නවක වධය මඩින සටනට ජනපති සූදානම්!

205

ජනාධිපති අනුර කුමාරගේත් ඔහුගේ ආණ්ඩුවේත් නිල අනුග්‍රහය යටතේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය අවසන් වී එහි ප්‍රතිඵල ද නිකුත්ව තිබේ. එහෙත් අප මේ සටහන ලියන ලද්දේ මැතිවරණය පැවැත්වුණු දිනයේදී වීම නිසා ඒ පිළිබඳ කිසිවක් මෙයට ඇතුළත් වී නැත. 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණු මෙම මැතිවරණය නොපවත්වා කල් දැමීමට පමණක් නොව, මෙම මැතිවරණය සම්බන්ධ විධිමත් සංශෝධන කිරීමට ද නොහැකි වූ දේශපාලන පසුබිම පිළිබඳව අමුතු කතා වුවමනා ද නොවේ. කුමක් වුවත් තම තමන්ගේ මුග්ධ දේශපාලන අරමුණුවලට සරිලන ආකාරයටම සකස් කර ගත් මැතිවරණ සංශෝධනවලින් පොදු ජනතා අභිලාෂයන් පිළිබිඹු නොවන බව පමණක් අප සඳහන් කළ යුතුය. මෙම මැතිවරණයට පෙර සිදුවූ ක්‍රියාකාරකම් මෙන්ම අධිකරණයේ ස්වාධීන විනිශ්චයත් පිළිබඳව ද අපට මතකය. මෙවර පළාත් පාලනයට තේරී පත්ව සිටින නියෝජිත සංඛ්‍යාව අඩු කරගැනීමේ කතාබහක් ද ඇසුණි. එහෙත් කෝටි ගණනක ජනතා මුදලක් වැය කිරීමට මෙහිදීත් සිදුව තිබේ. ඒ සා මුදල් සම්භාරයක් වැය කළත් එමගින් තම ගමට, නගරයට අර්ථවත් සේවාවක් ලබා ගැනීමට හෝ අවස්ථාවක් වේ නම් ඒ මුදල ප්‍රශ්නයක් ද නොවේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ පමණක් නොව, ජනතාව තුළ ද වූයේ ඇල්මැරුණු ස්වභාවයකි. කේවල හා සමානුපාතික යන ක්‍රම දෙකෙහි සුසංයෝගයක් ලෙස පැවැත්වුණු මෙවර මැතිවරණයෙන් වුවද යම් යම් ගැටලු මතු විය හැකි බව සමාජ – දේශපාලන අංශවල අදහසකි. එසේම ඇතැම් සිවිල් ක්‍රියාකාරීන් විසින් මේ පළාත් පාලන ආයතන හඳුන්වනු ලබන්නේ දූෂණයේ, වංචාවේ මොන්ටිසෝරිය හෙවත් පෙර පාසල වසයෙනි. ඇතැම් නගරාධිපතිවරුන්ට පමණක් නොව, ප්‍රාදේශීය සභාපතිවරුන්ට ද එබඳු දූෂණ, අල්ලස් චෝදනා ඉදිරිපත්ව තිබෙන බවද රහසක් නොවේ. ජනතා බලය ඒ ජනතාවටත් ගමටත් ලබා දීමේ ග්‍රාම සමූහාණ්ඩු සංකල්පය වසර තුන්දහසකට වඩා පැරණි බව විද්වත්හු පවසති. එහෙත් ඒ ග්‍රාම පාලනය නිදහසින් පසු මෙරට පාලනය කළ බලධාරීන් විසින් විනාශ කරන ලද බවද මේ විද්වතුන්ගේ චෝදනාවය.

අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටි කවර ජාතියක් වුවද ඉන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඒ යටත් විජිත වියගසෙහි බැඳි ගවයන් සේ ක්‍රියා කරන්නේ නම් ඒ ජාතියට සැබෑ නිදහසක් උදා නොවේ. ඉන්දියාවේ නිදහස පිළිබඳ ශ්‍රී නේරු ප්‍රකාශ කළේත් ඉන්දියාව යළි ජාතික අනන්‍යතාව සුරැකෙන සමාජ – ආර්ථික – සංස්කෘතික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යා යුතු බවය. එය ශ්‍රී ලංකාවට ද අදාළ වූවකි. ශ්‍රී ලංකා මොඩලයක් සාදා ගැනීමට අපේ දේශපාලන නායකයන් දැක්වූ අසමත්කමට අපි තවමත් ගොදුරු වී සිටිමු. කලකට පෙර අපේ ගම්සභා ක්‍රමය කාලීන අවශ්‍යතා අනුව ප්‍රතිසංවිධානය කිරීම ගැන මෙන්ම ඉන්දියාවේ පංචායත් ක්‍රමය ගැන ද සංවාදයක් පවා ඇති විය. 1917 ප්‍රේෂර් කොමිසම, 1929 ඩොනමෝර් කොමිසම, 1955 චොක්සි කොමිසම හා 1999 පළාත් පාලන ප්‍රතිසංස්කරණ කොමිසම මෙම ගම්සභා ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ පවා ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ කිසිවක් පාලක අවධානයකට හෝ යොමුව නැත. (මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් මාලනී ඇඳගමගේ “ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය” කෘතියෙහි එයි). ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව ද නව දේශපාලන සංස්කෘතියක් උදෙසා පෙනී සිටින බව පවසයි. මේ දූෂිත මැතිවරණ ක්‍රමය හා විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කර අලුත් ව්‍යවස්ථා සම්පාදනයක් පිළිබඳව ප්‍රතිඥාවක් ද දී තිබේ. එහිදී මෙම පළාත් පාලන ක්‍රමයට ද ජනතාවාදී පදනමක් ලබා දිය හැකිය.

මේ අතර ඉකුත් සතියේ සිට තවමත් සමාජ – දේශපාලන අංශවල ද අවධානයට ලක්ව තිබෙන අතිශය දුක්බර පුවතක් පිළිබඳව ද සඳහනක් කිරීමට අපට සිදුව තිබේ. ඒ නවක වධයට මුහුණ දිය නොහැකිව ඇතිවූ මානසික බිඳවැටීමක් නිසා දිවි නසාගත් බවට සැක කෙරෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු පිළිබඳ පුවතකි. චරිත් දිල්ෂාන් දැඩි ලෙස නවක වධයට ලක් වූ බව හෙළි වෙමින් තිබේ. රූපවාහිනි නාළිකා ඔස්සේ ඔහුගේ මව, පුතු වියෝවින් කම්පිතව හඬාවැටුණු අයුරු දුටු සංවේදී කිසිවකුට ඒ ඛේදවාචකය අනුමත කළ නොහැක. නවක වධය සබරගමු සරසවියට පමණක් ආවේණික වූ දෙයක් නොවේ. මේ සිද්ධියට මුහුණ දුන් ඇතැම් සිසුන්ගේ අත්දැකීම් ප්‍රකාශයට ද පත්ව තිබේ.

1975 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුවියකව සිටි රූපා රත්නසීලිගේ ජීවිතය විනාශ වූයේ ද නවක වධ සිදුවීමක දිගුවක් ලෙසය. ඇයව නවක වධයට ලක් කළ සිසුහු කාමාතුරයෝදැයි ඒ පුවත් කියවන කවරකුට වුවද මතුවන ප්‍රශ්නයකි. මහාචාර්ය සුචරිත ගම්ලත් එදා ඒ නවක වධය දැඩිව හෙළා දැක ලිපියක් ද ලියා තිබිණි. මා මේ දක්වන්නේ එයින් උපුටා ගත් කොටසකි.

“නැවුම් සිසු දරු දැරියන් කුණු පල් වතුර වළවල පෙරළති. රළු බොරලු පොළෝවල බඩගාවති. දණගාවති. සිය ගණන් දෙනා කුණු අත්වලින් ඇනූ ඉඳුල් ඔවුන් ලවා කවති. ඇඳුම් ගලවා අමු හෙලුවෙන් සිටුවති…. විශ්වවිද්‍යාලයට එන්ට පෙර කී දෙනෙකු සමග මෛථුන සේවනය කළේදැයි විමසති. විශ්වවිද්‍යාලයේදී කී දෙනෙකු සමග එය කිරීමට යන්නේදැයි විමසති. ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා සුනඛ මෛථුන කරවති… විවිධ ලිංගික ඉරියව් ද අස්වාභාවික ක්‍රියාද කරවති… (සති සිතුමිණි – 2006 ෆාස්ට් පබ්ලිෂින්).

හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ ඇස්.බී. දිසානායක ද විශ්වවිද්‍යාල අර්බුදය නමැති පොත් පිංචක මෙම නවක වධයට දැඩි විවේචනයක් එල්ල කර තිබේ. ඔහු ඒ නවක වධයට දේශපාලන පක්‍ෂයකට ද අධිචෝදනා පත්‍රයක් නඟයි. නවක සිසුන්ට වධ දීම දේශපාලන කාලකන්නීන්ගේ කෲර ක්‍රියාවක් බවද ඔහු පවසා ඇත. ඔහු තමන්ට මුහුණ දීමට සිදුවූ නවක වධය ගැන ද සඳහන් කරයි. මේ එහි උපුටනයකි.

