අපට අවශ්‍ය නවීන සමාජයේ පෙරගමන්කරු විය යුත්තේ තරුණ පරම්පරාවයි

94

ජාජබ නායක අනුර කුමාර දිසානායක චේ සැමරුම් උත්සවයේදී කියයි

අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේ පෙරේදා පැවති චේ සැමරුම් උත්සවය අමතමිනි. එය කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. එහිදී ඔහු මෙසේද පැවසීය.

චේ යනු සටන් නායකයෙක්, ගරිල්ලා නායකයෙක්, විලාසිතාවක්, සදාතනික තාරුණ්‍යය, කියුබාවේ ජාතික බැංකු අධ්‍යක්ෂවරයා, කියුබාවේ කර්මාන්ත අමාත්‍යවරයා, බොලීවියාවේදී ගෝලීය ප්‍රතිගාමීන් විසින් ඝාතනය කරනු ලැබූ සටන්කාමියා. අපට චේ යනු එක යුගයකදී ගෝලීය ප්‍රතිගාමිත්වය බියට පත්කරන ලද ව්‍යවහාරයක්, භාවිතයක්.

ශක්තිමත් සමාජවාදී කඳවුරක් හා ධනවාදී කඳවුරක් ලෙස ලෝකය තිව්‍ර ලෙස බෙදෙමින් තිබු යුගයක්. ඔහු ඒ යුගයේ විශිෂ්ටතම දේශපාලකයෙක්. අධිරාජ්‍යවාදය විසින් ලෝකය පුරා රටවල් සූරාකෑමට භාජනය කර ගනිමින්, යුද්ධය අපනයනය කරමින් තිබුණා. රාජ්‍යයන්ගෙන් ඔවුනට හිතවාදී ඒකාධිපති පාලනයක් ගොඩනඟමින් තිබුණා. ගෝලීය ප්‍රතිගාමිත්වය විසින් හමුදා පාලනයන් ගොඩනඟමින් ජනතාව පීඩාවට පත්කිරීමට ආශීර්වාද කරමින් අනුබල දෙමින් සිටියා. එවන් ප්‍රතිගාමිත්වය බියට පත්කරන ලද භාවිතය තමයි චේ.

පසුගිය වසරේ ගෝඨාභයගේ පාලනය පලවා හැරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැස්සා. තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය, තමන්ගේ අනාගතය උදුරා ගැනීමට එරෙහිව, දෙමව්පියන් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පාරට බැස්සා. ලංකාවේ පළමු වතාවට ජනතාවගේ අරගලයකින් ජනාධිපති ගෝඨාභය පළවා හැරියා. අනතුරුව රනිල් ජනාධිපති බවට පත්වුණා. සම්මුතිකාමීන්ට එතනින් වැඩේ සමාප්තයි. සමහරු පසුව රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කිරීමට පටන් ගත්තා. අද අපට අවශ්‍ය වී තිබෙන්නේ සම්මුතිකාමී සටන්කරුවන් නොවෙයි, අවසන් ජයග්‍රහණය තෙක් සටන් කරන සටන්කරුවෙක්. චේ යනු දුෂ්කර අසම්මුතිකාරී සටන්කරුවෙක්. සමාජවාදී තරුණ සංගමය චේගේ ව්‍යවහාරයන් උකහා ගන්නවා. අපට වර්තමානයේ අවශ්‍ය වෙන්නේ අවසන් ජයග්‍රහණය බලා යන සටන්කරුවෙක්. චේ සහ කැස්ත්‍රෝ ඇතුළු ඉතා කුඩා සන්නද්ධ කණ්ඩායමක් ලෙස බැටිස්ටාගේ නිල වශයෙන් පිහිටුවාගෙන තිබෙන, ගෝලීය ප්‍රතිගාමිත්වයේ උදව් උපකාර ලැබෙන හමුදා යාන්ත්‍රණයත් එක්ක ජයග්‍රහණය දක්වා සටන් කිරීම කටයුතු කිරීමට සූදානම් අයෙක්.

අද අපි හමුවේ තිබෙන්නෙ කුමක්ද? අපේ රටේ තිබෙන්නේත් දුෂ්කරතම යථාර්ථයක්. දීර්ඝ කාලයක් පාලනය බලය හොබවපු, මහා ධනය, බලය එක්රැස් කරගත්, මාධ්‍ය, පාතාලය, රාජ්‍යයාන්ත්‍රණය, උපයෝගී කර ගන්නා පාලන කණ්ඩායමක් සිටිනවා. හැබැයි මේ දුෂ්කර යථාර්ථය තුළ අවස්ථාවකුත් තිබෙනවා. මේක සුමට තත්වයක් නොවෙයි. මේ පාලක කණ්ඩායම් තමනගේ බලය අවසානය දක්වා ආරක්ෂා කර ගැනීමේ වුවමනාවෙන් නැවත නැවත අලු‍ත් දුෂ්කර තත්වයන් ඇති කරන යථාර්ථයක්. සුමට තත්වයේදී ඡන්ද පවත්වනවා. දුෂ්කර යථාර්ථයේදී ඡන්ද කැන්සල් කරනවා. සුමට යථාර්ථයේදී, ලබන වසරේ අගෝස්තු මාසයේදී අනිවාර්යයෙන් ඡන්දය කැඳවිය යුතුයි. දුෂ්කර යථාර්ථයේදී එය වෙනස් කිරීමට උත්සාහ ගන්නවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උත්සාහ කරනවා. මේක දුෂ්කර යථාර්ථයක්. ජනතාව හමුවට ගොස් විවිධ පොරොන්දු, බලාපොරොත්තු ලබාදීමට උත්සාහ ගන්නවා. අපට චේ පෙන්වා දුන්නේ මොකක්ද? දුෂ්කර යථාර්ථයක් තුළදී පවා ජයග්‍රහණය දක්වා අවස්ථාවක් තිබේ නම් අත්නොහැරිය යුතු බවයි.

අපට තිබෙන්නෙ චේ පිළිබඳව සංකේත නාම නොවෙයි. චේ යනු මානවවාදය පිළිබඳ භාවිතයක්; ව්‍යවහාරයක්. උතුරු ආර්ජන්ටිනාවේ ඉපදී, එහිදී අතිශය දුෂ්කර ගම්මානවල ජීවිතවල අත්දැකීම් ලද ඔහු, චිලියේදී පතල් කර්මාන්තයේ නියැලු‍ණු කම්කරුවන්ගේ වේදනාව දැක අත්දැකීම් ලද ඔහු, පේරු රාජ්‍යයේදී විශාල ඉඩම් හිමියන්ගේ බලපෑමට යටත් වී පීඩාවට පත්වූ ගොවීන්ගේ දුක උකහාගත් ඔහු, ගෝතමාලාවේ 1951 ජාකෝ ආබෙන්ස්ගේ ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිසංස්කරණ 1954දී කුමන්ත්‍රණකාරී ලෙස ආපසු හැරවීමේ අත්දැකීම් ලැබූ ඔහු මේ විනාශකාරී පාලනයන් බිඳවැට්ටීම තමයි මේ සඳහා විසඳුම බව ඔහු තීරණය කළා. පාලනයන් වෙනස් කිරීම සඳහා මානවවාදී භාවිතාවන්, ව්‍යවහාරයන් උපයොගී කරගත්, මිනිසුන් පිළිබඳව සහකම්පනයක් තිබූ පුරවැසියෙක් චේ.

චේ තරුණයන් වෙත මෙසේ කියනවා. “තරුණයන් සිතිය යුත්තේ, ක්‍රියාත්මක විය යුත්තේ බහු ජනතාවක් ලෙසයි. තනි තනි ලෙස පුද්ගලයන් ලෙස සිතීම අපරාධයකි. සියල්ලටම වඩා ලොව කොතැනක හෝ පුද්ගලයෙකුට එරෙහිව සිදුවන යම් අසාධාරණයක් පිළිබඳව ගැඹුරු හැඟීමක් තරුණයෙකුට ඇති විය යුතුයි.” අපේ අධ්‍යාපනය, ආර්ථිකය, සමාජ බැඳීම්වලින් මේ ගනුදෙනුවෙන් තනි තනිවම මේ කඩුල්ල පන්නන්න සෑම කෙනෙක්ම පොළඹවනවා. අද පලස්තීන ජනතාවට, යුක්රේන ජනතාව හසුවී ඇති තත්වය ගැන, කියුබාවේ ජනතාවට ඇති කර තිබෙන දුෂ්කරතාවයන් පිළිබඳව කම්පනයක් අපට ඇති විය යුතුයි. අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක්. රැඩිකල්භාවය කියන්නේ, සටන්කාමිත්වය කියන්නේ දකින දකින දේ පොඩිපට්ටම් කිරීම නොවෙයි. රැඩ්කල්භාවය කියන්නේ තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ගෙනයාම. ඒ නිසා තමයි “නවීන ශ්‍රී ලංකාවක්” යන සටන් පාඨය සමාජවාදී තරුණ සංගමයේ සටන් පාඨය වී තිබෙන්නේ. අපට අවශ්‍ය නවීන සමාජයක්. එම සමාජයේ හැරවුම් ලක්ෂය, පෙරගමන්කරු විය යුත්තේ මෙතනට රැස්වී සිටින තරුණ පරම්පරාවයි. අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්ති සහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් අපට අවශ්‍යයි. සාධාරණය, යුක්තිය පිළිබඳව තමන්ගේ හදවත් තුළ කම්පනයක් ඇතිවෙන තරුණ පරපුරක් අපට අවශ්‍යයි. කම්පනයෙන් ඇති කරන සහකම්පනය කෙනෙක් ක්‍රියාකාරිත්වය කැඳවන එන්ජින් එක බවට පත්වෙන්න ඕනෑ. සහකම්පනය ඇති කරගෙන මේ රටේ ඉඳලා වැඩක් නැහැ කියා පැන යන්නත්, සහකම්පනය ඇති කරගෙන

නිදාගන්නත් පුළුවන්. සහකම්පනය ඇති කරගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නත් පුළුවන්. ඇති වෙන සහකම්පනය මේ පොදු මිනිස් සමාජයට අලු‍ත් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ස්ථිර අධිෂ්ඨානයක් සහිත ක්‍රියාකාරිත්වයක් සහිත එන්ජින් එක බවට පත්කර ගන්න ඕනෑ.

advertistmentadvertistment
advertistmentadvertistment