දේශබන්දු වෙනුවෙන් දැමූ අතරමැදි පෙත්සම විසිවෙයි

110

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙසත් එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්, කොල්ලුපිටියේ රාහුල හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18දා) පස්වරුවේ ප්‍රතික්‍ෂේප කරන ලදී.

එම අතරමැදි පෙත්සම යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් සලකා බැලූ යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පසුගිය ජූලි 24 වැනිදා එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණි. අතිරේක සොලිසිටර් ජනරාල් නේරින් පුල්ලේ මහතා හා රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා අතරමැදි පෙත්සම්කාර භික්‍ෂූන් වහන්සේ තුන්නම වෙනුවෙන් පෙනී සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වගඋත්තරකරුවකු කරමින් ගොනුකර තිබූ පෙත්සම් නවය පෙර නියම කොට තිබූ පරිදි ලබන නොවැම්බර් 11 වැනිදා විභාගයට ගැනීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.


advertistmentadvertistment