“එදා (1970) මට වැඩි නවක වධයකට මුහුණ දීමට සිදු වූයේ ඒ වන විට මා තරමක් ප්‍රසිද්ධ චරිතයක්ව සිටි නිසාය. එදා විදුදය ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනෙක් මා නවක වධයට භාජනය කළහ… සපත්තු මේස් කරේ දැමීම, කලිසමේ එක කකුලක් නැවීම, ගැහැනු ළමයින්ට වැඳ ආදරය ආයාචනා කිරීම, විවිධ චරිත රඟපෑම, ජ්‍යෙෂ්ඨයන්ට වැන්දවීම… එදා නවක වධයට ඇතුළත් වූ ඇතැම් අංග විය. එහෙත් නවක වධය ගැන භීතියක් එදා නොවූ බවද ඔහු අවධාරණය කරයි”.

ඔහු දක්වන කරුණු සැබෑය. හැටේ දශකය අගදී පේරාදෙණි විශ්වවිද්‍යාලයට පිවිසීමේ භාග්‍ය ලද මේ ලියුම්කරුට ද එවක තිබුණු නවක වධයට මුහුණ දීමට සිදුවිය. එහෙත් එය අද තිබෙන දූෂිත, අශිෂ්ට මෙහෙයුමක් නොවූ බවද කිව යුතුය.

කෙසේ හෝ සමාජ – දේශපාලන පරිහානිය, අධ්‍යාපනයේ බිඳවැටීම් ආදිය නිසා විශ්වවිද්‍යාල පද්ධතිය ද අර්බුදයට යෑමේ මාවත විවර විය. ඒ හැත්තෑව දශකයෙහි මැද භාගයේදී පමණය. හැත්තෑ හතෙන් පසු ඇතිවූ දේශපාලන හා සංස්කෘතික පරිහානිය කිසිදු පාලකයකුට නවත්වාගත නොහැකි විය. මේ වනවිට විශ්වවිද්‍යාලය තුළ දේශපාලන ප්‍රචණ්ඩත්වයක් පවා හිස ඔසවමින් තිබුණි. දේශපාලන බලය සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය අතර ද ගැටුම් නැඟුණි. එවක ජ.වි.පෙ. ලෙසත් පෙරටුගාමී ලෙසත් ශිෂ්‍ය සංගම් අරගලවලට ද මැදිවිය. මේ කණ්ඩායම් දෙකම දේශපාලනය සඳහා නවක වධය යොදා ගත් බව රහසක් නොවේ. ඒ කණ්ඩායම් විසින් ද ප්‍රචණ්ඩත්වයක් මුදාහරින ලදී. සිසු විනය දැඩිව පිරිහී ගියා පමණක් නොව, විශ්වවිද්‍යාල පරිපාලනය එහෙමපිටින්ම බිඳවැටුණි. ඒ සඳහා ශිෂ්‍යයන්ට සාධාරණ හේතු තිබුණි.

විරැකියාව, විශ්වවිද්‍යාල කාන්තාර බවට පත්වීම එහි බරපතළ ලක්‍ෂණ විය.

කෙසේ හෝ 90, 2000 වැනි දශක සමග විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද විවිධ කැලඹීම්, ගැටුම් ඇතිවිය. ඒ අතර මෙම මෘග නවක වධය ද ව්‍යාප්ත විය. සබරගමුව විශ්වවිද්‍යාලයේ (2012) අමාලි චතුරිකා නවක වධය නිසා සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය එවක විශාල ආන්දෝලනයකට තුඩු දුන්නකි. අමාලි චතුරිකාගේ සිය දිවි නසා ගැනීමට අදාළව එවක උසස් අධ්‍යාපන විෂය භාරව සිටි විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා (2018.09.01) විසින් පොලිසියට මෙන්ම උපකුලපතිවරයාට ද චෝදනා නඟමින් ලියන ලද ලිපියක් මාධ්‍යවල ද පළවිය. (එහි පිටපතක් අප සතුව ද තිබේ). විශ්වවිද්‍යාලයේ දාමරික සිසුවියන් දෙදෙනකු ලෙස නම් දෙකක් ද ඒ ලිපියෙහි දැක්විණි. එසේම ඇමැතිවරයා චෝදනා කළේ පොලිසියත් උපකුලපති ලෙස සිටි මහාචාර්යවරයාත් මේ සිද්ධිය සැහැල්ලුවෙන් සලකා යටගැසූ බවය. ඇමැතිවරයකු පොලිසියටත්, විශ්වවිද්‍යාලයටත් ඍජුවම චෝදනා කරද්දීත් නීතිය නිදිකිරමින් සිටි යුගයක් එදා වූ බව එයින් පැහැදිලිය.

අප ඒ ලිපියේ එන නම් ගම් ස්ථාන කිසිවක් සඳහන් නොකළේ ඒ අයගේ වත්මන් ජීවිතවලට මෙයින් සිදුවිය හැකි පීඩාව සැලකිල්ලට ගනිමින්ය. එහෙත් අපරාධයක් කළ කිසිවකුට සැඟවිය නොහැකිය යන බුදුවදන ඔවුන්ට මතක් කළ යුතුය. කුමක් වුවත් මේ සිද්ධියට එබඳු ඉරණමක් අත්විය යුතු නැත. ජනාධිපති අනුර පවසා තිබුණේ ද වරදක් සිදුවී ඇති බව තහවුරු වුවහොත් නීතිය අනුව දඬුවම් ලබා දෙන බවය. සබරගමුවේ මෙම නවක වධ සිද්ධියට ද විශ්වවිද්‍යාල බලධාරීන් දැක්වූයේ පතෝල ප්‍රතිචාරයකැයි විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙන්ම චෝදනා නැඟෙයි. ඇත්තටම මෙරටේ විමර්ශන කමිටු යනු, පතෝලයන්ගේ හා ගල් ආඳන්ගේ කපටි සූත්තරයක් බවට විවෘත චෝදනාවක් ද තිබේ. මොනවා වුවත් මේ අපරාධය වළක්වා ගැනීම අද ආණ්ඩුවේ වගකීමක් බවට පත්ව තිබේ. මේ සිද්ධිය දැන් සීඅයිඩීයට භාර කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඒ පරිපාලනය මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාර ද මේ බටලන්ද පන්නයේ ඝාතන සංස්කෘතියෙන් කිලිටි වූ නවක වධයට ඉඩ දිය යුතු නැත. සබරගමුවේ සිසු ජීවිතය යළි ආපසු ලබා ගත නොහැකි වුවද ඒ අධම ක්‍රියාවට මුල් වූ සියලුම ජ්‍යෙෂ්ඨ යැයි කියන වධකයන්ට දඬුවම් දීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. සී.අයි.ඩී. ය ද මේ පරීක්‍ෂණ නිසි ලෙස මෙහෙයවා මේ ගෝත්‍රික වධකාර නඩය හඳුනා ගෙන තම ජාතික මෙහෙවර ඉටු කළ යුතුය. තව දුරටත් මෙබඳු විනාශයක් විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණයෙන් කිව යුතුය. එසේම නවක වධය පෙරට දමා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අයිතීන්, හිමිකම් මෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් නැවැත්වීම නොමනා බවද පෙන්වා දිය යුතුය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ විශ්වවිද්‍යාල ප්‍රජාව ගෙන ගිය හා ගෙන යන අරගලය ද මේ අශිෂ්ට ක්‍රියාකාරකම් නිසා හෑල්ලුවට ලක් කිරීම ද අපි අනුමත නොකරමු.

නවක වධය මඩින සටනට ජනපති සූදානම්!

මේ වන විට වියට්නාමයේ නිල චාරිකාවක නිරතව සිටින අපේ ජනාධිපති අනුර කුමාරටත් ඔහුගේ ආණ්ඩුවටත් තිබෙන අභියෝග ද සුළුපටු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම යුරෝපා සංගමය වැනි ආයතන සමග ද බේරාගත යුතු ප්‍රශ්න ද තිබේ. සජබය හා එජාපය සිය නායකයන් ජනාධිපති පුටුවට ගෙන එන බවට පාරම්බාමින් ද සිටියි. අඩු කරනවා යැයි පොරොන්දු වූ විදුලි බිලට සිදුවන්නේ කුමක්දැයි උත්ප්‍රාසයෙන් විමසන්නෝ ද සිටිති. පාතාල කල්ලිවල වෙඩි හුවමාරු පිළිබඳව ද ආණ්ඩුවට චෝදනා නඟති. මේ පාතාලයටත් දේශපාලනයට මුවාවී කළ ගසාකෑම් ගැනවත් මේ ආණ්ඩුවට චෝදනා කළ නොහැකි බවද ඇත්තය. එහෙත් යතුරුපැදි ඝාතකයන් නිදහසේ වෙඩි තබමින් සමාජයම බිය ගන්වද්දී එය මර්දනය කළ යුත්තේ ආරක්‍ෂක බලධාරීන්ය. ජාතික ආරක්‍ෂාව ගැන ටියුෂන් දෙන බවට කළ උඩු බුරලීම් ගැන අද දැඩි විවේචන ඇසෙයි. ඒ අතරම ජනපතිවරයකුගේ නිල නිවසක් නවීකරණය කිරීමට කෝටි 55ක් ගිල දැමූ පුවතක් ද මාධ්‍යවල පළ වී තිබිණි. යල කන්නයට වුවමනා පොහොර නැතැයි ගොවීහු මැසිවිලි නඟති. වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමේ සූදානමක් ගැන ද කියැවේ. එසේම ආණ්ඩුවට මාස හයක් ගත වී තිබුණත් තවමත් ජනතාවට දැනෙන යමක් කළ නොහැකි වී තිබෙන බව පැවසුවේ කොමියුනිස්ට් නායකයකු වන ඩිව් ගුණසේකරය. තවත් අයෙක් සඳහන් කළේ, තවමත් හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද පවා අඩු කිරීමට විධිමත් පියවරක් ගෙන නැති බවය. එහෙත් ජනාධිපති අනුර සිය වියට්නාම් නිල සංචාරයට පෙරද පෞද්ගලික රූපවාහිනි නාළිකා දෙකකටම පවසා තිබුණේ, මේ රට අලුතින්

ගොඩනැඟීමේ අරමුණින් තමාත් ආණ්ඩුවත් කිසිවිටෙක බැහැර නොවන බවය. ඒ සඳහා ලූනු බිකක් තරම් දෙයක්වත් තමන්ට වුවමනා නැති බවය. ඇත්ත වශයෙන්ම මෙය මෙරටේ රාජ්‍ය නායකයකු විසින් කරන ලද සුවිශේෂ ප්‍රකාශයකි. මක්නිසාද යත් මෙතෙක් මෙරටේ ස්ථාපිත වී තිබුණු මහජන මුදලින්ම යැපෙන දේශපාලන ක්‍රමය ජනාධිපති අනුර ඍජුවම ප්‍රතික්‍ෂේප කිරීමය. එසේම ඔහු වෘත්තීය සමිතිවලින් ද ඉල්ලා ඇත්තේ වර්ජන මානසිකත්වයෙන් බැහැරව සාමුහිකව රට ගොඩනැඟීමට එක්වන ලෙසය.

පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ ද කෝටි ගණනක ජනතා මුදලක් ඉකුත් වර්ජන ක්‍රියා නිසා රටට අහිමි වූ බවය. මේ වර්ජන සඳහා ජවිපෙ වෘත්තීය සංවිධාන ද එක්වී සිටි බවද අපි දනිමු. ඒ බොහෝ වර්ජන නිසා ජනතාව මුහුණ දුන් හිරිහැර ද සුළු පටු නැත. මේ රට අලුත් සමාරම්භයක් ඔස්සේ ඉදිරියට යෑමේ වගකීම ජනතාව විසින් ඔවුන්ට පවරා දෙන ලද්දේත් විශාල අපේක්‍ෂා කන්දක් සමග බවද සඳහන් කළ යුතුය.

අවසන් වශයෙන් මේ දිනවල ජනාධිපතිවරයා නිරතව සිටින වියට්නාම් සංචාරය ගැන ද සඳහනක් කළ යුතුය. අධිරාජ්‍යවාදයට එරෙහිව ජීවිත පූජාවෙන් සටන් කළ බෞද්ධ හිමිවරුන් මෙන්ම පෝචිමිං වැනි අභීත නායකයන්ගේ පරිත්‍යාග පිළිබඳව ද වියට්නාමය අපට බොහෝ ආදර්ශ ලබා දෙයි. ජනාධිපතිවරයා හා වියට්නාම් රජය අතර ක්‍ෂේත්‍ර

ගණනාවකට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවද වාර්තා වේ. එසේම ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ ආරාධිතයා ලෙස සහභාගි වීමත් මුඛ්‍ය දේශනය පැවැත්වීමත් මේ සංචාරයෙහි ප්‍රධාන අරමුණ විය. රාජ්‍ය නායකයකු ලෙස අපේ ජනාධිපතිවරයාට හිමි වූ හමුදා ආචාර, පිළිගැනීම් ආදිය ගැන ද වාර්තා විය. වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් හමුවීම, අගමැති ඇතුළු වෙනත් නිල හමුවීම් කීපයක් ද එහි රැඳී සිටි දින කීපය තුළ සිදුවිය.

ගාමිණි සුමනසේකර


advertistmentadvertistment