අසනීප වුණා කියන මහින්ද තානාපතිවරුන් හමුවෙලා

5174

පසුගිය සතිය වන විට මුළු රටම පැවතියේ අසීරු තත්ත්වයක ය. ඉන්ධන අර්බුදය වඩාත් උග්‍ර වීම නිසා මුළු රටේම ප්‍රවාහනය බරපතළ අර්බුදයකට මැදිව තිබිණි. රජය පොදු සේවා, අත්‍යවශ්‍ය සේවා හා පොදු ප්‍රවාහනය පවා පවත්වාගෙන ගියේ අසීරුවෙනි. අවසානයේ රාජ්‍ය සේවය පවා අකුළමින් රාජ්‍ය ආයතනවල සේවාවන් සීමා කරන්නට ද රජයට සිදුවිය.

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් නොවූයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවේකීව සිටියහ. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ විවේකය යොදා ගත්තේ වත්මන් රජයට එරෙහි දේශපාලන කටයුතු සංවිධානය කිරීම සඳහාය.

විපක්ෂයේ දේශපාලනය පැත්තෙන් බලන විට කැපී පෙනෙන දේශපාලන කාර්යභාරයක් ඉටුකළ පක්ෂය වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් සිය දේශපාලන කටයුතු දකුණේ ගම්දනව් සිසාරා ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව උතුරු හා නැගෙනහිර පළාත් දක්වාද ව්‍යාප්ත කර ඇති ආකාරය අපිට පසුගිය දිනවල දැකගත හැකි විය.

ඒ හැරුණු විට පසුගිය සතියේත් අරගලකරුවන්ගේ ක්‍රියාකාරීත්වය සුළු පටු නොවීය. අරගලකරුවන් ගෝල්ෆේස් පිටියෙන් හා ගෝඨා ගෝ ගම්වලින් අරඹනු ලැබූ අරගලය රට පුරා තෙල් පෝලිම් වලින් තව තවත් ව්‍යාප්ත විය. එහෙත් පසුගිය සතිය වන විට තෙල් පෝලිම්වල සටන අරුත්සුන් වූයේ ඉන්ධන නොමැතිකම හේතුවෙන් තෙල් පෝලිම්ද ටිකෙන් ටික අහෝසි වන තත්ත්වයක් රටේ නිර්මාණය වීම නිසාය. අවසානයේ ඔවුන්ගේ ඉලක්කය වූයේ ඔස්ටේ්‍රලියානු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාලු ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශයත් සිය අරගලයේ අණසක යටතට ගැනීමයි. කොටු පවුර මත තැනක “gota go home” යන පාඨය සියලු කැමරා කෝණ වලට පෙනෙන ආකාරයට ස්ථානගත කරමින් ඔවුන් ඒ සටන ගෙන ගියහ. එහෙත් ලොකු ජනතා සහභාගීත්වයක් ඔවුන්ට ඒ සඳහා ලබා ගනීමට නොහැකි වූයේ මුළු රටම පෙළෙන ඉන්ධන අර්බුදයේ ප්‍රතිඵල ඒ වන විට ඔවුන්ටද අඩු පාඩු නැතිව භුක්ති විඳින්නට සිදුව තිබීම නිසා විය හැකිය.

අසනීප වුණා කියන මහින්ද තානාපතිවරුන් හමුවෙලා

● තෙල් අර්බදයට හේතු හොයන්න…

මොන තරම් අභියෝග තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුපුරුදු පරිදි ඔහුගේ වැඩ කටයුතු වල යෙදී සිටියේය. අරගලකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, හිරුණිකා වැනි කාන්තාවන් සහ විපක්ෂයේ විවිධ පක්ෂ “gota go home කියමින්” මොනතරම් උද්ඝෝෂණය කළත් ජනාධිපතිවරයාත් තම නිල කාර්ය කටයුතු කිසිවක් අතපසු කළේ නැත.

පසුගිය සතියේ ලංකාවට පැමිණි ඇමරිකානු ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයන් කණ්ඩායම ජනාධිපතිවරයා හමුවන්නට පැමිණියේ 27 වෙන සඳුදාය. නියෝජිතයන් හය දෙනකුගෙන් යුතු දූත පිරිස උදේ 10:00 වන විට ජනාධිපති මන්දිරයට පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා මෙහිදී මුලින්ම අපේ රටේ ආර්ථික තත්ත්වය හා පසුගිය දිනවල රටක් ලෙස අප මුහුණ දුන් අභියෝග ගැන හොඳ පැහැදිලි කිරීමක් කළේය.

“මේ වගේ අවස්ථාවල රටවල්වලට උදව් කරන්න අපටත් ක්‍රමවේදයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා තමයි අපේ උදව් එන්නේ. ඒ හැරුණාම මානුෂීය ආධාර අවශ්‍යතා පරිදි ලබා දෙන්න අපිට හැකියාව තියනවා. දැනටමත් ඒවා ලබාදීම අපි ආරම්භ කරලා…” නියෝජිතයන් කීහ.

කෙසේ වෙතත් මේ සාකච්ඡාව ඉතා සාර්ථක එකක් විය. ලංකාවේ වර්තමාන තත්ත්වය හා අභියෝග පිළිබඳ ඔවුන් හොඳ අවබෝධයක සිටින බව පැහැදිලි විය.

ඇමරිකානු නියෝජිත හමුව අවසන් වූයේ 11.40ට පමණය. ඉන් අනතුරුව 11,45ට තවත් ඉතා වැදගත් සාකච්ඡාවක් ආරම්භ විය. මේ සඳහා සහභාගි වී සිටියේ කාලාන්තරයක් තිස්සේ ලංකාවට දිගින් දිගටම ඉන්ධන හා ගෑස් ගෙන්වා ලබා දෙන සැපයුම්කාර සමාගම්වල දේශීය නියෝජිතයන් පිරිසකි. රජය මොවුන් සඳහා ගෙවීම් නතර කර තිබූ බැවින් මේ වන විට ඔවුන් තෙල් සැපයීමෙන් බැහැර වී සිටියහ. මෙවර මෙම රැස්වීම කංචන විජේසේකර විසින් සංවිධානය කර තිබුණේ නැවත එම සමාගම මගින් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව කෙසේද කියා විමසා බැලීමටය. මැදපෙරදිග චීනය රුසියාව හා සිංගප්පූරුව යන රටවල් සමඟ කෙළින්ම ගනුදෙනු කරන සමාගම් රාශියක් මේ අතර වූහ. පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා ඩොලර් මිලියන 654කට වැඩි මුදලක් ඔවුන් සඳහා ගෙවීම් නතර කර දමා ඇති බවත් සමහර සමාගම් ඒ වෙනුවෙන් නඩුමගට බැස ඇති බවත් කංචන පැහැදිලි කළේය.

ජනාධිපතිවරයා විමසා සිටියේ නැවත එම තෙල් සැපයීම් සක්‍රීය කිරීම සඳහා ගත යුතු පියවර මොනවාද කියාය.

විශ්වාසනීය ලෙස ගිවිසුම්ගතව ගනුදෙනු ආරම්භ කරන්නේ නම්, හිඟ මුදල් ගෙවීම් පිළිබඳ විශ්වාසයක් ඇති වන්නේ නම් නැවත එම කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡා කළ හැකි බව නියෝජිතයන් වැඩි දෙනකුගේ අදහස විය.

මෙම සාකච්ඡාවට තෙල් සංස්ථාවේ ඉහළ නියෝජිතයන්, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් මෙන්ම රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් ද පැමිණ සිටියහ.

“කිසිම හේතුවක් නැතුව අපිව අත්හැර දැමුවා. සම්බන්ධතා තියාගත්තෙ නෑ. ඒකයි මේ ගැටලුව මෙච්චර දුරදිග ගියේ,” නියෝජිත සමාගම් පෙන්වා දුන්හ. එක් සමාගමක් ඉන්ධන නැව් අටක් ගෙනෙන්නට ගිවිසුම්ගත වුවත් එම සමාගමෙන් ලබා ගෙන ඇත්තේ එක නැවක් පමණි. ගිවිසුම් පැහැර හැරීම පිළිබඳව ද නඩුවක් විය.

“මේ සමාගම්වලට අපි ගෙවන්න ඕන නම් ඒවා ඉවර කරන්න ඕනනේ. ඊළඟට මේ තියෙන ගිවිසුම් අලුත් කරගන්න. නැවත තෙල් ගෙන්වීම පෙර පරිදි පටන් ගන්න.” ජනාධිපතිවරයා කීවේය.

රුසියාවෙන් තෙල් ගෙන්වා සපයන සමාගමක් අපට තෙල් ලබා දී තිබුණේ ඉතාමත්ම ලාභදායී මිලකටය. තෙල් නැව් අටකට ගිවිසුම්ගතව එක් නැවක් පමණක් ලබාගෙන තිබුණේ එම සමගමෙන්ය. නැවත එම සමාගම හා ගිවිසුම්ගතව තෙල් ලබා ගැනීම ආරම්භ කරන මෙන් ජනාධිපතිවරයා තෙල් සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

මෙම සමාගම්වලට කළයුතු ගෙවීම් කර නැවත ඔවුන් හා ගනුදෙනු ආරම්භ කරන්නැයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට හා මහ භාණ්ඩාගාරයට උපදෙස් දුන්නත් මහා භාණ්ඩාගාරයෙන් ලැබුණේ සතුටුදායක නොවූ උත්තරයකි.

“පොඩි පොඩි ගණන්වලට නම් ගෙවන්න ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. ඒත් ලොකු ගණන් තියන එකයි ප්‍රශ්නේ”

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ඵලදායී එකක් වී තිබිණි. ඉදිරියේදී ලංකාවේ තෙල් සැපයුම ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගණනාවක් ගනු ලැබීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව අවසන් විය.

ඉන් පසුව ජනාධිපතිවරයා සහභාගි වූයේ රුසියානු තානාපතිවරයා සමඟ පැවැති දිවා භෝජන සංග්‍රහයට ය. ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ මෙම විශේෂ භෝජන සංග්‍රහය හා සාකච්ඡාව රටේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් යෝජනා හා කරුණු හුවමාරු වූ සාකච්ඡාවක් බව පසුව අනාවරණය විය.

අඟහරුවාදා උදේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා හමු වන්නට පැමිණයහ. සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න, ලේකම් මහාචාර්ය ඉෂාන් ද සොයිසා දොස්තර සුසන්ත පෙරේරා ඇතුළු රටේ නම නමගිය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍ය වෘත්තිකයන් ගණනාවක්ම මෙහි පැමිණ සිටියහ.

● එක රටක් එක නීතියක් වාර්තාව භාරදෙයි…

පසුගිය බදාදා “එක රටක් – එක නීතියක්” පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීම සිදු විය. ඒ සඳහා එම කාර්ය සාධක බළකායේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ නියෝජිත පිරිස පැමිණ සිටියහ. ගලගොඩඅත්තේ හිමියන් සිටින බැවින් මෙම කාර්ය සාධක බළකාය අපේ රටේ සමහර පිරිස්වල අවඥාවට ලක් වුවද මවුලවි එම්. ඒ. එස්. මොහොමඩ්, යෝගේශ්වරී පත් ගුණ රාජා, අයියම්පාල්ලේ දයානන්ද රාජා ආදී දෙමළ මුස්ලිම් මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම කාරක සභාවේ කටයුතු කරන බව බොහෝ දෙනා දැන සිටියේ නැත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සේනානායක මෙනවිය මෙම බළකායේ ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

“මේක ඉතාම වැදගත් ජාතික කටයුත්තක්. ජාතික වගකීමක්. මේ වැඩේට මාව සම්බන්ධ කර ගැනීම ගැන නොයෙක් දෙනා ඔබතුමාටත් දොස් කිව්වා අපි දන්නවා. ඒත් ඔබතුමා කිසිදු සැකයකින් තොරව නොසැලී මේ වගකීම වගකීම විශ්වාසයකින් යුතුව අපේ කමිටුවට භාර කළා. 2021 ඔක්තෝබර් නොවැම්බර් මාසවල අපි වැඩ ආරම්භ කළා. මේ රටේ විවිධ ක්ෂේත්‍රයන් විවිධ පංතීන් ආවරණය වන පරිදි පුද්ගලයන් 1200කගේ මත විමසලා අපි මේක අවසන් කළා. “ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විස්තරයක් කරමින් කාර්ය සාධක බළකාය ට පැමිණි අභියෝග ගැන ද විස්තර කළේය. නිර්දේශ හතළිස් තුනක් සහිත පරිච්ඡේද අටකින් යුතු ඇමුණුම් කාණ්ඩ දෙකකින් වාර්තාව සමන්විත විය.

“සමහර අය තොරතුරු දැනගැනීමේ පනත යටතේ පවා මේ ගැන ප්‍රශ්න කරල තිබුණා. කොපමණ වියදමක් මේ අය වෙනුවෙන් රජය දරනවා ද කියන ප්‍රශ්නයත් ආවා. මෙහෙම අහපු සමහර අය බලනකොට විදේශීය තානාපති කාර්යාලවල සේවය කරන සිංහල අය. ඇත්ත වශයෙන්ම මේ සාමාජිකයෝ මෙහි රාජකාරී කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිදු මුදලක් අය කරලා නැහැ. ඒ ගැන වගකීමකින් කියන්න පුළුවන්.”

කාර්ය සාධක බළකායේ ලේකම්වරියද මේ ගැන විස්තර කළාය.

සාකච්ඡාව අවසානයේ කාර්ය සාධක බළකායේ සාමාජිකයෝ ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින්නට අමතක නොකළහ.

මේ අතරතුර තවත් අමුත්තෙක් ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටියේය. හේ පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුව සිට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වූ මහාචාර්ය උදිත කුමාරසිංහයි. ඔහු එම තනතුරට එන්නට ප්‍රථම වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටියේ ය. ඔහුට නැවතත් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් පැමිණ ජනාධිපතිවරයා හා විශේෂ සාකච්ඡාවක් කරනු ලැබූහ. මෙබඳු ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල සාමාජිකයෝ මේ දිනවල ජනාධිපතිවරයා හමුවෙන්නට පැමිණ මෙවන් සාකච්ඡා පැවැත්වීම සාමාන්‍ය කරුණක් විය.

● තෙල් වියදම දරන්න රටේ ආදායම මදිලු…

ඉන්ධන අර්බුදය අපේ රටට තදින්ම දැනුණු දින කිහිපයක් ලෙස පසුගිය සතිය කතාබහට ලක්විය. පසුගිය සතිය ආරම්භයේදී කංචන විජේසේකර අමාත්‍යවරයා මැදපෙරදිග බලා බලා පිටත්ව ගියේ කටාර් රාජ්‍යයේ බලශක්ති අමාත්‍යවරයා හමුවී මේ රටට ඉන්ධන ලබා

ගැනීම ගැන සාකච්ඡා කරන්නට ය. ඒ හා සමගම රුසියාවෙන් මේ රටට ඉන්ධන ලබා ගැනීම ගැන සාකච්ඡා කරන්නට සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාද රුසියාව බලා පිටත්ව ගියේය.

මේ සියලු සාකච්ඡාවල ප්‍රතිඵල ලැබෙන්නට කලක් ගතවන ගත වන බව පැහැදිලි විය.

ඒ අතරතුර ප්‍රශ්නයට කඩිනම් පිළිතුරු හොයන්නට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා තවත් සුවිශේෂී සාකච්ඡාවක් ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් 30වන බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති මන්දිරයේ පවත්වනු ලැබූහ. මේ සඳහා ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, කෙහෙළිය රඹුක්වැල්ල, වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, අගමැතිතුමාගේ විශේෂ නියෝජිත සාගල රත්නායක, ටිරාන් අලස්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ විශේෂ කටයුත්තක් නිසා නොපැමිණි අතර ඒ වෙනුවට නියෝජ්‍ය අධිපතිනියක් පැමිණ සිටියාය. තෙල් සංස්ථාවේ ගෑස් සමාගමේ සහ රාජ්‍ය බැංකුවල නියෝජිතයෝ ද මීට සහභාගි වී සිටියහ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිවරයාද මෙයට පැමිණ සිටීම විශේෂත්වයකි.

“මටත් තවම පැහැදිලි නැති දෙයක් තියනවා. මේ තෙල් අර්බුදය ගත්තාම තවමත් එක් එක්කෙනා කියන්නේ එක එක දේවල්. ඇමැතිතුමා එකක්. තෙල් සංස්ථාවේ සභාපති තව එකක්, වෙන වෙන අය එකේක ඒව කියනවා. මට පැහැදිලි කරන්නකෝ කවුරුහරි ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ. මොකද අපිට මේ විදියට ඉන්ධන අර්බුදයක් ඇති වුණේ. ජනතාව අතර ඉන්න ඉන්න සමහර අය කියන්නෙ රාජපක්ෂවරු හොරා කනව කියලයි. තව සමහරු කියනවා විදේශවල ඉන්න අයට සල්ලි එවන්න එපා කියලා. රාජපක්ෂවරු හොරා කනවලු. මට පැහැදිලි කරන්න.”

මෙහිදී නිලධාරීන් මේ අර්බුදය ඇති වුණු ආකාරය ගැන පැහැදිලි කරන්නට වූහ.

“අපට තෙල් සපයපු suppliers ක් ඉන්නවා. මම ඒ අයත් එක්ක කතා කළා. ඒ අයට ගෙවීම් කරල නෑ. ඒ අය ගැන විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන්. එයාලට මේ ගෙවීම් කරන්න ප්ලෑන් එකක් හදලා එයාලගෙන් උදව් ගන්න මේ වැඩේට. ප්ලෑන් එකක් හදා ගන්න. තෙල් නැවක් ඇනවුම් කරාම ඒක මෙහාට එන්න මාසයක් විතර යනවා. මට කියන්න… දැන් අපිට මොනවද තියෙන තෙල් සංචිත”

“කොළොන්නාව සපුගස්කන්ද මුතුරාජවෙල කියන ප්‍රධාන මධ්‍යස්ථානවලයි ප්‍රාදේශීය ඩිපෝ 14 තුළයි අද වන විට ඉතුරුවෙලා තියෙන තෙල් සංචිත කියන්න පුළුවන්. මම මෙටි්‍රක් ටොන් වලින් විස්තර කරන්නම්. ඩීසල් තියනවා

මෙ. ටොන් 9894ක්. සුපර් ඩීසල් 246ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් 2829ක්. ඔක්ටේන් 95 3015ක්. ජෙට් ඒ1 ෆුවෙල් කම්පැනියෙ තියනවා මෙටි්‍රක් ටොන් 520 ක්. ෆර්නස්ට් ඔයිල් ටොන් 30 000 දීලා තියෙනවා සී ඊ බී එකට. ඊට අමතරව අයි ඕ සී එකෙන් ඩීසල් ටොන් 7500ක් අත්පිට මුදලට අපි ගන්නවා. අයි ඕ සී එකට ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. සැපයීම තව වැඩි කරන්න කියලා අපි ඉල්ලීමක් කළා. ”

“අත්‍යාවශ්‍ය සේවා සඳහා ඩීසල් කොච්චර දවසකට ඕනද…”

“අඩුම තරමින් මෙටි්‍රක් ටොන් 1500 ක් දවසකට බෙදන්න ඕන අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවය ආහාරපාන ප්‍රවාහනය, පොදු ප්‍රවාහනය, ආරක්ෂක හමුදා කටයුතු වලට. මේවා අත්‍යවශ්‍ය සේවා වලට විතරයි…”තෙල් සංස්ථාවේ සභාපති කීවේය.

“අත්‍යාවශ්‍ය ආහාරපාන ප්‍රවාහනයට මේ සැපයුම කොහොමටත් මදි.. එළවළු තොග ඒ ඒ තැන්වල කුණු වෙනවා.” නලින් ප්‍රනාන්දු පෙන්වා දුන්නේය.

“ඇයි අපිට බැරි දුම්රිය යොදාගෙන මේ ප්‍රවාහන කටයුතු කරන්න. ඉස්සර එහෙම කළා. ” බන්දුල ගුණවර්ධන කියද්දි නලින් ප්‍රනාන්දු ඊට එරෙහිව කතා කරමින් කීවේ දුම්රියෙන් එළවළු ආහාරපාන ප්‍රවාහනය කිරීම විශාල නාස්තියකට මගක් බවය.

“අම්පාර පැත්තේ දැන් ගොයම් කැපෙනවා. කෘෂිකාර්මික වැඩවලටත් ඉන්ධන ටිකක් වෙන් කරන්න වෙනවා” ජනාධිපති කීවේය.

අපේ පැත්තෙන් ඇඟලුම් යවනවා. තේ පොල් රබර් යවනව. සුළු අපනයන බෝග යවනවා. ඊළඟට විදේශීය ප්‍රේෂණ එනවා. ඒ අතරේ අපි හොයා බලපු විදිහට අපනයනකරුවෝ යවන භාණ්ඩවල වටිනාකම සම්පූර්ණයෙන් ආපස්සට එන්නෙ නෑ. මහබැංකුවට ඒ ගැන හොයන්න යාන්ත්‍රණයක් නෑ. ලංකා බැංකුව මහජන බැංකුව හරහා අපේ අපනයන භාණ්ඩ වලට නිසි වටිනාකමක් ආපහු ලැබෙනවද කියලා හොයන්න ඕන…” රමේෂ් පතිරණ ඒ ගැන කීවේ ඔහු ද යම් තරමකට ඒ ගැන සොයා බලා දත්ත දැන සිටි නිසාය.

● සුමනදාසගේ උපන්දිනේ මනූෂ හෙළි කළ රහස…

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ හැත්තෑවෙනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදාටය. හැත්තෑවැනි උපන්දිනය පමණක් නොව හතලිස් වැනි විවාහ සංවත්සරයද එදිනට යෙදී තිබීම විශේෂත්වයක් විය.

සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් චාම් උපන්දින සාදයක් සංවිධානය කළ යුතු බවට අදහස් ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ ව්‍යාපාරික හිතවතුන්ය. එයට සුමනදාස මහතාගේ වැඩි කැමැත්තක් නොතිබූ නමුත් හිතවතුන්ගේ පෙරැත්තය නිසාම උදෑසන කිරිබත් මේසයක් සංවිධානය කිරීමට ඔහු කැමැති විය. ඒ අනුව ග්‍රෑන්ඩ් මොනෑච් හෝටලයේදී උපන්දින උත්සවය සංවිධානය කෙරිණි. ඔහුගේ සමීපතම හිතවතුන්ට උත්සවයට ආරාධනා කර තිබුණි.

සුමනදාස අබේගුණවර්ධන මහතා සමග සමීපව සිටින, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලනඥයින් කිහිපදෙනෙක්ම එහි පැමිණ සිටියහ. ඇමැති මනුෂ නානායක්කාර, හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු ඇමැති පියසේන ගමගේ ඒ අතර විය. අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල කාරියවසම් ද උපන්දින උත්සවයට සහභාගීවීමට සූදානමින් සිටි නමුත් හදිසියේම අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවකට ඔහු කැඳවා තිබූ නිසා උපන්දින උත්සවයට සහභාගීවීමට නොහැකිවී තිබුණි. එහෙත් දුරකථනයෙන් කතා කර සුබ පැතීමට ඔහු අමතක කර තිබුණේ නැත.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් උපන්දින උත්සවයට පැමිණියත් රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් හෝ ඔවුන්ගේ කිසිදු හිතවතෙක්ට එයට ආරාධනා නොකිරීමට සුමනදාස මහතා වගබලාගෙන තිබුණි. උපන්දින උත්සවයට පැමිණි ඇතැම් අය ඒ ගැන විපරම් කර තිබුණි.

“ඔය සමහර අය ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිත් කියපු කතා ඇත්ත නෙමෙයි. ඒ අයම දන්නවා ඇත්තටම මොකක්ද වුණේ කියලා. ඉතිං ඒ වගේ අයත් එක්ක මගේ ගනුදෙනුවක් නැහැනේ” සුමනදාස මහතා කීවේ තවත් බොහෝ දේ සිත යට තබාගනිමිනි.

“සුමනදාස මහත්තයා සත පහක්වත් හොරකම් කරපු කෙනෙක් නෙමෙයිනේ. එහෙම හොරකම් කළා නම් අද මෙහෙම ඉන්න හම්බවෙන්නේ නෑනේ” මනුෂ නානායක්කාර ඇමැතිවරයා කීවේය.

“ඒක නම් ඇත්ත. අපි විපක්ෂයේ හිටියත් සුමනදාස මහත්තයට එක චෝදනාවක්වත් කරන්න බැරිවුණේ ඒ නිසා තමයි” තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මනුෂගේ කතාව තහවුරු කළේය.

ඒ අතර එතැනට පැමිණි සනත් ගුණතිලක රටේ තත්ත්වය ගැනත් කතා කරන්න වූයේ මනුෂ ඇමැතිවරයාට යෝජනාවන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි.

