දෙස බස රැස එළිය කළ මිණිපහන් විල්හෙල්ම් ගයිගර් මහා පඬිවරයා

101

මහාවංශ පෙළ ශුඬකොට එංගලන්තයේ මුද්‍රණය කරවීමෙන් ද එය ඉංග්‍රීසියට නඟා පළකරවීමෙන් ද ගයිගර් මහතාගේ නම ලාංකිකයන් අතර ප්‍රකට වූවකි. එසේම සිංහල මහා අකාරාදියට ගුරුකම්දීම සඳහා ඒ මහතා මෙහි පැමිණ සිටි බැවින් බොහෝ දෙනෙක් එතුමා ගැන දනිත්. ජර්මනියේ බැවේරියාවේ අගනුවර වූ ම්‍යුනික් පෙදෙසෙහි 1856දී උපන් මෙතුමා ම්‍යුනික් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු ඓරේනීය භාෂාවන් පිළිබඳ ආචාර්ය ධුරය දැරීය. බෞද්ධ සාහිත්‍යය ගැන මහත් ඇල්මක් දැක්වූ මේ මහතා පළමුවර 1895දී ලක්දිවට පැමිණියේය. මෙහිදී සිංහල භාෂාව ගැන පරීක්ෂණ පැවැත් වූ ඒ මහතා 1897දී Sinhalischen Etymologie නමැති සිංහල නිරුක්තිය පිළිබඳ ග්‍රන්ථයක් පළකරවීය. 1900දී Litteratur und Sprache der Singhalischen (සිංහලයන්ගේ භාෂාව හා සාහිත්‍යය) නමැති පොතක් පළකරවීය.

අපේ “දීපවංශ මහාවංශ” සහ පාලි ඉතිහාස පොත් දෙක ගැන විවේචනයක් ඒ මහතා විසින් ජර්මන් බසින් ලියන ලදින් 1905දී ලයිජගින් නුවරදී පළවිය. ඒ පොත “ඇතැල් ඇම්. කුමාරස්වාමි” මැතිනිය විසින් ඉංග්‍රීසියට නඟන ලදීත්. 1908දී ලංකාණ්ඩුව විසින් මුද්‍රණය කරවන ලදී. ඒ මහතා බුරුම – කාම්බෝ සිංහල පුස්කොළපොත් ආදිය ගළපා බලා මහත් වෙහෙසකින් ශුඬ කළ මහාවංශ පෙළ 1908දී එංගලන්තයේ පාලි පොත් සමාගම විසින් පළකරන ලදී. එසේම ශුඬ කළ චූලවංශ පෙළ 1925දී ඒ සමිතිය මගින්ම පළවිය. මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තනය ලංකාණ්ඩුවේ ආධාර ඇතුව පාලි පොත් සමිතිය විසින් 1925දී පළකරවන ලදී. චූලවංශ පරිවර්තනයේ මුල්කොටස 1929දී ද දෙවැනි කොටස 1930දී ද ඒ පිළිවෙළින්ම පළකරන ලදී.

මේ මහතා සිංහල අකුරු ලිවීමට ද පාලියෙන් ලියුම් ගැළපීමට ද සමර්ථව සිටියේය. 1928දී මා, ස්විට්සර්ලන්තයේ සිටින බව දැනගත් මේ පඬිතුමා පාලි භාෂාවෙන් ගළපා සිංහල අකුරෙන් ලියූ ලියුමක් ජර්මනියේ සිට මා වෙත එවීය. එතැන් පටන් නොයෙක් කරුණු සම්බන්ධයෙන් මා හා ලියුම් ගනුදෙනු කළ මේ මහතා අන්තිම වර සිංහල මහා ශබ්දකෝෂයේ වැඩට උපදෙස් දීම සඳහා ලක්දිවට පැමිණ සිටි කාලය තුළදී 1932 ජනවාරි 16 වැනිදා මා දැකීම සඳහා පොල්වත්තේ අග්ගාරාමයට පැමිණියේය. මෙහිදී මහත් ගෞරවයෙන් පිළිගනු ලැබූ මෙතුමාට ඒ මහතා ළඟ නොතිබුණු පාලි පොත් කීපයක් ද මෙරට ගැටපන්වලින් විසූ විශාල රටා පැදුරක් ද පරිත්‍යාග කෙළෙමි. ඒ පැදුර එරටට ඉතා වටිනා එකක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ මහතා දෙවැනි වර ලක්දිවට පැමිණියේ 1926 දීය. ඒ ගමනේදී ස්වකීය මිත්‍ර ඒ. මැන්දිස් ගුණසේකර මුදලිතුමන් හමුවීම සඳහා බලපිටියට අවුත් මහාවංශ – චූලවංශ පොත්වල සඳහන් වෙන දුටුගැමුණු රජු යුඬකරමින් ගිය මාර්ගයන් පරාක්‍රමබාහු රජු යුද කළ පෙදෙසුත් දැනගැනීම සඳහා මාගම්පත්තුවේ ද ඌව පළාත ආදියෙහි ද සංචාරක ගමනක යෙදුණි. තෙවැනිවර එතුමා ලක්දිවට පැමිණෙනවිට වයස 16ක් පමණ විය. එතුමාගේ 75 වැනි ජන්මෝත්සවය පවත්වන ලද්දේ 1931 ජූලි මස 21 වැනිදාය. ඒ ජන්මෝත්සවය සිහිපත් කිරීම සඳහා එතුමාගේ ශිෂ්‍යයන් හා මිත්‍රයන් විසින් නානා ශාස්ත්‍රීය නිබන්ධනක් ඇතුළත් විශාල අනුස්මරණ සංග්‍රහයක් මුද්‍රණය කොට ඒ මහතාට පිළිගන්වනලදී. ඒ ග්‍රන්ථයෙහි මා විසින් සාම්පාදිත වූ පාලි ගාථා පංතියක් ද ඇතුළත්ව තිබේ. ටික කලක් මෙහි වැස ජර්මනියට ගිය පසුත් නොයෙක්විට මා වෙත ලියුම් එවූ මේ මහ පඬිවරයා දෙවැනි මහා යුඬය පවත්නා කාලයේදී පරලෝක ගතවිය.

පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩවිසූ
අග්ගමහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමි

(1950දී ලියන ලද්දකි)


advertistmentadvertistment