යෝජනාව ඡන්ද 151කින් සම්මතයි: විරුද්ධව කවුරුවත් නැහැ
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විෂමාචාර ක්‍රියාවන් සිදු කිරීම, බලතල අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර එහි සොයාගැනීම් වාර්තා කිරීම සඳහා පරීක්ෂණ..
කමිටුවක් පත්කළ යුතු බවට ආණ්ඩු පක්ෂය විසින් ඊයේ (08දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ඡන්ද 151කින් සම්මත විය. යෝජනාවට එරෙහිව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කළේ නැත.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපටිපාටිය අනුව අදාළ පරීක්ෂණ කමිටුව පත් කිරීමට අදාළව දැනට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්ව පවතින යෝජනාව මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් සභාවට ඊයේ සවස ඉදිරිපත් කරනු ලැබුවාය.
දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින දේශබන්දු මහතා රටේ පොලිස්පති ධුරය දැරීමට නුසුදුසු බවට චෝදනා 23ක් අදාළ යෝජනාව මගින් ඉදිරිපත් කර තිබේ. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 115 දෙනකු අත්සන් කර ඇති අතර අභාවප්‍රාප්ත වූ කෑගල්ල ජාජබ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා ද ඊට අත්සන් තැබූ මන්ත්‍රීවරයෙකි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා රීති ප්‍රශ්නයක් මතු කළ අතර එය මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අදාළ යෝජනාව සම්මත කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් බෙදීමක් අවශ්‍ය යැයි කියූ බැවින් යෝජනාවට ඡන්ද විමසීමක් සිදු කෙරිණ. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක්ද විපක්ෂව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවිණ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන