2024 විස්සයි – 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය
2024 විස්සයි – 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය ලෙස සහ ‘ඒ‘ කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගය වූ නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 54ක විශිෂ්ට ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.
පෙරේදා (14දා) ඩුබායිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දුවාර 11යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 56ක් පමණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 54ක විශිෂ්ට ජයක් ද සමග අවසාන පූර්ව වටයේ ස්ථානය වෙන් කර ගැනීමට ද හැකි විය. නවසීලන්ත කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමගම ඉන්දීය කාන්තා කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට විසි වීමටද සිදුවිය. “ඒ‘ කාණ්ඩයෙන් අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අනෙක් කණ්ඩායම වූයේ ඔස්ටේ්‍රලියාවයි.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සුසී බෙට්ස් ලකුණු 28ක්, බෲක් හේලිඩේ ලකුණු 22ක්, සොෆී ඩෙවෙනි ලකුණු 19ක් සහ ජෝර්ජියා ප්ලෙමර් ලකුණු 17ක් ලැබීය. පන්දු යැවීමේදී නෂ්රා සන්දු ලකුණු 18කට කඩුලු තුනක්, ඔමයිමා සොහෙල් ලකුණු 14කට 1 කඩුල්ලක්, සාදියා ඉක්බාල් ලකුණු 23කට 1 කඩුල්ලක් සහ නීඩා ඩර් ලකුණු 26කට 1 කඩුල්ලක් බිඳ හෙළිය.
පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී කණ්ඩායම් නායිකා ෆාතිමා සානා ලකුණු 21ක්, මුනිබා අලි ලකුණු 15ක් සහ නීඩා ඩර් ලකුණු 09ක් ලැබීය.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අමිලියා කීර් ලකුණු 18කට කඩුලු 03ක් බිඳ හෙලූ අතර ඊට අමතරව ඒඩ්න් ක්‍රසන් ලකුණු 7කට කඩුලු දෙකක්, රෝස්මේරි මයිර් ලකුණු 18කට 1 කඩුල්ලක්, ලියා තාහු ලකුණු 8කට 1 කඩුල්ලක් සහ ප්‍රාන් ජෝන්ස් ලකුණු 8 කට 1 කඩුල්ලක් බිඳ හෙළීය.
තරගයේ වීරවරිය ලෙස ඒඩ්න් ක්‍රසන් සම්මාන ලැබීය.
සිසිර ජයසූරිය