දැනටත් කැපිලි කෙටිලි එමටයි
ලලයි ලිලයි, ජානු, දෙවරක් චක්කරේ, ටාගර්ට්, සික්ස් පැක්, දෑස මත මොහොතක් වැනි ටෙලි නිර්මාණවලින් පසුගිය කාලයේ ඔබ හමුවට ආ නවක රංගන ශිල්පිනියක් වන නිෂූ කාරියවසම් ඉන්දියානු සිනමා නිර්මාණයකටත් සම්බන්ධ වුණා කියලා ආරංචියක් ලැබුණා. ඒ ගැන වගේම ඇගේ අලුත්ම කලා තොරතුරු දැනගන්න අපි නිෂූට කතා කළා.
ඉන්දියානු සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා කියලා ආරංචියි?
ඔව්. ඒ ආරංචිය ඇත්ත. මම En Uyirey කියලා සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා.
කොහොමද ඒ ආරාධනාව ලැබුණේ?
මම වෙන චිත්‍රපටයක රඟපෑමට ගිය වෙලේ තමයි එතැනදී මාව දැකලා මට ඒ ආරාධනාව ලැබුණේ. මේ චිත්‍රපටයත් භාෂා පහකින් තිරගත වීමට නියමිතයි. අන්තිමේ මට කොහොම හරි දකුණු ඉන්දීය සිනමාවටත් සම්බන්ධ වෙන්න ලැබුණා.
මේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
මම හිතනවා ඒක ලොකු අත්දැකීමක් කියලා. මාත් එක්ක ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රශී පබා අක්කා රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඉන්දීය නළු නිළියන් රැසක් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබුණා. පසුගිය මාසයේ තමයි රූගත කිරීම් සිදු කළේ. මේ චිත්‍රපයේ පූර්ව ප්‍රචාරක පටය එළැඹෙන මැයි මාසයේ එළිදක්වනවා. කේරළ, තෙලිඟු වැනි භාෂා පහකින් En Uyirey තිරගත වීමට නියමිතයි.
වෙන මොනවද රඟපෑම් වැඩකටයුතු?
මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු රංජන් ලසන්තගේ සුපෙම් සුළඟක් සහ බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් කියන චිත්‍රපට දෙකේ හඬකැවීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔය අතරේ ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.
ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයටත් පසුගිය දවස්වල රංගනයෙන් දායක වුණා නේද?
ඔව්. මෙහෙණින් වහන්සේගේ චරිතයක් තමයි රඟපාන්න ලැබුණේ. මම හිතුවේ නැහැ ඒ වගේ දැවැන්ත සිනමා නිර්මාණයක මට රංගනයෙන් දායක වෙන්න ලැබෙයි කියලා. ඒ වගේ දැවැන්ත නිර්මාණයක පොඩි හරි චරිතයකට කතා කරපු එක ගැන සුනිල් ආරියරත්න සර්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
ටෙලි නාට්‍ය කීයකට විතර දායක වෙලා තියෙනවාද?
මම රඟපෑමට මුලින්ම ආවේ සුපුන් රත්නායක සර්ගේ ලලයි ලිලයි ටෙලි නාට්‍යයෙන්. ඊට පසුව දෙවරක් චක්කරේ, ජානු, සික්ස් පැක්, දෑසමත මොහොතක් වගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.
රංගන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
රැඳී සිටින්න අමාරුයි. තමන්ගේ තිබෙන දක්‍ෂතාවයත් එක්ක ඒක පවත්වාගෙන යන්න ඕනෑ. වාසනාව තිබ්බත් දක්‍ෂතාවය නැතිනම් රැඳෙන්න හරි අමාරුයි.
මේ ආපු ගමනේදී බාධක එහෙම තියෙනවාද?
අනිවාර්යයෙන්ම. දැනටමත් තියෙනවා. දැනට වුණත් කැපිලි කෙටිලි, ප්‍රතික්‍ෂේපවීම් සෑහෙන තියෙනවා. සමහර වෙලාවට මගේ පෙනුමත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ කොයි කාලෙද?
මම නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ 2016 වසරේදී. ඊට පස්සේ මම මේ ක්‍ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා රැකියාවක් කළා.
ඇයි නිරූපණයෙන් ඈත් වුණේ?
ඇත්තටම නිරූපණයෙන් ඈත් වුණේ කලකිරීමෙන්. අනිත් එක මට වෙනම විදිහකින් ශක්තිමත් ලෙස ක්‍ෂේත්‍රයට එන්නත් ඕනෑ වුණා. 2018 වසරේ තමයි මම නැවත නිරූපණයට ආවේ.
ඒ කාලය ඇතුළත මොනවද කළේ?
ඒ කාලය ඇතුළත මම පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කළා.
නැවත ක්‍ෂේත්‍රයට එනකොට ලැබුණ ප්‍රතිචාර?
ප්‍රතිකාර හොඳයි. ඒ වුණාට බාධක ගොඩයි. මම හිටපු විදිහත් එක්ක ආපසු හැරී බැලුවොත් මහ දුෂ්කර ගමනක්. දැන් මේ මම ඉන්න තැන ගැනත් තවම සතුටු නැහැ. මොකද තව මට ඉදිරියට යන්න සිහින තියෙනවා. මම මගේ ගමන ගොඩක් හෙමින් යන්නේ. මොන තරම් ප්‍රශ්න ආවත් බාධක ආවත් මම බැහැයි කියලා දෙයක් අතහරින්නේ නැහැ. කිසිම හදිසියක් නෑ හෙමිහිට මගේ ගමන යනවා.
නිෂූ කාරියවසම් කියන්නේ මොන වගේ චරිතයක්ද?
ඇත්තටම කිව්වොත් මම ටිකක් පාඩුවේ පැත්තකට වේලා ඉන්න කෙනෙක්. සමාජයත් එක්ක වැඩිය නැහැ. ආශ්‍රය කරන අයත් එක්ක ෆිට් වුණොත් ෆිට් වුණාම තමයි. කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගත්තොත් ඒ බැඳීම හරි ශක්තිමත්. ඒ වගේම ලෙහෙසියෙන් අතහරින්නේ නෑ. නමුත් මම තනියම තමයි ඉන්න ආස. ඒ වගේම මම හරි නපුරුයි. මට කේන්ති යනවා. හිතහොඳ වැඩිකමටත් මිනිස්සුන්ට මාව එපාවෙන වෙලාවලුත් තියෙනවා.
නිළියක්, නිරූපිකාවක් වෙනවා කියලා පුංචි කාලේ ඉඳලා හීන මැව්වාද?
පුංචි කාලෙ ඉඳලම හීන මැව්වා නර්ස් කෙනෙක් වෙන්න. පුංචි කාලේ ගෙදරදී සාරි එහෙම ඇඳගෙන රඟපානවා. ඇත්තටම මගේ හීන දෙකක් තිබ්බා. මුල්ම හීනය නර්ස් කෙනෙක් වෙන එක. ඒක මම හැබෑ කරගත්තා. ඊට පස්සේ මට ඕනෑ වුණේ රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒ ආසාව වෙනුවෙන් මම දැනට වැඩකටයුතු කරගෙන යනවා.
මේතාක් ලැබුණු චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?
නැහැ. මම හිතනවා මට මීට වැඩිය දෙයක් කරන්න පුළුවන් කියලා. මම ආසයි වෙනස් වෙනස් චරිත රඟපාන්න. එකම රාමුවකට කොටුවෙලා ඉන්න කැමැති නැහැ.
වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?
එහෙම දෙයක් නැහැ. හැබැයි මම සිනමාවට ආසයි. ඒ වගේම ටෙලි නාට්‍යවලටත් ආසයි.
පෙනුම හින්දා වැඩිපුර ලැබෙන්නේ මොනවගේ චරිතද?
මගේ පෙනුම හින්දා මට වැඩිපුර ලැබෙන්නේ ඔෆිස් චරිත තමයි. නමුත් මම හරි කැමැතියි ගැමි චරිත වගේම දුෂ්ට චරිත රඟපාන්න. ඒ වගේම ආදරණීය චරිතත් මට හම්බවෙලාම නැහැ. වෙනසක් කරන්න පුළුවන් චරිත හම්බවෙනවා නම් හරි කැමැතියි.
දිනේෂ් විතාන