිට දෙපතුල දක්වා පi පසළොසකින් වර්ණනා කරමින් සන්දේශ කාව්‍යය වර්ණවත් කළ හැටි උන්වහන්සේට මේ මොහොතේ සිහිපත් වන්නට ඇත.

ශ්‍රී රාහුල හිමිපාණෝ, කැලණියේ සෑ මළුවත් බුදු මැඳුරත් බෝමළුවත් වැඳපුදාගෙන සුළු මොහොතක් භාවනාවට සමවැදී වැඩහුන් සේක. ප්‍රතාපවත් කාළවර්ණ දේහයකින් යුත් පුද්ගලයෙක් උන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියේය. ඔහුගේ වර්ණය කළුය. ඇස් රතුය. රතු පාට මුඛය දෙකෙළවර දෙපසට විහිදෙන දළ යුගලයකි. මේ බලගතු පුද්ගලයා උන්වහන්සේ දෙසම බලා සිටියේය. ඔය ඇත්තා කවුද? උන්වහන්සේගේ ප්‍රශ්නය විය. මම ශ්‍රී විභීෂණ! ඒ පිළිතුරත් සමග දෙවියෝ අතුරුදන් වූහ. එවකට කැලණි විහාරයේ අධිපති නාහිමියන් හමුවී තොටගමුවේ සිරි රහල් හිමියෝ මේ පුවත සැලකර සිටියහ.

ඉන් පසුව කැලණියේ දේවමන්දිරය තුළ රාහුල හිමියන් දුටු දෙවියන්ගේ රූප සෝබාව චිත්‍රයට නැඟුණි. අදටත් එම බිතුසිතුවම දුර්වර්ණ වී කැලණියේ විභීෂණ දේවාලය තුළ පවතින අතර එම චිත්‍රය එපරිද්දෙන්ම ප්‍රතිමාවක් ලෙස නිර්මාණය වී වර්තමානයෙහි පුදසත්කාර ලබමින් සිටියි. වර්ෂ 1557 දී පරංගින් විනාශ කළ කැලණි විහාරය යළිත් කටුකොහොල් හරවා දියුණු කිරීම ආරම්භ වූයේ 1888 වසරේ සිටය.

දෙවියන් ගැන සාහිත්‍ය - ශ්‍රී රාහුල හිමියන් අබියස පෙනී සිටි ශ්‍රී විභීෂණ දිව්‍ය රාජයා

කතරගම –
නිමල් කුඩාතිහි


advertistmentadvertistment