“දැන් ලංකාවේ ලස්සන තැන් ලෝකයට අරගෙන යන්න පුළුවන් වැඩසටහනක් තියෙනවා. ජාත්‍යන්තර චිත්‍රපටිවලට ලංකාවේ පසුබිම් අරගන්න පුළුවන්. මමත් මැදිහත්වෙලා ආරුගම්බේ පසුබිම් කරගෙන චිත්‍රපටයක් මෙහේ රූ ගත කළා. ඒ වගේ චිත්‍රපටිවලට ලංකාවට ගේන්න පුළුවන් නම් රටට ඩොලර් එනවා. ඒ වගේම ඔය දර්ශන දකින සංචාරකයින් ලංකාවට එනවා. එයිනුත් රටට අවශ්‍ය ඩොලර් උපයාගන්න පුළුවන්” සනත් ගුණතිලක කීවේය.

“අයියාට ජාත්‍යන්තරවත් චිත්‍රපටි ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවානේ. සම්බන්ධතා තියෙනවානේ. අයියා මැදිහත්වෙලා ඒ අය ලංකාවට ගෙන්වීමට කටයුතු කරන්න. අපි ලබාදිය යුතු උපරිම සහාය ලබාදෙන්නම්” මනුෂ සහතිකයක් දුන්නේය.

උපන්දින සාදය අතරවාරයේදී සංගීත සාදයක් ද සංවිධානය කර තිබුණි. ලතා වල්පොල සහ සුමිත් වල්පොල ගී ගයමින් සාදය රසවත් කළේය. ඒ අතර කාගේත් අවධානය ලබාගත්තේ කුඩා දරුවෙකි. ඒ සුමනදාස මහතාගේ මුනුබුරු ලක්දිනු දන්නන්ගොඩ පුතුන් ය. ඔහු තමන්ගේ සීයා සහ ආච්චි වෙනුවෙන් වයලීන් වාදනයක් ඉදිරිපත් කරන විට තබ්ලාව වාදනය කළේ සුනෙත් වල්පොල ය.

උපන්දින සාදය අවසන් වන තුරුම මැති ඇමැතිවරු බොහෝ වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි අතර අවසානයට එතැනින් පිටත්ව ගියේ හිටපු ඇමැති පියසේන ගමගේය.

● අරගලය පස්සේ ප්‍රචාරක යුද්දෙ…

වර්තමාන රජයට සහ රාජපක්ෂවරුන්ට එරෙහිව ඉතා ප්‍රබල ප්‍රචාරක යුද්ධයක් ගෙන ගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පසුගිය සතියේ අලුත් උපක්‍රමයක් අත්හදා බලන්නට වූහ. ඒ වූ කලී රාජපක්ෂවරුන් පිළිබඳ විවිධ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හරිමිනි.

කංචන විජේසේකර පසුගිය සතියේ ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට කටාර් රාජ්‍යය බලා ගිය අවස්ථාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ආරංචිය ඉතා වැදගත්ය.

එම ආරංචිය මගින් ප්‍රචාරය වී තිබුණේ කංචන විජේසේකරලා ලංකාවට තෙල් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන කටාර් ඔයිල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ද නාමල් රාජපක්ෂ සාමාජිකයෙකු බවයි.

ඉන් නොනැවතුණු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ තවත් අවාසනාවන්ත පුවතක් බදාදා රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය තුළින් පතුරුවා හරින්නට සැලසුම් කළහ.

එමඟින් කියැවුණේ රාජපක්ෂ පවුලේ අරටුව වන දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ බරපතළ ලෙස ගිලන්ව මරණාසන්න ව කොළඹ රෝහලක දැඩි සත්කාර ඒකකයක ජිවිතයත් මරණයත් අතර තත්ත්වයක පසුවන බවයි.

මෙම ආරංචිය ඔස්සේ ක්‍රියාත්මක වූ අරගලකරුවන් මේ ආරංචියත් තව තවත් සමාජ මාධ්‍ය තුළින් ව්‍යාප්ත කරන්නට වූයේ තම තමන්ගේ සිතුම් පැතුම් ද එම ආරංචිය සමග මිශ්‍රිත කරමිනි. ප්‍රභාකරන් මිය ගිය පුවතටත් වඩා දෙතුන් ගුණයකින් සතුටු විය හැකි පුවතක් ඉදිරියේදී අපේක්ෂා කරන බව ඇතැම්හු තම තමන්ගේ ෆේස්බුක් ගිණුම් ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

මෙම ආරංචිය ලත් සැණින් මහින්ද හිතවාදීන් මහින්ද රාජපක්ෂගේ දුරකථනයටත් ශිරන්ති රාජපක්ෂගේ දුරකථනයටත් අමතන්නට වෙහෙසුනහ. 30 වන බ්‍රහස්පතින්දා උදේ 9 .30 සිට රාත්‍රී 10.00 පමණ වන තෙක්ම දෙදෙනාගේම දුරකථනවලට ඇමතුමක් ලබා ගැනීම පහසු නොවූයේ ඒ නිසාය.

ලබාගත් ඇමතුම්වලට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ම උත්තර දුන්නේ “කලබල වෙන්න එපා… මම හොඳින් ඉන්නවා. මම සුවෙන්” යැයි පිළිවදන් දෙමිනි.

මේ අතරතුර රටේ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් දුරකථනයෙන් මහින්ද රාජපක්ෂට කතා කළේය.

“අපේ හිටපු අගමැතිතුමා මේ වෙලාවේ මොනවද කරන්නේ…”

“අපේ හාමුදුරුවොත් මට කතා කරන්නේ ෆේස්බුක් ආරංචිය නිසා වෙන්න ඇති. බයවෙන්න එපා හාමුදුරුවනේ මම හොඳින්…”

“අපි බෞද්ධයෝ හැටියට කවුරුවත් ලෙඩ දුක්වලට, මරණයට බය නැති විත්තිය මම දන්නවා මහත්තයෝ. ඔබත් හොඳ බෞද්ධයෙක්. ලෙඩ දුක් වගේම මරණයත් ස්වභාවික බව ඔබතුමා හොඳින් අවබෝධ කරගෙන ඉන්න බව මම දන්නවා…. ලෙඩ වුණත් මැරුණත් ඒක තමයි ලෝක ස්වභාවය.

“ඔව් අපේ හාමුදුරුවනේ… වෙලාව ආවම අපි ඕනෙම කෙනෙකුට ඒ දේ ළඟා වෙන්න පුළුවන්… පහුගිය දවස්වල නම් මට විවේකයක් තිබුණෙම නෑ. තානාපතිවරු කීපදෙනෙක්ම හම්බවෙන්න ආවා. රුසියාව, චීනය, ඉතාලිය වගේ රටවල් අය. ඉතින් මම කිව්වා මේ වෙලාවේ අපේ රටට උදව් කරන්න කියලා.

ඒ ඇරුණම මන්ත්‍රීවරුත් නිතර ඇවිල්ල දුක සැප බලලා කතාබහ කරලා යනවා. ඔය ආරංචිය ලැබිලා ද කොහෙද ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරුන් කට්ටියකුත් හවස එනවයි කිව්වා මාව බලන්න….” හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කීවේය.

ඒ අතර තවත් දෙයක් සිදුවිය. සනත් ජයසූරියගේ උපන් දිනය යෙදී තිබුණේ එදා ය. හිටපු අගමැති මහින්ද සාමාන්‍යයෙන් උපන් දිනවලට කතා කරන්නේ උදේ පාන්දර වුවත් එදින ඔහුට එම ඇමතුම ලබාගන්නට නොහැකි වූයේ සනත්ගේ දුරකථනය ද දිගටම කාර්ය බහුලව තිබූ නිසාය.

යළි ඇමතුම ලබා ගත්තේ එදින හවස ය…. සුබ පැතීමෙන් අනතුරුව දෙදෙනා අතර විනාඩි කිහිපයක සුහද කතාබහක් ද විය.

දුරකථනය විසන්ධි වූ පසුව එතැන සිටි අයෙක් ජයසූරිය ගැන කතා කළේ… ඔහුද අරගලයේ සිටි එක් අයෙක් බව මතක් කරමිනි.

“ඔව්… ඔව්… ඒක එයාගේ අයිතිය. එතනට යන සමහර කට්ටිය මෙහාටත් එනවා. ඒකටත් ඔය ඕනම කෙනෙකුට යන්න පුළුවන්නේ. මේක නිදහස් රටක්. 2009 දී අපි ඒ නිදහස මුළු රටටම ලබාදුන්න…” මහින්ද කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment