2024 අයවැය රටට කොහොමද?

296

රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සියලු දෙනාම පොදුවේ මුහුණ දී සිටින්නේ අමාරු තත්ත්වයකටය. කොරෝනා වසංගතයෙන් පසුව මේ දක්වා ඇතැම් පෞද්ගලික අංශයේ ආයතනවල වැටුප් වැඩිවීම් සිදුව නොමැත. බෝනස් ලබාදීම් ද නැවතී ඇත. මේ නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද මූර්ත ආදායමේ විශාල කඩා වැටීමක් සිදුව ඇත. එහෙත් ඔවුන්ට හෝ මාසික වැටුප් නොලබන වෙනත් අවිධිමත් අංශවල සේවකයන්ට ද මෙවැනි වැටුප් හෝ ආදායම්වල වැඩිවීමක් සිදුවන්නේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වැනිදා ලබන වර්ෂය (2024) සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දැන් මේ ගැන පාර්ලිමේන්තුවේ විවාද සිදුවෙමින් තිබෙන අතර සාමාන්‍ය මහජනයා ද මේ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටියි. ජනාධිපතිවරයා අයවැය කතාව පටන් ගත්තේ බුද්ධ දේශනාවේ ඇති සමජීවිකතා සංකල්පය මතක් කරමිනි. අයවැය සමසේ සකස් කර ගැනීම ගැන සමජීවිකතාව ඔස්සේ අපට කියා දෙන බව ද ජනාධිපතිවරයා කීවේය. ඇත්ත වශයෙන්ම පුද්ගලයින් පමණක් නොව රජයක් පවා වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියටයි. එසේ නොකිරීමෙන් වන්නේ එම පරතරය (අයවැය හිඟය) පියවා ගැනීම සඳහා විශාල වශයෙන් ණය වීමට සිදු වීමයි. එම ණය බර දිගින් දිගටම එකතු වී ණය කන්දක් ගොඩ ගැසීමයි. අප දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ඇති තරම් ණය ගත්ත ද එම ණය ගෙවීමේ ශක්තිය වර්ධනය කරගත්තේ නැත. මේ නිසා සිදු වූයේ එම ණය තිරසාර නොවන බවට පත් වීමයි. එනම් ණය ගෙවාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමයි. එසේ තිරසාර නොවන තත්ත්වයට අපේ විදේශ ණය පත් වීමෙන් පසුව පවා ඒ ගැන තුට්ටුවකටවත් නොතකමින් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ආර්ථික බලධාරීන් කටයුතු කළ ආකාරය අපට මතකය. එහෙත් අවසානයේ සිදු වූයේ විදේශ ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් වීමයි. ඒ ගැන මේ වන විට උසාවි තීන්දුවක් ද ලැබී ඇත. මෙසේ පසුගිය සෑම රජයක්ම පාහේ සමජීවිකතා සංකල්පයට එරෙහිව කටයුතු කරමින් රට අමාරුවේ දමා දැන් රජය මේ අයවැයෙන් ජනයාට සමජීවිකතාව මතක් කර තිබේ.

2024 අයවැය රටට කොහොමද?

රාජ්‍ය සේවකයන්ට රු.10,000 ක්

මෙවර අයවැය යෝජනා අතර මුලින්ම ඉදිරිපත් කළ යෝජනාව වූයේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාව රු.17800 දක්වා රුපියල් 10ල000කින් වැඩි කිරීමයි. 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව මෙසේ වැඩිවෙන අතර එය ගෙවනු ලබන්නේ 2024 අප්‍රේල් මාසයේ සිටයි. ඒ අනුව 2024 ජනවාරි සිට මාර්තු දක්වා වන හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට ද නියමිතය. මෙසේ අයවැයෙන් රජයේ සේවකයන්ට රු.10ල000 ක මුදලක් ලබාදීමට ජනාධිපතිවරයා ක්‍රියාකළත් පෞද්ගලික අංශයේ සේවකයන් ගැන වචනයක් හෝ කතා කළේ නැත. පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ලබාදෙන ලෙස අඩුතරමේ ඉල්ලීමක්වත් කළේ නැත. ජනාධිපතිවරයාම අයවැය කතාවේ සඳහන් කළ පරිදි රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1ල300ල000) කි. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩි බව ද ජනාධිපතිවරයා කීවේය. එහෙත් මාසික වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව කොපමණ ද? එසේ නම් ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව කොපමණ ද? රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව මේ අගය කිහිප ගුණයකින් වැඩිය.

මුර්ත ආදායමේ කඩා වැටීම

රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සියලු දෙනාම පොදුවේ මුහුණ දී සිටින්නේ අමාරු තත්ත්වයකටය. කොරෝනා වසංගතයෙන් පසුව මේ දක්වා ඇතැම් පෞද්ගලික අංශයේ ආයතනවල වැටුප් වැඩිවීම් සිදුව නොමැත. බෝනස් ලබාදීම් ද නැවතී ඇත. මේ නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද මූර්ත ආදායමේ විශාල කඩා වැටීමක් සිදුව ඇත. එහෙත් ඔවුන්ට හෝ මාසික වැටුප් නොලබන වෙනත් අවිධිමත් අංශවල සේවකයන්ට ද මෙවැනි වැටුප් හෝ ආදායම්වල වැඩිවීමක් සිදුවන්නේ නැත. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැතත් මේ රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් ලබාදුන් රු.10000 ක මුදලේ බර දරන්නේ කවු ද? මේ රටේ බදු ගෙවන ජනතාවයි. මේ නිසා අමාරුකම් තිබෙන්නේ රජයේ සේවකයන්ට පමණක් නොව රටේ අතිමහත් බහුතර ජනතාවම ජීවත් වන්නේ අපහසුවෙනි. එවැනි පසුබිමක පොදු ජනතාවට යම් සහනයක් සලසනවා වෙනුවට ඒ සියලු ජනතාවගේ බදු බර තවත් වැඩිකර ලක්ෂ 13 ක පිරිසකට පමණක් රු.10000 ක් දීම කෙතරම් සාධාරණ ද යන ප්‍රශ්නය මතුවේ. අප මෙසේ කියනවාට රාජ්‍ය සේවකයන් කැමති නොවන බව අපි දනිමු. එහෙත් රජය මුහුණ දී සිටින බලවත් රාජ්‍ය මූල්‍ය අර්බුදය හමුවේ මේ වැඩිකර ඇත්තේ සැලකිය යුතු මුදලකි. විශ්‍රාමිකයන්ගේ රු.2500 ක දීමනා වැඩි කිරීමත් සමග මේ සඳහා රජයට වැයවන සම්පූර්ණ මුදල රු.කෝටි 13300කි.

බදු ගසා පඩි වැඩි කිරීම

මේ පඩි වැඩි කිරීම් ගැන අයවැය කතාවෙන් ජනාධිපතිවරයා මෙසේ කියයි.

පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් සියයට 35 ක් වැයවෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කරගන්න ඕනෑ. රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.’

එසේ නම් ජනාධිපතිවරයා අයවැය කතාවෙන් මෙසේ කියා රු.10000 ක පඩි වැඩි කිරීමක් සිදුකර කර ඇත්තේ එකඅතකට ඔහුම කියන සමජීවිකතා සංකල්පයට විරුද්ධ දෙයක් නොවේ ද? රජය සල්ලි අච්චු ගහන්නේ නැත්නම් සහ වැටුප් ගෙවීම සඳහා විදේශ ණය ගන්නේත් නැත්නම් කිරීමට සිදුවන්නේ අලුතෙන් බදු ගැසීමට ය. ඒ නිසා පොදු ජනයාට සියයට 18 දක්වා වැට් බදු පනවා ඇත. ඒ හරහා තවත් බඩු මිල වැඩිවනු ඇත. එහෙත් ලේසියට භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු තවත් වැඩි කරන්නේ නැතුව දිගුකාලීනව අවශ්‍ය කරන්නේ සෘජු බදු ආදායම් වර්ධනය කර ගැනීමට පියවර ගැනීමයි. අප මීට පෙරද පැහැදිලි කර ඇති පරිදි බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති අයගෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීම සඳහා වැඩියෙන් සෘජු බදු එකතු කර ගැනීමට අවශ්‍ය වුවත් ඒ සඳහා මේ අයවැයෙන් හෝ පියවර ගෙන ඇති බවක් නොපෙනේ.

බදු පදනම පුළුල් කර ගැනීම

බදු දැල පුළුල් කර ගැනීම හරහා බදු පදනම එනම් බදුගෙවන ආයතන හා පුද්ගලයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් එක් එක් පුද්ගලයා තනි තනිව දරන බදු බර අවම කරගත හැකි වේ. එහෙත් එහිදී වඩාත් ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ බදු ගෙවිය යුතු නමුත් බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීමටයි. ඒ අනුව නව බදු ලියාපදිංචිය වර්ධනය කර ගැනීමට මෙවර අයවැයේ උපක්‍රම අන්තර්ගත වේ. ඒ සඳහා බදු බැඳියාව ඇති නව ආයතන හා පුද්ගලයින් හඳුනාගත යුතු වේ. කෙසේ හෝ මේ සඳහා මෙවර අයවැයෙන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අවස්ථා හතරක දී අනිවාර්ය කෙරෙන බව දක්වා ඇත. ඒ අනුව ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක ඉල්ලුම්කරු විසින්, මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් සහ ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටෙක ගැනුම්කරු විසින් මේ සහතිකය ඉදිරිපත් කළ යුතුව තිබේ. මෙහි එක අවස්ථාවක් වන්නේ මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක යන්නයි. මෙහි බලපත්‍රය යනු ආදායම් බලපත්‍රය බව ද අප කළ විමසුම්වලදී දැනගැනීමට ලැබිණි. මේ අනුව දැනට ගෙදර තිබෙන මෝටර් සයිකලයේ ආදායම් බලපත්‍රය අලුත් කිරීමේ දී පවා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. සෘජු බදු ආදායම් වර්ධනය කරගත යුතු වුවත් මෙය කෙතරම් සාධාරණ ද යන්න ප්‍රශ්නයකි. කෙසේ හෝ මේ සදහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අවශ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේ දී නිකුත් කරනු ඇත. රාජ්‍ය ආදායම් ඉපයීම සඳහා අයවැයෙන් ශ්‍රී ලංකා ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් වෘත්තීය සමිති තවමත් අදහසක් පළ කර නැත. එසේම මේ නව ආදායම් අධිකාරියේ ආකෘතිය කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත.

අය වැයත් ෆේල්

අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ජනතාව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවකට ගෙන ගියා යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අය වැය විවාදය අරඹමින් පැවසීය. ඔහු තම කතාවේ දී මෙසේ ද කියා සිටියේය.

‘වැට් බදු වැඩි කරලා සියලු කඩතොලු වසා ගන්නට හැකි යැයි රජය වැරදි මතයක පිහිටා කටයුතු කර තිබෙන බවක් පෙනෙනවා. ආදායම් වැඩි කරන්නේ කෙසේද කියා සඳහනක් නැත. ව්‍යාපෘතිවලට මුදල් යොදවන්නේ කෙසේ ද කියා සඳහනක් නැත. නව විශ්වවිද්‍යාල පිහිටුවනවා කියනවා. ඒවාට අය වැයෙන් මුදල් වෙන් කර නැත. රට වටේ ආයෝජන කලාප පිහිටුවන බවට ගිය අයවැයේදීත් කිව්වා. මෙවරත් ඒවාට මුදල් වෙන් කර නොමැත. මූල්‍ය නගරය ගැන කතාවක්වත් නැහැ. මෙය හුදු රැවටිල්ලක් ලියවිල්ලක් පමණක් බව අය වැය පිළිබඳව දන්නා ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකියි. අපිව ඩිස්නිලන්තයට අරගෙන ගිය මුදල් අමාත්‍යවරයා, 2023 අය වැයේ යෝජනා 77න් 69 ක්ම ක්‍රියාත්මක කර නැහැ. එකතු වෙලා මේ ගමන යමු කියා ඉල්ලු නිසයි අපි මේ කියන්නේ. දැන් ජනපති ෆේල් අය වැයත් ෆේල් බව අපි කියනවා. මේ අය වැයෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘති ඉෂ්ට කරන්නේ නැති බව අපට විශ්වාසයෙන් කිව හැකියි.’

රාජ්‍ය බැංකුවල කොටස් විකිණීම

මෙවර අයවැය යෝජනාවලියේ 70 වන වගන්තියේ මූල්‍ය ස්ථායිකරණය යටතේ රාජ්‍ය බැංකුවල කොටස්වලින් සියයට 20 ක් විකිණීමට යෝජනා කර ඇත. මේ ගැන ලංකා බැංකු සේවක සංගමය මේ වන විට සිය විරෝධය පළ කර ඇත. ඒ අනුව එම සංගමය කියන්නේ ඉතිහාසය පුරා රාජ්‍ය බැංකු සියලු උවදුරුවලින් සුරැකීමට දිවි හිමියෙන් කැප වූ වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස අප මෙම සියලු තත්ත්වයන් රාජ්‍ය බැංකුවල සැබෑ හිමිකරුවන් වන මහජනතාව වෙත දැනුවත් කරමින් සමස්ත බැංකු සේවක ප්‍රජාව ඒ වටා පෙළ ගස්වමින් රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ සුරක්ෂිත කිරීමට පෙරමුණ ගන්නා බවයි.

අයවැයේ හොඳ නරක

අයවැයේ හොඳ නරක එහි අන්තර්ගතයෙන් පමණක් අපට මැනිය නොහැකිය. අයවැයේ කෙතරම් හොඳ යෝජනා ඇතුළත් වුවත් ඒවා කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්නට සහතිකයක් නැත. ඒ නිසා අයවැයක හොඳ නරක තීරණය වනු ඇත්තේ ඒවා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සහ ඉන් ලැබෙන යහපත් ප්‍රතිඵල මතය. මෙවර අයවැයෙන් රජය අපේක්ෂා කරන්නේ රු. බිලියන 3820 ක බදු ආදායමක් උපයා ගැනීමටය. ඉන් රු.බිලියන 1080 ක් ආදායම් බදුවන අතර භාණ්ඩ හා සේවා මත පනවා ලබන ආදායම රු.බිලියන

2235 කි. එසේම ඉන් විදේශ වෙළෙඳාම මත ලැබීමට ඉලක්ක කර ඇති ආදායම රු.බිලියන 505 ක් වේ. රු. බිලියන 287 ක් වූ බදු නොවන ආදායමත් සමග 2024 දී එකතු කිරීමට අපේක්ෂා කරන මුළු රාජ්‍ය ආදායම රු.බිලියන 4127කි. එසේම ලබන වසරේ මුළු රාජ්‍ය වියදම රු.බිලියන 6978 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ අනුව ජනිත වන ලබන වසරේ (බැංකු ප්‍රතිප්‍රාග්ධණීකරණයට වැයකෙරෙන අගය ද සහිතව) සමස්ත අයවැය හිඟය රු.බිලියන 2851 ක් වේ. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සියයට 9.1 ක් දක්වා වැඩිවෙනු ඇත.

අර්බුදයෙන් ගොඩ ඒමට රටම සූදානම් කිරීම

අප මුහුණ දී සිටින්නේ දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ය. ඒ නිසා අප අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වන්නේ අපගේ විදේශ විනිමය ලැබීම් මාර්ග වර්ධනය කර ගැනීමයි. සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීමට යෝජනා අයවැය තුළ තිබුණත්, වඩාත් පුළුල් වශයෙන් විදේශ විනිමය ලැබීම් මාර්ග වර්ධනය කර ගැනීම සඳහා වන යෝජනා මෙවර අයවැය තුළ දක්නට නොමැත. අප සිතන්නේ අයිඑම්එෆ් වැඩසටහනේ කොන්දේසි ඉටු කිරීමට අමතරව මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා අපටම සැලසුම් හා උපායමාර්ග තිබිය යුතු බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගනිමින් රටම සූදානම් කිරීමේ අවශ්‍යතාවක් තිබේ. මෙහිදී ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඉල්ලා සිටියත් රජය විසින් අයිඑම්එෆ් කොන්දේසි ඒ අයුරින්ම ඉටු කිරීමට උත්සාහ ගන්නවා මිස රට මුහුණ දී සිටින මේ බලවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් හෝ දැක්මක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවක් නම් අපට දැකිය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment