නිරිත දිග මෝසම රට හරහා ලබන 26 තෙක් වැසි සුළං වැඩිවෙයි

67

වැඩිම වැසි බස්නාහිරට – වයඹට

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් ලබන 26 වැනිදා පමණ වන තෙක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් පසුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක්ද සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිත් ඇතිවිය හැකි බවද ඔහු කීය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි ඇතිවේ.

පෙරේදා (20දා) දිනය තුළ හොරණට මිලිමීටර් 116ක්, කිරිඳිවෙලට මිලිමීටර් 110ක්, පත්තලගෙදරට මිලිමීටර් 105ක්, කළුතරට මිලිමීටර් 98.5ක්, පාලින්දනුවරට මිලිමීටර් 98ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය වාර්තා වී තිබේ.

මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ වර්ෂාපතනයත් සමග ජලාශ රැසක් පිරී පවතින නිසා ඒවා භාවිතා කිරීමේදී මහජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවය. අධික වර්ෂාපතනයක් වාර්තාවීම නිසා මේ වනවිට කළු, නිල්වලා, කැලණි, ගිං යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පිරී පවතී. එම ගංගා හා අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇති වුවහොත් ඒවා පිටාර ගලා ඊට ආශ්‍රිත පහත්බිම් යටවීමේ අවදානමක් පවතින නිසා එම ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා කීය. ඊයේ (20දා) වනවිට කිසිදු ගංගාවක් පිටාර ගැලීමක් පිළිබඳව වාර්තා වී නැතැයිද ඔහු කීය.

තවදුරටත් වර්ෂාව ලැබුණහොත් අත්තනගලු ඔයේ පහත්බිම් ප්‍රදේශවලත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ පිටාර ගැලීමක් සිදුවුවහොත් බුලත්සිංහල හා පාලින්දනුවර ප්‍රදේශවල ජනතාවට බලපෑම් ඇති විය හැකි නිසා එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද සුගීෂ්වර මහතා පවසයි. එමෙන්ම බස්නාහිර ගාල්ල, මාතර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට ක්ෂණිකව අධික වැසි පතිත වුවහොත් ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් එම ස්ථානවල ජනතාව සහ ඒ හරහා ගමන් කරන වාහනවල රියැදුරන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු කීය. වර්ෂාව හේතුවෙන් රාජාංගනය, හංගමුව ජලාශ දැදුරු ඔය, කුඩා ගඟේ වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙන බවද ඒ මහතා කීය.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක කර තිබූ අතර එම දිස්ත්‍රික්ක හතේ පවුල් 8974කට අයත් පුද්ගලයෝ 33,493ක් ඊයේ දහවල් වනවිට පීඩාවට පත්ව සිටියහ. තිදෙනකු තුවාල ලබා සිටි අතර පීඩාවට පත් පවුල් 340ක පුද්ගලයින් 1140ක් ආරක්ෂිත ස්ථාන හතරක රැඳවීමට පියවර ගෙන තිබුණි.

චමින්ද සිල්වා – ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment