ශ්‍රී ලාංකීය සිනමාව වෙනස්ම දිශානතියකට රැගෙන ගිය සිනමා නිර්මාණයක් තමයි ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ ‘නෙළුම් කුළුණ’ සිනමා නිර්මාණය. එය මෑත කාලයේ විචාරක අගැයුම්, පැසසුම් විශාල ලෙස ලද නිර්මාණයක් වගේම සිනමාහල් පිරී ඉතිරී ගිය සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ නිසා සිනමාහල් හිමියන්ගේ වගේම එහි කාර්යමණ්ඩලවල පවා අතමිට සරුවුණා. ඇත්තටම අපි ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයෙන් බලාපොරොත්තුවන්නේද මෙවැන්නකි. ඉතිං එවැනි දැවැන්ත වෙනස්කමකට මුල පුරපු ඉලංගෝගේ නෙළුම් කුළුණ සිනමා නිර්මාණය හෙට (03දා) දින පනහ සපුරනවා. ලාංකීය සිනමාව වෙනස්ම මගක් කරා රැගෙන ගිය අධ්‍යක්ෂවරයෙක් වූ ඉලංගෝ රාම් වෙනුවෙන් මෙවර සිනමා කලා ඉඩක් වෙන්කරන්න හිතුවා.
නෙළුම් කුළුණ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කරලා එළැඹෙන 03 වැනිදාට දින 50 ක් සපුරනවා. අධ්‍යක්ෂවරයා විදිහට මේ වෙනකොට ඔබට තිබෙන්නේ මොනවගේ විග්‍රහයක්ද?
නෙළුම් කුළුණ දින 50 ක් ප්‍රදර්ශනය කරන්න ලැබීම ගොඩක් සතුටදනවන කාරණාවක්. ආපහු ලංකාවේ සිනමා සංස්කෘතියක් බිහිවුණා කියලා මම හිතනවා. මම සිනමාශාලාවට යනකොට කියන දෙයක් තමයි, මෙච්චර කාලයකට අපි සිනමාශාලාවකට ඇවිත් චිත්‍රපටයක් නරඹලා නෑ, මෙවර තමයි චිත්‍රපටයක් නැරඹුවේ කියන කතාව. තවත් සමහරු කියනවා, අවුරුදු තිහකට හතළියකට පසුව තමයි අපි සිනමාශාලාවකට ඇවිත් චිත්‍රපටයක් නැරැඹුවේ කියලත්. ඉතිං ඒ කතාව කොතරම් සතුට දනවන කාරණාවක්ද?.
නෙළුම් කුළුණ තිරගත කිරීමත් සමග ලංකාවේ සිනමාහල් රැසක් එකදිගටම හවුස්ෆුල් වෙන්න පටන්ගත්තා. ඒ වගේම විශාල ප්‍රේක්ෂක පිබිදීමක් අපි දුටුවා. මේ තත්ත්වය ඔබ චිත්‍රපටය තිරගත කිරීමට ප්‍රථම බලාපොරොත්තු වුණාද?
නැහැ. ඇත්තටම මම දන්නවා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරයට හොඳ චිත්‍රපටයක් ලබාදුන්නොත් ඒක ඔවුන් පිළිගනීවි කියන විශ්වාසය. මෙච්චර කල් කිව්වේ ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් නිර්මාණය කළාට වැඩක් නෑ. චිත්‍රපටයක් බලන්න මිනිස්සු එන්නේ නෑ, පාඩුයි කියලානේ. ඒ කතාව අපි බොරුවක් කියලා ඔප්පු කරලා තියෙනවානේ. හොඳ චිත්‍රපටයක් හැදුවොත් ප්‍රේක්ෂකාගාරය පිළිගන්නවා. නමුත් මෙච්චර ලොකු බ්ලොක් බ්ලාස්ටර් එක්ක වෙයි කියලා හිතුවේ නැහැ. මේ චිත්‍රපටය ගොඩක් ප්‍රේක්ෂකයන් සමීප කරගත්තා. ඔවුන් ඔවුන්ගේ කතාවක් නරඹනවා වගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා. ඒක තමයි මෙතැන තිබුණ ලොකුම විශේෂත්වය. අනෙක් කාරණාව, නැවත නැවත නරඹපු ප්‍රේක්ෂකාගාරයක් හිටියා.
පළමු වතාවට බොහෝ සිනමාහල්වල රාත්‍රි 11.30 දර්ශන වාරය පවා පවත්වපු අවස්ථා තිබුණා. සති අන්තයේදී රාත්‍රි 11.30 දර්ශන වාරයන් හවුස් ෆුල් වුණ අවස්ථාත් තියෙනවා.
සිනමාශාලා හිමියන් හැමතිස්සේම කියන කතාවක් තමයි සිංහල චිත්‍රපට දුවලා වැඩක් නෑ, සෙනඟ නෑ, කියන කාරණාව. නමුත් මේ චිත්‍රපටයෙන් පසුව ඔබ සිනමාශාලාවලට ගියා පසුව සිනමාශාලා හිමියන් මොනවාද කිව්වේ ?
බොහෝ සිනමාශාලා හිමියන් ගොඩක් සතුටු වුණා. මුලදී එක දර්ශන වාරයක් විතරක් ප්‍රදර්ශනය කළ සිනමාශාලා රැසක් පස්සේ දර්ශන වාර තුනක් ලබාදෙන්න තීරණය කළා. පී.වී.ආර්. සිනමා සංකීර්ණයේ එක දවසේ දර්ශන වාර විසිඑකක් ප්‍රදර්ශනය වුණා. සාමාන්‍යයෙන් ඔවුන් සිංහල චිත්‍රපටයක් සඳහා දවසකට දර්ශන වාර තුනක් හෝ හතරක් තමයි ලබාදෙන්නේ. නමුත් නෙළුම් කුළුණ චිත්‍රපටය දර්ශන වාර විසිඑකක් තිරගත වුණා. ඒ වගේම ස්කෝප් සිනමා සංකීර්ණයෙන් එක දවසට දර්ශන වාර දාහතක් දහඅටක් තිරගත වුණා. කොළඹින පිටත කුරුණෑගල, නුවර, මාතර, ගාල්ල වගේ සිනමාශාලාවලත් මේ තත්ත්වයම දැකගන්න ලැබුණා. සමහර සිනමාශාලාවල සේවකයෝ කිව්වා මේ ෆිල්ම් එක හින්දා අපිට පඩි වැඩි කළා, අපිට බෝනස් හම්බවුණා කියලත් කිව්වා. ෆිල්ම් බලන්න ප්‍රේක්ෂකාගාරය වැඩිවන තරමට හැමෝටම හොඳයිනේ.
නවක අධ්‍යක්ෂවරයෙක් විදිහට ලාංකීය ප්‍රේක්ෂකාගාරය ගැන ඔබට මොනවගේ මතයක්ද තියෙන්නේ ?
ලාංකීය ප්‍රේක්ෂකාගාරය ගොඩක් උසස්. ඔවුන්ට හොඳ චිත්‍රපටයක් ලබාදෙන්න ඕනෑ, සිනමාශාලාවලට ගෙන්වා ගන්න. ලාංකීය ප්‍රේක්ෂකාගාරයට බොරු කරන්න බැහැ, රවට්ටන්න බෑ, හොඳ වැඩක් කළොත් ප්‍රේක්ෂකයෝ එනවා. නෙළුම් කුළුණේ තිබුණ පොඩි පොඩි තැන් පවා ඔවුන් කතාබහ කරලා රසවිඳිනවා. අනෙක් කාරණාව ලාංකීය ප්‍රේක්ෂකාගාරයට විවිධ ෆ්ලැට් ෆෝම් හරහා වගේම රූපවාහිනියෙන් ලෝක සිනමාව නැරඹීමේ හැකියාව තියෙනවා. අපි චිත්‍රපටයක් හදලා සිනමාහල්වලට තිරගත කරනවා නම් සියල්ල ගැනම හිතලා තමයි ඒ වැඩේ කරන්න ඕනෑ. පැහැදිලිවම අපි ප්‍රේක්ෂකාගාරයට යමක් ලබාදෙන්න ඕනෑ. එතකොට තමයි ඔවුන්ව සිනමාශාලාවලට ගෙන්වා ගන්න පුළුවන්. ඒක නෙළුම් කුළුණ සිනමා නිර්මාණය හරහා අපි ඔප්පු කරලා තියෙනවා. මම, මේ දවස්වල ලංකාවේ ප්‍රේක්ෂකාගාරය එක්ක කතාබහ කරනවා, මට ඒ වෙලාවේ හම්බවුණා දර්ශන වාර හතර පහ බලපු ප්‍රේක්‍ෂයන්. එච්චරටම ඔවුන් මේ නිර්මාණය විඳිනවා. පරම්පරාවන් තුනක් එකට ඇවිත් නරඹපු අවස්ථාවලුත් මම දැක්කා. එක ආච්චි කෙනෙක් මට කිව්වා, ලංකාවේ සිනමාහල් ආරම්භ කරපු කාලේ චිත්‍රපටයක් බලන්න ආවට පස්සේ ආපහු අවුරුදු හතළිහකට විතර පස්සේ තමයි චිත්‍රපටයක් බලන්න හෝල් එකකට ආවේ කියලා. මෙච්චර කාලයකට සිනමාහලකට ගිහිල්ලා චිත්‍රපටයක් නොබලපු සිනමා රසිකයන්ව නැවත සිනමාහල්වලට රැගෙන එන්න නෙළුම් කුළුණ සිනමා නිර්මාණයට පුළුවන් වුණා. අවංකවම අපේ කණ්ඩායමට ඒ ගැන සතුටුයි.
මේක වෙනස්ම ශානරයක්. ප්‍රේක්ෂකයන් මේක මොන විදිහට භාරගනීවි ද කියන අභියෝගය හිතට ආවේ නැතිද?
ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මේ නිර්මාණයට කැමැතිවෙයි කියලා මම මේ වැඩේට අතගහනකොටම දැනගෙන හිටියා. මට ලොකු විශ්වාසයක් තිබුණා හොඳ චිත්‍රපටයක් දුන්නොත් ප්‍රේක්ෂකාගාරය ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. අපි මෙච්චර කාලයක් ඔවුන්ට හොඳ චිත්‍රපටයක් ලබාදීලා නෑ. ඒක තමයි මට තිබුණ මූලික අරමුණ. කොච්චර ෆෙස්ටිවල්වලට ගිහිල්ලා සම්මාන ගත්තත් වැඩක් නැහැ, ලාංකීය ප්‍රේක්ෂාකගාරය ඒ නිර්මාණයෙන් සතුටුවෙන්නේ නැතිනම්. ප්‍රේක්ෂකාගාරය නිර්මාණය සතුට භුක්තිවිඳිනකොට තමයි ඒක සම්පූර්ණ නිර්මාණයක් බවට පත්වෙන්නේ. සමහර අධ්‍යක්ෂවරු ඒක වෙන විදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මට තියෙන්නේ මගේ චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයට ඇවිත් නරඹලා ඔවුන් ඒක විඳින්න ඕනෑ. එතකොට තමයි මගේ නිර්මාණය සාර්ථක වෙන්නේ.
ජාත්‍යන්තර නිර්මාණවල මූලාශ්‍ර අරගෙන අනන්තවත් අපේ රටේ නිර්මාණ බිහිවෙනවා. හැබැයි පළමු වතාවට අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයේදී ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අත්දැකීම ඔබට දැනුණේ මොනවගේද?
මේක ඇත්තටම ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයට හොඳ අවස්ථාවක්. ඇත්තටම මෙච්චර කල් සිදුළේ ඉන්දියාව, කොරියාව, ඇමෙරිකාව වගේ රටවල නිර්මාණ අපි ආපහු ලංකාවේ ප්‍රතිනිර්මාණය සිදුකිරීමනේ. දැන් ඒකෙ අනෙක් පැත්තනේ සිද්ධවෙලා තියෙන්නේ. ලංකාවේ නිර්මාණයක් ඉන්දියාවේ දමිළ භාෂාවෙන් පෙරූස් කියලා නිර්මාණය වුණා. ඒක මම තමයි අධ්‍යක්ෂණය සිදුකළේ. හින්දි භාෂාවෙනුත් සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් යටතේ එම නිර්මාණය ප්‍රතිනිර්මාණය වෙනවා. එහි රූගත කිරීම් එළැඹෙන අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා.
ඊට අමතරව ඇමෙරිකාවේ, ඉතාලියේ රීමේක් කෙරෙනවා. ඒක හොඳ දෙයක්. මේක අලුත් පරම්පරාවට ලැබුණ හොඳ අවස්ථාවක්. ඒ වගේම ලංකාවේ අනෙක් නිර්මාණකරුවන්ටත් මේක හොඳ අවස්ථාවක්. ලෝක සිනමාව දැන් අපි දිහා බලයි. මොකද වෙන මොනවාද තියෙන නිර්මාණ අපෙන් ඔවුනට ලබාගන්න කියලා. මේක ලංකාවේ සිනමා කර්මාන්තයට හොඳ අවස්ථාවක්. මේක ඇත්තටම අලුත්ම පාලමක්.
දිනේෂ් විතාන