ද. කොරියානු නැවක් කණපිට පෙරළී අටක් මරුට

515

තෙල් හා රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දකුණු කොරියාවේ ලියාපදිංචි නෞකාවක් ජපානයේ බටහිර වෙරළබඩ ප්‍රදේශයේදී ඊයේ(20) කණපිට පෙරළීම හේතුවෙන් එම නෞකාවේ ගමන් ගත් නැවියන් අටදෙනකු මිය ගොස් ඇති අතර තවත් නැවියන් දෙදෙනකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම නෞකාවේ සිටි තවත් නැවියකු ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර ඔහුගේ තත්ත්වය යහපත් බව වාර්තා වී තිබේ.

‘කියෝයන්ග් සන්’ නමැති මෙම නෞකාව බටහිර ජපානයේ යමගුචි වෙරළබඩ ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදි කණපිට පෙරළී ගොස් තිබේ. පැවැති කුණාටු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැව නැංගුරම් ලා තිබියදී එය අනතුරට පත්ව ඇති බව වාර්තා වී තිබේ. අනතුරට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර අදාළ නෞකාවේ ඉන්දුනීසියානු ජාතිකයන් අට දෙනෙකු, දකුණු කොරියානු ජාතිකයන් දෙදෙනකු හා චීන ජාතිකයකු ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment