නිධාන කතාව

902

මේ 2015දී සිදු වූ කතන්දරයකි. එතැන් සිට අවුරුදු 9ක් ඉක්ම ගොස් තිබුණ ද මේ කතන්දරය අදටත් පුනරුච්චාරණය වෙයි. වවුනියාවේ නිධානයක් හෑරීමට අනුබල දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට 2015 සැප්තැම්බර් මැද හරියේදී පොලිසියට හැකි විය. පසුව ඩීඅයිජී මහත්මයා සමග සෙසු සැකකරුවන් රිමාන්ඩ් කරන ලදි. මේ සිද්ධියේදී පොලිස් රාලහාමිලා දෙදෙනෙක් ද සිවිල් පුරවැසියන් පස්දෙනකු ද අත්අඩංගුවට පත්වූහ. රාලහාමිලා දෙදෙනා වැඩ කර තිබුණේ ඩීඅයිජී මහත්තයාගේ කන්තෝරුවේය.

නිධන් හෑරීම හැමදාම වාගේ සිදුවෙයි. ශ්‍රී ලංකාව තුළ සෑම දවස් දෙකකට වරක් නිධානයක් හාරන බව කියනු ලැබේ. සමහර විට මෙසේ හාරන නිධන්වලින් වටිනා බඩු භාණ්ඩ ලැබේ. තවත් විටෙක ඒවා තුළින් හමුවන්නේ පරණ මැටි කළ, පරණ මැටි පිඟන්, මැටි රූප යනාදියයි. එවිට කෝපයට පත්වන නිධන් කොල්ලකරුවෝ එම මැටි භාණ්ඩ කුඩුකර හෑරූ වළත් වසන්නේ නැතිවම පැන යති. සමහරවිට මේ මීහරකුන් කුඩු කරන්නේ අවුරුදු තුන් හාරදහසක් පැරණි පුරාවස්තු ය. ඒවා අප දන්නා ලංකා ඉතිහාසයට අදාළ විජයාගමනයටත් කලින් මේ රටේ ජීවත් වූ මනුෂ්‍යයන් විසින් සෑදූ ඒවා විය හැකිය. දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ලද පුරාවිද්‍යාත්මක ස්ථාන දෙලක්‍ෂ පනස්දහසක් තිබේ. මෙයින් දාසය දාහක් දැනටමත් ගැසට් කර අවසන්ය. සාමාන්‍යයෙන් කිසියම් ඉදිකිරීමක් අවුරුදු සියය ඉක්මවූ කල්හි පුරාවිද්‍යාත්මක දේපළක් බවට පත්වේ. දැනට හඳුනා ගෙන ඇති පරිදි පුරාවිද්‍යාත්මක ස්ථාන දෙලක්‍ෂ පනස්දාහ තුළ අවුරුදු සියයකට, අවුරුදු හත්අට දාහකට තරම් පැරණි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන ඇත. බළන්ගොඩ මානවයා විසූ ලෙන වැනි ස්ථානයක් ගතහොත් එය අවුරුදු හතළිස් දහසකටත් වඩා පැරණි විය යුතුය. මෙවැනි ලෙන් ගණනාවක් මේ රටේ තිබේ. පුරාවිද්‍යාත්මක ස්ථාන දෙලක්‍ෂ පනස්දහසකට එකවර ආරක්‍ෂාව සැපයීම ඉතා දුෂ්කර කාර්යයකි. එබැවින් මේවා නිරන්තරයෙන්ම නිධන් හොරුන්ගේ උදැල්ලට හෝ ගල්කටුවට ඉලක්කවීම නොවැළැක්විය හැකිය. ලංකාවේ නීතියට අනුව නිධානයක් හෑරීම හෝ ළඟ තබාගැනීම සපුරා තහනම්ය. කෙනෙකුට නිධානයක් ලැබුණොත් එය වහාම ළඟම පිහිටි උසාවියේ මහෙස්ත්‍රාත්වරයාට භාරදිය යුතුය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩාඉඳිවැව පිහිටි තන්මැන්නාගල රජමහා වෙහෙර භූමියේ තිබෙන පුරාවිද්‍යා වටිනාකම් ඇති චෛත්‍යය ඇතුළු ස්ථාන රැසක් නිධන් හොරුන් විසින් විනාශ කර දමා තිබේ. මේ විනාශය සිදුකරන ලද්දේ එම ප්‍රදේශයෙහි නිධන් ඇති බවට ආරංචියක් පැතිර යෑමත් සමගය. නිධන් හෑරීම යනු ලංකාවේ පාරම්පරික රස්සාවකි. මෙය අඩුම ගණනේ අවුරුදු හත්අට සියයකවත් ඉතිහාසයක් තිබෙන රැකියාවක් වෙයි. මේ රටේ ඇතැම් පුද්ගලයන් සතුව නිධන් වදුල ලෙස සැලකෙන ලේඛන ඇත. කිසියම් ප්‍රදේශයක අසුවල් අසුවල් තැන්වල නිධන් තිබෙන බව එම නිධන් වදුලේ සඳහන්ව ඇත. පුරාණ රජවරු නිධන් වස්තු ලෙස විවිධ දේ වළ දැමූහ. මේවායින් වැඩි හරියක් ආගමික වස්තූන් වෙති. මැටිවලින් සෑදූ බුද්ධරූප, වෙනත් ලෝහවලින් තැනූ දේවරූප යනාදිය මෙසේ වළ දැමුණු වස්තූන් ය. මේවා නිධන් කරන විට ඒ සමග රත්‍රං, මැණික් වර්ග යනාදිය ද රජවරු මිහිදන් කළහ. බොහෝවිට ඒවා එසේ නිධන් කරන ලද්දේ මැටි බුද්ධරූපයට ගෞරව කිරීම පිණිසය. එනම් එකී මැණික් සහ රත්‍රං පූජා භාණ්ඩ ලෙස සලකන ලදි. නිධන් වළ දැමීමේ ක්‍රියාවලියේ සිදු වූ අවුරුදු දාහකට හෝ එක්දහස් පන්සීයකට පෙර මේ රටේ රත්‍රං පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් තිබුණේ නැත. දඹ රන් යැයි කියන රත්‍රං සියල්ලම කැරට් දහයට අඩු බාල රත්‍රංය. එසේම මැණික් කැපීමේ නූතන තාක්‍ෂණය එකල තිබුණේ නැත. එබැවින් සියලුම මැණික් වර්ග බෝල හැඩයට කපන ලදි. නිධන් දහසක් වළ දැමුවොත් වටිනා පූජා භාණ්ඩ තැන්පත් කරනු ලැබුවේ එක නිධානයක පමණි. එහෙත් නිධන් යන වචනය ඇසුණු කල්හි සෑම නිධන් හොරෙක්ම කල්පනා කළේ රන්, රිදී, මුතු, මැණික් යනාදී වස්තූන් එහි වළ දමා තිබෙන බවය. ලංකාවේ නිධන් හෑරීම ඉතා බහුල ලෙස මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපෘතියක් ලෙස පටන් ගන්නා ලද්දේ පෘතුගීසීන් මෙරටට පැමිණීමෙන් පසුවය. ඉන්පසු ලන්දේසීහු ද නිධන් හෑරූහ. තුන්වැනි චාන්ස් එක ගන්නා ලද්දේ ඉංග්‍රීසි ජාතිකයන් විසිනි. ඉංග්‍රීසිකාරයෝ පෘතුගීසීන්ටත් ලන්දේසීන්ටත් වඩා මොළයක් ඇති පිළිවෙළට වැඩ කරන ජාතියකි. එබැවින් ඔව්හු නිධානයක් හාරන ලද්දේ ඉතා ශාස්ත්‍රානුකූලව නිධානයට හානි නොවන ලෙසය. මේ නිසා එම නිධන් තුළ තිබූ පුරාවස්තු මැට්ටෙන් කළ ඒවා වේවා ලෝහවලින් කළ ඒවා වේවා පරෙස්සමට ඉවතට ගත් ඔව්හු ඒවා පිරිසිදු කර නැව්වල පටවා ලන්ඩනයට ගෙන ගොස් කෞතුකාගාරවල තැන්පත් කළහ. මේ නිධන්වලින් හමු වූ මැණික් හෝ රත්‍රං ගැන ආරංචියක් නැත. එසේම මේ නිධන්වලින් හමු වූ රන්, රිදී බුදුපිළිම සහ රන් රිදී දේවරූප සියල්ලම ඔව්හු ප්‍රවේසම් සහගතව ලේඛනගත කර තැන්පත් කළහ. මෙසේ පැහැරගත් දේවල් ඔව්හු යළි කවදාවත් අපට දෙන්නේ නැත. පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල්ගේ කාලයේදී ලංකාවේ පුස්කොළ පොත් සහ නිධන් වස්තු නැව් හතරක් එංගලන්තයට ගෙනගිය බව දැනගන්නට තිබේ. ඒවා අදටත් නිරුපද්‍රිතව පවතී. ඒවායේ අයිතිය අපේ වුවද ඒවායේ පරම අයිතිය දැන් බ්‍රිතාන්‍යය සතුය.

පොළොව යට ඇති නිධන් සෙවිය හැකි ඉලෙක්ට්‍රොනික් උපකරණ දැන් තිබේ. මෙවැනි ඇතැම් උපකරණයක් රුපියල් මිලියනයකට අඩු මුදලකට ඔන් ලයින් මාර්ගයෙන් ගෙන්වාගත හැකිය. මේ නිසා නිධන් හෑරීම වැඩිදියුණු වී තිබේ. මෑතදී හදිසියේම පහළ වූ ව්‍යාපාරිකයෙක් කෝමාරිකා වවන ව්‍යාජයෙන් නිධන් හාරන බවට කතන්දරයක් තිබේ. උන්නැහේ පසුගියදා රිමාන්ඩ් වී පසුව ඇප ලැබීය. නිධානයක් යනු රත්‍රං හෝ මැණික් පමණක් නොවන බව අපේ මීහරක්ට නොතේරේ. අවුරුදු සියය පැන්න ඕනෑම පුරාවස්තුවක් නිධානයකි. අනාගත පරපුරට නැති බැරි කාලයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රජතුමා විසින් රන්, රිදී, මුතු, මැණික් වළ දැමූ බවත් ඒවා ගොඩට ගෙන විකිණීම වර්තමාන පරම්පරාවේ අයිතියක් බවත් හිතන ගොන්නු ද අප අතර සිටිති. මෙසේ සිතන සියලු දෙනා අත්අඩංගුවට ගෙන නිධන් කළ යුතු බව අපගේ අදහස වේ.

advertistmentadvertistment
advertistmentadvertistment