වෛද්‍ය සාෆිගේ දියණිය ලැබූ ජයග්‍රහණයේ කතාව
මෙවර උසස්පෙළ විභාගයේදී තමන්ට මුහුණ දෙන්නට සිදු වූ අභියෝගවලට මුහුණදෙමින් උපරිම ලකුණු ලැබීමට සමත් වූ දක්ෂතම ශිෂ්‍යාවක් ලෙස වෛද්‍ය සාෆිගේ දියණියව හඳුන්වන්නට කැමැත්තෙමු. අපි ඇය සමග කතා කළෙමු.
සමාජ අපවාද, නීතිමය විමර්ශන ඇතුළු සියලු අභියෝගවලට මුහුණදෙමින් විඳින්නට ඇති සියලු පීඩාවන්ට මුහුණදෙමින් සිය මවට සහ පියාට අභිමානයක් ගෙනදෙනු පිණිසත්, තමන්ට විවිධාකාර චෝදනාවන්ට පිළිතුරු දීම පිණිසත් මේ පුංචි කෙල්ල ජීව විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා උසස්පෙළ සමත්ව සිටින්නීය. එපමණක් නොව ශ්‍රී ලංකාවෙන්ම 357 වැනි ස්ථානය ලබා ගැනීමටත්, දිස්ත්‍රික්කයේ 12 වැනි ස්ථානය දිනාගැනීමටත් ඇය සමත් වූවාය. ඇය ලැබූ ජයග්‍රහණය හමුවේ, ඇයට කියන්නට ඇති දෙය අකුරු කිරීම පිණිස ඇය සමග කතා කරන්නට සිතුවෙමු. ඇය දැඩි ආත්ම විශ්වාසයක්, පැහැදිලි කටහඬක්, දැඩි මිත්‍රශීලීත්වයක් සමග කිසිදු වෛරයක් නොමැතිව තමන්ට කියන්නට ඇති කතාව කීවාය. සලිත වූයේ ලියුම්කරුය. කම්පනය වූයේ ලියුම්කරුය. ඒ මේ පුංචි දැරිය කෙතරම් දැවැන්තදැයි හැඟෙද්දීය.
මේ දැරියට ආරක්ෂිත රටක් හදන්න අපට බැරි වුණේ ඇයි? ලියුම්කරුට හැඟුණි.
මීට වසර හයකට පෙර, 2019 මැයි මාසයේ දිනයක වෛද්‍ය සාෆි ෂියාබ්දීන් අත්අඩංගුවට ගනු ලැබීය. 2019 මැයි 23 වැනිදා පළ වූ ප්‍රවෘත්තියකින් පසු ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයක් හමුවේය. ලියුම්කරු එම අවස්ථාවේ වෙනත් පුවත්පතක සේවය කළ නමුත්, මේ වනවිට සතිපතා දිවයිනට මාධ්‍යවේදියකු ලෙස සාමූහිකව එදා සිදුවීමේ වගකීමට යටත් විය යුතුය. මේ දැරියගෙන් සමාව ගැනීම නොවේද මනුෂ්‍යත්වය?
මේ වෙද්දී වෛද්‍ය සාෆිගේ දියණිය ලැබූ ජයග්‍රහණය දෙස අප බැලිය යුත්තේ ඇය සමාජයට උගන්වා ඇති පාඩම හිස නවා භාරගනිමින් මනුෂ්‍යත්වයෙන් දිදුලන හදවත් ඇතිවය.
එවකට කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නියෝගය මත, එවකට කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායකගේ නියෝග පරිදි වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගනු ලැබීය. එම අවස්ථාවේ සමාජගත කරන ලද වෛද්‍ය සාෆිට එරෙහිව එල්ල වූ දරුවන් වඳ කිරීම පිළිබඳ චෝදනා එකක්වත් ඔප්පු කිරීමට සමත් වී නොමැත. එම චෝදනා එල්ල කළ පුද්ගලයන් සතුව ආණ්ඩු බලය තිබුණත් චෝදනා ඔප්පු කිරීමට අසමත් විය. උක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාම ඇතුළුව, මේ චෝදනා එල්ල කරමින් දැවැන්ත සමාජ ආන්දෝලනයක් ඇති කළ කිසිදු කෙනෙකුට අද දක්වා කිසිදු පියවරක් ගෙන නැති බව මේ දියණියගේ කතාව කියද්දී සිහිපත් කළ යුතුය.
ලියුම්කරු වෛද්‍ය සාෆිගේ සිදුවීම වාර්තා කළ පළවැනි වටයේදීම, ඔහුගේ දරුවන් විඳි පීඩනය ඉස්මතු කිරීමට පෙළැඹුණේ, ඒ වෙද්දී එම දරුවන් දැඩි පීඩාවකට පත් කොට තිබීම නිසාය.
වෛද්‍ය සාෆිගේ දියණිය අප සමග මෙසේ කීවාය.
“ඇත්තටම මට උසස්පෙළට ජීව විද්‍යාව කරන්න අදහසක් තිබුණේ නැහැ. තාත්තාත් නිදහස දීලා තිබුණා කැමති දෙයක් කරන්න කියලා. මට සමීප අය කිව්ව දෙයක් තමයි ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෑ තාත්තාට වෙච්ච අසාධාරණයට සාධාරණයක් කරන්න කියලා. මාව මානසික පීඩාවට ලක්වෙන විදියට හැසිරුණු අය බයෝ කරපු හින්දා මමත් බයෝ කරන්න හිතුවා.
අනෙක් පැත්තෙන් අපි වෙනුවෙන් යාඥා කරපු අයට කරපු සේවාවක් කරනවා නම්, ඩොක්ටර් කෙනෙක් වෙලා ඒක කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තා.
සාමාන්‍යපෙළ විභාගයෙන් මම ඒ නවයක් ලැබුවා. ඒත්, මට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඇඩ්මිෂන් ලැබුණේ නෑ. ඒ නිසා මම උසස්පෙළ පුද්ගලිකව කරන්න පටන් ගත්තා.
මම උසස්පෙළ පංති ගියේ ඔන්ලයින්.
ගොඩක් වෙලාවට නුවර අම්මා තාත්තා කවුරුත් නැහැ. මල්ලි නංගී දෙන්නාත් ඉස්කෝලේ ගියා. ඒ නිසා මම අනුරාධපුර ගිහින් ආච්චි අම්මා ළඟ ඉඳන් ඔන්ලයින් ක්ලාස්වලට ගියා. ඉඳලා හිටලා මහනුවර ඇවිත් ඔන්ලයින් ක්ලාස්වලට සහභාගි වුණා.
මම තනියම තමයි වැඩිපුරම ඉගෙනගත්තේ. අන්තිමේ විභාගයට අනුරාධපුරට ගියා. විභාගයට මුහුණදීලා, මෙච්චර හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. මෙඩිකල් ගියා කියලා හිතුවා. ඒත්, මේ වගේ දෙයක් වේවි කියලා හිතුවේ නෑ.
මේ සිදුවීම සමාජ මාධ්‍යවලින් රටම දැනගනීවි කියලාත් හිතුවේ නෑ. ඒත් මම බණ්ඩාර තිලකරත්න සර්ට කතා කළා. ඔහු අපි වෙනුවෙන් කතා කරපු කෙනෙක්. මම සර්ට කතා කළාම සර් ඒ ගැන සතුටින් ආටිකල් එකක් ලිව්වා. ඒකෙනුයි ගොඩක් අයට මේ සිදුවීම දැනගන්න ලැබුණේ. අද කිසිම ආඩම්බරයක්, ලොකුකමක් මට දැනෙන්නේ නෑ. මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේත් නෑ.
මං ගැන ගොඩක් අය කතා කරනවා. සුභ පතනවා. මම ඒවා ගැන නිහතමානීව සතුටු වෙනවා.
මම දුවෙක් විදියට තාත්තාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග දීලා තියෙනවා. ඉස්සරහටත් මම එයාලාව සතුටු කරනවා. මා වෙනුවෙන් අම්මා ගොඩක් දුක් වින්දා. අම්මා කවදාවත් මගේ අධ්‍යාපනය අත්හරින්න දුන්නේ නෑ. ඒ ගැන මම ආඩම්බරයි. අම්මායි, තාත්තයි සතුටු කරන්න ලැබුණ එක ගැන මට සතුටුයි.”
ඇගේ කතාව තුළ තිබුණේ නිහතමානී සතුටකි. ඇයට ඉගෙනගන්නට ලැබුණේ දැඩි පීඩාවන් මැදය. ඇයට පාසල් පහකට පමණ මාරු වීමට සිදු විය. භාෂාවන් මාරු කිරීමට සිදු විය. දෙමළ සහ සිංහල භාෂාවන් අතර දෝලනය වෙද්දී සිංහල සාහිත්‍යය වැනි විෂයන් ද මාරු කිරීමට සිදුවෙයි. ව්‍යාකාරණ, සාහිත්‍ය මූලාශ්‍ර මාරු කරන්නට සිදු වෙයි. ඇය මෙසේ විස්තර කළාය.
“මට පාසල් ගණනාවක ඉගෙනගන්න සිද්ධ වුණ. මම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සිංහල භාෂාවෙන් ඉගෙනගනිමින් හිටියේ. ඒත්, සිදුවීම්වලින් පස්සේ මම මුස්ලිම් කාන්තා විද්‍යාලයට ගියා.
එතැන මාස තුනක් හිටියේ. තාත්තාව නිදහස් කළාට පස්සේ කල්මුණේ ගියා. මගේ පළවැනි විෂය සිංහල. එහේ පළවැනි විෂය දෙමළ. වෙන ඔප්ෂන් එකක් නෑ. මාර මානසික අරගලයක් කරන්න සිද්ධවෙලා තිබුණා. දෙමළ ඉගෙනගෙන විෂයන් කරන්න බැලුවා. ඒත් ලකුණු ලැබුණේ අඩුවෙන්. මට විභාගවලට කවදාවත් ලකුණු හතළිස් පණස් ගණන් ලකුණු තිබුණේ නෑ. එහෙම ලකුණු අඩුවෙද්දි මම මානසිකව අසීරුවට පත් වුණා. දෙමළ භාෂාවෙන් කරලා ඒ නවයක් කරන්න බැරි බව මම හිතාගෙන හිටියේ. ඒත්, හොඳ වෙලාවට මල්ලිට ටි්‍රනිටි විද්‍යාලයෙන් මානුෂීය හේතු මත ඇඩ්මිෂන් දීලා තිබුණා. මල්ලිට මහනුවරට යන්න ලැබෙනකොට මටත් යන්න හැකි වුණා.
මට මහනුවර බදියුදින් විද්‍යාලයේ ඇඩ්මිෂන් හම්බවුණා. සිංහල භාෂාවෙන් සාමාන්‍යපෙළට මුහුණදෙන්න අවස්ථාව ලැබුණා. අන්තිම කාලයේ සිංහල භාෂාවන් ඉගෙනගත්තා. සිංහල සාහිත්‍ය විචාරය වගේ දේවල් සිංහලෙන් කරන්න වුණා. අවුරුදු දෙකක සිලබස් එක අවුරුද්දකින් කවර් කළා. සිංහල, ඉංග්‍රීසී විෂයන්වලින්.
මට උසස්පෙළට ඇඩ්මිෂන් දුන්නේ නෑ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ.”
ඇයට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ උසස්පෙළ පංතියට බඳවා නොගැනීම පසුපස ඇත්තේ කුමක්දැයි පැහැදිලි නැත. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ ඇයව බඳවා නොගත්ත ද, ඇයට වඩා අඩු ලකුණු ගත් සිසුවියන් බඳවාගෙන තිබුණි. එහෙත්, ඇය නොසැලී පුද්ගලිකව විභාගයට මුහුණ දී තිබුණාය.
ඇයව වසර හයකට පෙර අපට මුණගැහෙද්දී, වෛද්‍ය සාෆිට සමගාමීව ඇයටත් චෝදනා එල්ල වී තිබුණි. ඇතැම් පුවත්පත්වල ලිපි පළවුණේ වෛද්‍ය සාෆිගේ දරුවන් පාසලේදී සනීපාරක්ෂක තුවා සහ වෙනත් කෑම වර්ග බෙදූ බවය. කුඩා දරුවන් අතර, මේ දරුදැරියන් තනි කිරීමට පවා ප්‍රහාරයකයන් සැහැසි වී තිබුණි. ඇයට ඒ ගැන මතකය අඩුය. ඇය ඒ කම්පනීය අතීතයට රැගෙන යන්නත් ලියුම්කරුට නොහැක. එහෙත්, ඇය කෙටියෙන් මෙසේ කීවාය.
“එදා ඇත්තටම පොඩි ළමයෙක් විදියට තේරුමක් තිබුණේ නෑ. සනීපාරක්ෂක තුවා බෙදලා දුන්න කිව්වාම ලොකු කම්පනයක් ආවා මට. එක ළමයෙක්ට පීරියඩ්ස් හැදිලා, පෑඩ් එකක් දුන්නා තමයි. ඒ ගැනත් කම්ප්ලේන් කළා. ඒ තරම් අමානුෂික වෙන්න පුළුවන්ද කියලා කලකිරීමක්. අද ඒ ළමයි හොඳට කතා කරනවා. මට එයාලාගෙන් පළින්නවාට වඩා දෙන්න පුළුවන් ප්‍රතිචාරය තමයි හිනාවෙලා කතා කරන එක. එයාලාට වරදකාරී හැඟීමක්. එයාලාට හැමදාම තියෙනවා කියලා හිතෙන එක. අනිත්‍ය කියන එක අවබෝධ කරගෙන නෑ කියලා.”
ඇයට අපි සුභ පතන්නෙමු. ඇයටත්, ඇගෙන් පසු පරම්පරාවේ සියලු දරු දැරියන්ටත් ආරක්ෂාකාරී රටක් තැනීම අපේ වගකීමය. එය කළ හැකිද? නොහැකිද? අනාගතය කෙබඳුද යන්න මේ මොහොතේ අපැහැදිලිය. එහෙත්, අපට මේ සිදුවීම දෙස බලා පාඩම් ඉගෙනගත හැක. දෛවය පුදුමාකාරය. වසර හයකට පෙර, පළ වූ පුවතෙහි ඇති කරුණු නිවැරදි නොවන බව කියමින් මුලින්ම පුවතක් ලීවේ ලියුම්කරුමය. අද දිවයින පුවත්පත වෙනුවෙන් මේ සටහන ලියන්නට ඉඩ ලැබීම දෛවය විය හැක. එය වේදනාබරය. එදා සියලුදෙනා සිටියේ බියෙන් ත්‍රස්තවය. බිය මැද තර්ක බුද්ධිය හීන වෙයි. මුළු ඇඟ වෙලාගෙන සැකය, බිය ඇවිළෙයි. එහෙත්, අප එයින් පාඩම් ඉගෙනගත යුතුය. ලියුම්කරුගේ මේ මොහොතේ ප්‍රාර්ථනය මේ පත්තර පිටුව කඳුළින් තෙත්වේවා යන්නය.
තරිඳු උඩුවරගෙදර