ලලයි ලිලයි ලයි කියන්නේ ටීම් වර්ක් එකක්

සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරනු ලබන ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයේ මිලා ලෙසින් ඔබ හමුවට එන මිෂෙල් දිල්හාරා පසුගිය දිනක පදවි ජයන්ති මහ විදුහලේ පරිසර නියමු වැඩසටහනට සහභාගි වුණා. එහිදී ඇයට ලැබුණු උණුසුම් ප්‍රතිචාර අප සමාජ මාධ්‍ය හරහා දුටුවා. ඉතිං මිෂෙල් සමග අපි ඒ සම්බන්ධව කතාබහක නිරත වුණා.

මිෂෙල් ලලයි ලිලයි ලයි හි මිලාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල ඒ නාට්‍යයට සහ සියලුම චරිත වලට ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මග තොටේදී අපිට හමුවෙන අයත් ගොඩක් වෙලාවට අපිට කතා කරන්නේ නාට්‍යයේ නම් වලින්මයි.

පදවි ජයන්ති විදුහලේ පරිසර නියමු වැඩසටහනට ගිය - මිෂෙල්

ඔබට මිලාව මුණගැසුණේ කොහොමද?

මුලින්ම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ලලයි ලිලයි ලයි නාට්‍යයේ අධ්‍යක්ෂතුමා වන සුපුන් රත්නායක මහතාට මට මීලාගේ චරිතය පණ පොවන්න අවස්ථාව ලබා දුන්නට. මේ නාට්‍යය තිර රචනය කරන්නේ රසික සුරවීරආරච්චි. මිලා කියන චරිතය මේ නාට්‍යයට එකතු වෙන්නේ 19 වැනි කොටසේදී. ඉතින් ගොඩක් සතුටුයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. මොකද මේ නාට්‍යය ඇතුළේ ලොකු පිරිසක් එක්ක රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම සේමිණී ඉද්ද්මල්ගොඩ අක්කා, ධර්මප්‍රිය ඩයස් අයියා, නිරෝෂන් විජේසිංහ අයියා, ෆර්නි අක්කා, රන්දික ගුණතිලක අයියා, සංජය මුරමුදලි, වොල්ගා අක්කා මේ සියලුම දෙනා එක්ක වැඩ කරන්නේ ගොඩක් සතුටින්.

මිලා මේ තරම් ජනප්‍රිය චරිතයක් වෙයි කියලා මුලදී හිතුවද?

ඇත්තටම මිලා රාජරත්නම් කියන චරිතය ගොඩනැගුවේ මේ නාට්‍යයේ තිරපිටපත් රචක රසික සුරවීරආරච්චි මහත්මයා. ඒ වගේම ඒ චරිතයේ ස්වභාවය සහ Emotions හැම දෙයක්ම එළියට ගන්න ගොඩක් වෙහෙස මහන්සි වුණේ මේ නාට්‍යයේ අධ්‍යක්ෂක සුපුන් රත්නායක මහත්මයා. මම කළේ අධ්‍යක්ෂකතුමාට අවශ්‍ය විදිහට ඒ චරිතය හදාගෙන මගේ පැත්තෙන් ඒක play කරපු එක. මම හිතන්නේ මේ නාට්‍යයේ තියන හැම චරිතයක්ම සාර්ථකව එළියට ගේන්න පුළුවන් වුණ ප්‍රධානම හේතුව තමයි මේ හැම කෙනෙක්ගේම team work එක නිසා. එහෙම නැති වුණොත් මේ කිසිම චරිතයක් මම හිතන්නේ නෑ ප්‍රේක්ෂකයන් මේ තරම් ආදරයෙන් වැලඳගනී කියලා.

පදවි ජයන්ති විදුහලේ පරිසර නියමු වැඩසටහනට ගිය - මිෂෙල්

මේ ළඟකදී පදවි ජයන්ති ඉස්කෝලෙට ගියා නේද ?

ඔව්. අනුරාධපුරේ ඉඳලා දළ වශයෙන් 100km විතර එහායින් තියෙනවා පදවි ජයන්ති මහා විද්‍යාලය කියලා ලස්සන පාසලක්. ඒ පාසලේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා පරිසර නියමු කණ්ඩායම විසින් ලස්සන වැඩසටහනක් කරගෙන යනවා. ඉතිං ඒ කණ්ඩායමට අලුතින් ළමයි බඳවාගැනීම සහ දැනටමත් පරිසරය පිළිබඳ ව්‍යාපෘති කරන දරුවන් වෙනුවෙන් පලඳනා පැලඳවීමේ උත්සවයක් පැවැත්වුණා. ඉතිං පරිසර දිනය තේමා කොටගෙන ඒ දරුවන්ට පලඳනා පැලඳවීම සඳහා මටත් ආරාධනාවක් ලැබුණා පාසලේ විදුහල්පති වන W.K.G.S. කොස්ගොල්ල මහතාගෙන් සහ එහි කාර්යමණ්ඩලය ඇතුළු ආදි ශිෂ්‍ය අචල රොෂාන් මහතාගෙන්. ඉතිං මම එහිදී දැක්ක එක දෙයක් තමයි දුෂ්කර වුණත් එයාලාට තියෙන පහසුකම් යටතේ හැමදෙයක්ම ඉතාමත් ලස්සනට ආකර්ෂණීය විදියට ලෑස්ති කරලා තිබීම. ඉතිං පොඩි කාලේ ඉඳලාම දරුවන් පරිසරය සම්බන්ධ මෙවැනි වැඩසටහන්වලට යොමු කිරීම මම දකින්නේ ඉතාමත් හොඳ දෙයක් කියලා. විශේෂයෙන් එම පාසලේ විදුහල්පතිතුමා වන W.K.G.S. කොස්ගොල්ල ගුරු මහතාත් ගුරු කාර්යමණ්ඩලයත් මට බොහොම ආදරයෙන් සැලකුවා.

උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා?

ඇත්තටම මට ගොඩක් සතුටුයි, පදවි ජයන්ති මහා විද්‍යාලයට ගියාට පස්සේ මට එතැනදී යාළුවෝ ගොඩක් මුණගැහුණා. ඒ වගේම එයාලත් එක්ක කතාබහ කරලා ඔවුන් එක්ක සතුට බෙදාගන්න මට අවස්ථාව හම්බ වුණා. ඉතින් ඒ ලැබිච්ච ආදරයට මම ගොඩක් ගරු කරනවා සහ ඔවුන්ට ගොඩක් ආදරෙයි. ඒ පාසලට යන්න ලැබිච්ච එක ගැන මං ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.

පදවි ජයන්ති මහ විදුහලේ පුංචි දරු දැරියෝ මොනවද කිව්වේ?

පාසලේ දරු දැරියන් එක්ක කතා කරන්න සහ සතුට බෙදාගන්න අවස්ථාවක් හම්බ වුණා. ඉතිං ඔවුන් එක්ක කතා කරද්දී ඒ දරු දැරියන් ගොඩක් වෙලාවට කතා කළේ එයාලා පාසල සහ පාසලේ පරිසරය ආරක්ෂා කරගන්න ආකාරය ගැන. ඒ දරුවන් ගොඩක් මහන්සි වෙනවා පාසල ලස්සනට තියාගන්න.

මෙහිදී පරිසර නියමු ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා නේද?

මේ වැඩසටහන අතරතුර පාසලේ පරිසර නියමු කණ්ඩායමට අලුතින් පරිසර නියමුවන් බඳවා ගැනීම සහ ඔවුන්ට පලඳනා පැලඳීම සිදුකළා. ඉතින් මටත් ආරාධනාවක් ලැබුණා ඔවුන්ට ඒ පලඳනා පැලඳවීමට. මට ඒ ගැන ගොඩක් සතුටුයි.

දැන් සමාජ සේවා කටයුතුවලින් ඈත් වෙලාද?

සමාජ සේවා කටයුතු වලින් ඈත්වෙලා නැහැ. රූගත කිරීම් එක්ක සහ පරිසර පැත්තෙ ඒ ව්‍යාපෘති එක්ක සමාජ සේවා වැඩකටයුතුත් කරගෙන යනවා.

මේ දවස්වල සිද්ධවෙන ෂූටින් වැඩ ගැන කතා කළොත්?

මේ දවස්වල ස්වර්ණවාහිනි නාලිකාවේ ලලයි ලිලයි ලයි නාට්‍යය සහ ITN නාලිකාවේ ආයාචනා ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒ නාට්‍ය දෙකේ රූගත කිරීම් මේ දවස්වල කරගෙන යනවා. ඒ ඇරුණහම මම අලුතින් පටන් ගන්න දමිළ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා.

රංගනයෙන් දායක වුණු සෝලෝ ටවුන් චිත්‍රපටයත් ළඟදී තිරගත වෙනවා නේද?

ඔව්. Solotown චිත්‍රපටය බොහෝ දුරට අගෝස්තු මාසයේදී සිනමාශාලාවලදී තිරගත වෙන්න නියමිතයි. ඒකේ වැඩකටයුතු සහ ඒවා සූදානම් කරන දේවල් මේ දවස්වල කරගෙන යනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment