නුවර ඇසළ පෙරහරට දින නියම වෙයි: කප් සිටුවීම අගෝස්තු 17 දා

97

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන් හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු මස 17 දින ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලන්හි පෙරවරු 6.12 ට යෙදෙන සුබ නැකතට වයඹ දිශාභිමුඛව කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කරන බව ඒ මහතා කීය.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දින වකවානු ප්‍රකාශයට පත් කරමින් පෙරහැර සංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (05දා) ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවැති සාකච්ඡාවකදී නිලංග දෑල මහතා මේ බව පැවසුවේය.

කප් සිටුවීමෙන් පසු පුරා දින හතරක් දේවාල පවත්වන බවත් ඉන් අනතුරුව අගෝස්තු 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය ආරම්භ කරන බවත් ඒ මහතා කීය.

කුඹල් පෙරහර දින පහක් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම අගෝස්තු මස 26 වැනිදා ආරම්භ වන බවත් අවසන් රන්දෝලි මහ පෙරහර 30 වැනිදා වීදී සංචාරය කිරීමෙන් පසු පසුදින අලුයම දිය කැපීමේ මංගල්‍යය පවත්වා දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවත් දියවඩන නිළමේවරයා පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කොවිඩ් වසංගතය හා ඒ සමඟ ඇතිවූ වෙනත් ගැටලු බොහෝ දුරට නිමවී තිබෙන බැවින් මෙවර මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා අතිවිශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් පෙරහර රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6000 ක් පමණ යෙදවීමට අපේක්ෂා කරන බවත්ය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද නාථ දේවාල බස්නායක නිළමේ එස්. බණ්ඩාරනායක, විෂ්ණු දේවාල බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, කතරගම දේවාල බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ යන මහත්වරු ද සහභාගි වූහ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment