හොඳින් හෝ නරකින් – පාර්ලිමේන්තුව අල්ලා ගැනීම නවත්වන්නැයි හමුදාපතිට කීවා

482

ජනපතිවරණය ලබන වසරේ
එජාපය හැම අසීරු මොහොතකම රට බේරාගත්තා
ජනපති ගෝඨාභය ආරක්‍ෂාව පතා නැවකට යද්දී අරාජික වූ රට මම භාරගත්තා
එජාප මහ සමුළුවේදී ජනපති කියයි

මේ රටේ බලය මාරුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බවත් ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය අණසකට ගත් අවස්ථාවේ නායකයන් නිහඬ වෙද්දී තමා ක්‍රියාකළේ අරාජිකව තිබූ රට බේරාගැනීමට බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඉදිරි වසර තුළ ජනාධිපතිවරණය සහ සෙසු මැතිවරණ පවත්වන බවත්, තම වගකීම සෑම ශ්‍රී ලාංකිකයකුම ආරක්‍ෂා කිරීම බවත් පැවසූ ජනාධිපතිවරයා පොහොර, ඉන්ධන, නොමැතිව උද්ගතව තිබූ තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැති බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (21 දා) පැවැති එජාප විශේෂ මහ සම්මේලනය අමතමින් පැවැසීය.

‘ස්මාර්ට් රටක් ජයගනිමු 2048’ තේමාව යටතේ පැවැති එම සමුළුවේදී තවදුරටත් කතාකළ ජනාධිපතිවරයා, එදා පාර්ලිමේන්තුව සිය අණසකට ගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධීව, කලහාකාරීව ක්‍රියාකරද්දී එම තත්ත්වය හොඳින් හෝ නරකින් මැඬපවත්වන ලෙස තමා හමුදාපතිවරයාට උපදෙස් දුන් බවත්, තමාට ඉල්ලා අස්වන ලෙස සමහරු බලකරද්දී නිවස ගිනි තබද්දී එජාප පාර්ශ්වකරුවන් නොසැලෙන පරිදි තමා ද නොසැලී එම තත්ත්වයන්ට මුහුණදුන් බවත් හෙතෙම කීය.

බලයට ඒමට කිසිම ඉල්ලීමක් තමා ලිඛිතව හෝ වෙනයම් ආකාරයකට නොඉල්ලූ බවත්, එවක ජනාධිපතිවරයා රට භාරගන්නැයි කළ ඉල්ලීම අනුව රට භාරගෙන ආර්ථිකය නිවැරදි දිශානතියකට මෙහෙයවීමේ වගකීමට තමා උරදී සිටින බවත් ජනාධිපතිවරයා පැවැසීය.

හොඳින් හෝ නරකින් - පාර්ලිමේන්තුව අල්ලා ගැනීම නවත්වන්නැයි හමුදාපතිට කීවා


ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වනවා

ස්මාර්ට් ශ්‍රී ලංකාව ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම අරමුණයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප විශේෂ මහා සම්මේලනය අමතමින් කියයි

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයද පවත්වා 2025 මුල් භාගයේදී පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ පෙරේදා(21දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ

ක්‍රිඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.“ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මේලනයේදී සංශෝධනයට ලක් කෙරුණු පක්ෂ නව ව්‍යවස්ථාවද එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.

එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත ක්‍රමයට අනුව සංවිධාන ඇති කිරීමට අවස්ථාව ලබාදෙමින් පක්ෂය ඩිජිටල්කරණය කිරීමට අදාළව මෙම සංශෝධනය සිදු කර තිබේ. ස්මාර්ට් රටට පෙර ස්මාර්ට් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.‍

ස්මාර්ට් රට ගොඩනැගීම “මගෙන් පටන් ගනිමු” යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පැළඳවිය. එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ “සිය රට” පුවත්පතේ පැරණි කලාපයක් එහි නිර්මාතෘ මායා කළුබෝවිල මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිවරයා එය පක්ෂයේ මහලේකම්වරයා වෙත භාරදුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද අප පවත්වන මෙම විශේෂ සම්මේලනයේ පළමු කාර්යය ලෙස පක්ෂයේ අලු‍ත් ව්‍යවස්ථාව ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම සිදු වෙනවා. මෙම අලු‍ත් ව්‍යවස්ථාව අපි ඇති කළේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් බව කිව යුතුයි. මේ අනුව දැනට තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා. එම සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක් මම සඳහන් කරන්න කැමතියි.

මෙම සංශෝධනය තුළින් පළමුව එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත (ධබකසබැ) සංවිධාන ඇති කිරීමට ඉඩදී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ අනුමැතිය ලබාගෙන තමන්ගේම සමාජ මාධ්‍ය තුළින් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අනාගත වැඩපිළිවෙළක්.

මම ජනාධිපති ධුරය භාරගන්න අවස්ථාවේ මට උදව් කිරීමට මේ රටේ සෑම පක්ෂයක්ම සිටියා. අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සිටියා. පක්ෂවලින් තොරව බොහෝ දෙනා සිටියා. අප එය ආරක්ෂා කරගෙන ඉදිරියට යමු. එතනින් තමයි නව දේශපාන සංස්කෘතියක් බිහි වන්නේ.

2022 මැයි මාසයේ 01 වැනිදා වන විට රට වැටී තිබුණා පමණක් නොවයි ආණ්ඩුව ගෙනියන්න කිසිවෙක් හිටියේ නැහැ. කිසිවෙක් එම වගකීම භාරගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. ආණ්ඩු පක්ෂයට භාරගැනීමට බැරි නම් විපක්ෂය එය භාරගත යුතුයි. විපක්ෂය එයින් ඉවත් වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු තමයි ඇවිල්ලා මට කිව්වේ මේ රට භාර ගන්න කියලා. ජනාධිපතිවරයා මගෙන් ඇහුවම මේක කරන්න පුළුවන්ද කියලා මම කිව්වා කරන්නම් කියලා. මොකද ආර්ථිකය හදන එක එක්සත් ජාතික පක්ෂයේ වැඩක්. එය අසීරු කාර්යයක් නොවෙයි. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය භාරදුන් විට මම එය භාරගත්තා. අප එලෙස ඉදිරියට පැමිණියා. එදා පැනලා ගිය අය අද ඇවිල්ලා කියනවා දැන් තමන්ට රට භාර දෙන්න කියලා.

රටේ කලබල ඇතිවෙලා, ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයෙන් පිට වෙලා සිටියේ. ඉතින් කොහෙමද අලු‍ත් ආණ්ඩුවක් හදන්නේ. අනතුරුව ප්‍රසිද්ධියේ කිව්වා රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. මම අයින් වෙයි කියලා මගේ ගේ ගිනි තැබුවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ එහෙම ඉවත්ව යන්නේ නැහැ. ඉන් පසු සඳුදා මම කැබිනට් මණ්ඩලය කැඳවා සාකච්ඡා කර තිබෙන වැඩ පටන් ගත්තා. අනතුරුව බදාදා එම කණ්ඩායම අගමැති කාර්යාලය අල්ලගන්න උත්සාහ කළා. රටේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඇතුලේ මාර්ගගත සාකච්ඡාවක් පැවැත්වෙන විට පාර්ලිමේන්තුවත් වට කළා. මම හමුදාපතිවරයාට දැනුම් දුන්නා ඔබේ යුතුකම මෙම තත්ත්වය මැඩ පැවැත්වීම, ඒ සඳහා කටයුතු කරන්න කියලා. ඒ අනුව මෙම කබලකාරි තත්ත්වය නවත්වා ආණ්ඩු බලය ලබාගෙන කැබිනට් මණ්ඩලය සමග අපි රටේ ඉදිරි කටයුතු කරගෙන ගියා. මම මේ රට භාරගත්තේ රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් බව කිව යුතුයි. බොහෝ අය කිව්වා මේ ආර්ථිකය හදන්න බැහැ, රනිල් වික්‍රමසිංහ මෙය භාරගත්තේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා. මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් අගමැතිකම ලිඛිතව හෝ වාචිකව ඉල්ලු‍වේ නැහැ. මට කියූ නිසා මම එය භාරගත්තා. ජනාධිපතිවරයා දන්වා සිටි විට ආණ්ඩුවක් හදන්න කියා මම එය පිළිපැදිය යුතුයි. එය රටේ වගකීමක්. එහෙම කරපු මම රාජපක්ෂලා ආරක්ෂා කරනවා නම් ඒ අයට ලිපි ලියලා අගමැතිකම ඉල්ලපු අය මොනවා කරන්න ඕනද,

අපි බංගල්දේශයෙන් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 200ක් නැවත ගෙවූ බව මම ඔබට දන්වා සිටීමට කැමතියි. අපි ඉන්දියාවෙන් ලබාගත් මුදලු‍ත් කොටස් වශයෙන් නැවත ගෙවීමට සැලසුම් කර තිබෙනවා. මෙම ආර්ථික අර්බුදය සමග අප එක දෙයක් අවබෝධ කරගත්තා. අද රටේ ජනතාවට දේශපාලන පක්ෂ ක්‍රමය එපා වී තිබෙනවා. අද දේශපාලඥයන් පිළිගන්නේ නැහැ. ඔවුන් බොරු කාරයින් බවට පත් වෙලා. ඒ සමඟම ජනතාව දේශපාලන පක්ෂවලින් ඈත්වෙලා. එම යථාර්ථය අප තේරුම්ගත යුතුයි. නමුත් අවාසනාවකට අනෙක් දේශපාලන පක්ෂ මෙය පිළිගන්නේ නැහැ. ඔවුන් සිතාගෙන ඉන්නේ ජනතාව ඔවුන් කර උඩින් ගෙන ගොස් ජනාධිපති කරයි කියලා.

නමුත් අපි යථාර්තය පිළිගෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. ඇතැම් පක්ෂවලින් කියනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. තවත් අය කියනවා ජනාධිපති ධුරය වෙනස් කරන්න කියලා. ඒ වගේම ආණ්ඩුව වෙනස් කරන්න කියනවා. මම එකක් කියන්න කැමතියි. මේ රටේ අනෙක් දේශපාලන පක්ෂවල සහාය ලැබුණේ නැත්නම් මට මේ රට ගොඩගැනීමට හැකි වන්නේ නැහැ.

ඒ වෙනුවෙන් අගමැතිතුමාටත්, ඇමැතිවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා. අපි සෑමවිටම වෙනස සොයන්නේ අනෙක් අය දෙස බලලා. නමුත් එය නෙවෙයි සත්‍ය. වෙනස සෙවීම ආරම්භ කළ යුත්තේ අන් අයගෙන් නොවෙයි. වෙනස පටන් ගත යුත්තේ තමන්ගෙන්මයි. ඒ නිසයි මම තීරණය කළේ ජනාධිපතිවරයා ලෙස එම වෙනස මගෙන් පටන් ගන්න.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවීම් දෙකක් ඇති වුණා. පාර්ලිමේන්තුවේ ගෞරවයක්, විනයක් නැද්ද කියා ජනතාව ප්‍රශ්න කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්ව පිළිබඳ අවධානය යොමු කරමින් කරු ජයසූරිය මැතිතුමා කෙටුම්පතක් සකස් කර තිබෙනවා. මම එය මෙම සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරු නිසි ලෙස හැසිරෙන්නේ නැත්නම් ඒ පිළිබඳව කටයුතු කළ හැකියි. අප අපිව පාලනය කරගත යුතුයි.

ඒ වගේම වසර 20ක් පුරා කතා කළ දූෂණ විරෝධි පනත මම සම්මත කරගත්තා. අපි එතනින් නැවතුනේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණය නතර කිරීමට රාජ්‍ය පරිපාලන විශ්ලේෂණය නමින් තවත් වාර්තාවක් සකස් කර තිබෙනවා. එය දැන් සිංහල සහ දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. දූෂණයෙන් තොර රාජ්‍ය මුදල් පරිපාලනය පිළිබඳ අවධානය යොමු කෙරෙන මෙම වාර්තාව ක්‍රියාත්මක කරන්නේ ආසියාවේ පළමු වරට කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක වීම මේ අනුව සිදු වෙනවා. රුපියල් බිලියනයකට වඩා ටෙන්ඩර් කැඳවනවා නම් එය ධබකසබැ ප්‍රසිද්ධ කළ යුතුයි.

මම සඳුදා තවත් කොමිසමක් පත් කරනවා. දූෂණය ඇති වන එක් තැනක් තමයි දේශපාලන පක්ෂ. අද එහි වියදම් වැඩියි. මුදල් ප්‍රමාණය වැඩිවීම සමග බලපෑම් ඇති වෙනවා. ඒ වගේම මුදල් සමග අපරාධකරුවන් ඊට එක් වෙනවා.

ලබන වසරේ මම රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පවත්වනවා. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇතැම් විට 2025 මුල් කාලයේදී පළාත් සභා මැතිවරණ පවත්වනවා. එක්සත් ජාතික පක්ෂයත් දැන් සිටම ඊට සුදානම් විය යුතුයි. අපි මේවා කථා කරමු. අපේ වැරැද්ද අපේ කියා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට කටයුතු කළේ මේ ආණ්ඩුව යටතේ කියලා මම කියන්න කැමැතියි. ජනතාව දන්නවා කවුද වැඩ කළේ කියා. අපි කෑ ගහන්නේ නැහැ. මම කියන්නේ අනිත් අයටත් මේ සමග එක් වන්න කියලා.

තාක්ෂණයත් සමග රටේ තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

අද අපේ පක්ෂය අලු‍ත් පරිච්ඡේදයක් ආරම්භ කරලා තිබෙනවා. අපේ ජනාධිපතිවරයා අපේ පක්ෂය තුළින් රට තුළ විශාල පරිවර්තනයක් ඇති කරන්නයි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ දිවංගත ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස මෙරටට ලබා දීලා, ගොවි ජනපද ඇති කරලා, මේ රටේ වෙනසක් ඇති කළා. හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටට විවෘත ආර්ථිකය ගෙනල්ලා, මේ රටේ දියුණුවක් ඇති කරමින්, තවත් සිස්ටම් චේන්ජ් එකක් ගෙනාවා. ඒවගේම තමයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රෙමදාස මැතිතුමා දුප්පත් ජනතාවට හිසට සෙවණක් ලබාදීලා, ජනසවිය ලබාදීලා, දිළිදුකම තුරන් කරන්නට ගත්ත පියවර අනිත් සිස්ටම් චේන්ජ් එක තමයි මිත්‍රවරුනි. අපේ ජනාධිපතිතුමා ඒ වගේම අලු‍ත් සිස්ටම් චේන්ජ් එකක් මේ රටට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ආර්ථික විප්ලවයක් කරන්න, සුහුරු රටක් බවට මේ රට පත් කරන්නට, තාක්ෂණයත් සමග මේ රටේ තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නට සුදානම් වෙනවා.

ජනාධිපතිතුමා රටවල් 130ක රාජ්‍ය නායකයන් හමුවී ලංකාව ආර්ථික වශයෙන් ගොඩනැගීමට සාකච්ඡා කර තිබෙනවා

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබෙන්නේ චීන සංචාරයෙන් පසුවයි. ශ්‍රී ලංකාව රටක් ලෙස ආර්ථික වශයෙන් දියුණු කිරීම සඳහා වන වැඩපිළිවෙළ එතුමා චීන නායකයන් මෙන්ම ජාත්‍යන්තර නායකයන් සමග සාකච්ඡා කර තිබෙනවා. රටවල් 130ක රාජ්‍ය නායකයන් හමුවී ලංකාවට ආර්ථික වශයෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙළ සම්බන්ධව මේ වන විටත් සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පනත් 65ක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා.

ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යා යුතුයි

එජාපක ජාතික සංවිධායක – සාගල රත්නායක

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කරුණු තිබෙනවා. බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට දෙවැනි වාරිකයත් සමඟ අපට පුළුවන්කම ලැබෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩඑන්න අද අපට උදව් කරනවා.

නමුත් අපි දැන් ස්ථාවර කියා සතුටු වෙන්න බැහැ. වේගවත් ආර්ථිකයක් අපි ඇති කරගත යුතුයි. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ආර්ථික ප්‍රතිසංසකරණ කළ යුතුව තිබෙනවා. විදේශීය රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. අපි මුණගැසෙන ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙක්ම අපේ රටට සහාය ලබාදෙන බව කියනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණා. ඉන් අනතුරුව පක්ෂයේ නායකතුමා ඉදිරියේදී එන අභියෝගවලට මුහුණ දෙන ආකාරය ගැන අපට උපදෙස් ලබා දුන්නා. 2022 වසරේදී දේශපාලන පෙරළියක් සිදුවුණා.

එජාපය සහ ශ්‍රී ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක් – එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා

එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ශ්‍රී ලංකාවයි. එජාපය සහ ශ්‍රී ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මේ රටේ දරුණුම වැටුණු අවස්ථාවක රට බේරා ගත්තේ එජාපයයි. පක්ෂය අද වන විට වෙනස්කම් රැසක් සමගින් ඉදිරියට යනවා.

අනාගත පරපුර ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය පවුලේ පක්ෂයක් නෙමෙයි – හිටපු අමාත්‍ය රවි කරුණානායක

හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා

අද දවස ඓතිහාසික දවසක්. මේ පවත්වන්නේ 77 වැනි සම්මේලනය පමණක් නොව, පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන සම්මේලනයක්. එක්සත් ජාතික පක්ෂය පවුලේ පක්ෂයක් නෙමෙයි. පක්ෂය එක පවුලක් ලෙස කටයුතු කරන නිසයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.

මේ රටේ ආර්ථිකය නඟාසිටුවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි. අපේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට කාලය එළැඹ තිබෙනවා. නිහඬ වෙලා සිටින එජාප පාක්ෂිකයන්ට නැවත අප සමඟ එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා

ආරම්භයේ සිටම ජාතීන් එකමුතු කළ පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. එජාපය සාමයේ සහ සහජීවනයේ පක්ෂයයි.

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා නිර්මාණය කළේත් එජාපයයි. පළමු විධායක ජනාධිපතිවරයා නිර්මාණය කළේත් මේ පක්ෂයයි. ආර්ථක වශයෙන් වැටුණ සෑම විටම රට ගොඩනැඟු‍වේ එජාපයයි.

ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා

ස්මාර්ට් කියන වචනය ගෙනාවේ ඇයි කියලා කවුරුත් දැනගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කාගෙන්වත් ඇහුවොත් කියන්නේ මොලේ තිබෙන නායකයෙක් කියලයි. එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට අපි ආඩම්බර විය යුතුයි. අගමැති ධුරයේ සිට ජනාධිපති ධුර දක්වා මේ රටට දෙයක් කළා නම් එය කළේ එජාපය පමණයි.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය සඳහා සුභාශිංසන එක් කර තිබිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද හිටපු අමාත්‍යවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු සහ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පැමිණි පාක්ෂිකයන් විශාල පිරිසක් සම්මේලනයට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment