පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අද අහිමි වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

17

පලස්තීන ජනතාව රාජ්‍ය ත්‍රස්තවාදයට ලක් වෙමින් ඔවුන්ගේ ජීවත් වීමේ සහ මානව අයිතිය අහිමි වූ යුගයක් පසු කරමින් සිටින බවත්, මෙම පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදෙසා අනිවාර්යෙන්ම කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සෑම වසරකම මැයි 15 දා අල් නක්බා දිනය සමරනු ලැබේ. එය පලස්තීන නිජබිම විනාශ කිරීමේ ආරම්භය සහ 1948 දී පලස්තීන ජනගහනයෙන් බහුතරයක් මහා පරිමාණයෙන් අවතැන් වීමේ ආරම්භය සනිටුහන් කරයි. ඒ අනුව යෙදී තිබූ 75 වැනි අල් නක්බා සැමරුම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ නොයෙකුත් ආකාරයේ ජාත්‍යන්තර වැඩපිළිවෙළවල් රැසක් මේ ගැටලුව වෙනුවෙන් දියත් වුවත් එය හුදෙක් කතාවට පමණක් සීමා වී ක්‍රියාව පැත්තෙන් දුර්වල වූ මොහොතක රටක් ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම දශක හතරකට වැඩි කාලයක් පලස්තීන ජනතාව තම භූමිය අහිමි වීම වැනි අභියෝග රැසකට මුහුණ දුන්නත් ඔවුන්ට භූමියකට, රටකට හිමි ස්වයං නිර්ණ අයිතිය අහිමි කළ නොහැකි බවත් ආරක්ෂිත දේශ සීමාවක් තුළ නිදහසේ ජීවත් වීමට ද ඔවුන්ට අයිතියක් ඇති බවත් ඒ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අද අහිමි වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තවද මැදපෙරදිග කලාපයේ කල්පවත්නා සාමය ඇති කර ගත හැක්කේ සියලු දෙනා එකට එකතු වී සාකච්ඡා කර සම්මුතියෙන් බවට තමා විශ්වාස කරන බවත් එහිදී ගෝලීය වශයෙන් පලස්තීන ජනතාව වෙන් කොට නොසැලකීම, කොන් නොකිරීම, පීඩා නොකිරීම මෙන්ම ඔවුන් සතු අයිතින් දිනා ගැනීමට සැවොම කැපවිය යුතු බවත් බෝම්බ හෙලා පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම වැළැක්විය යුතු බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඒවා වැරැදි හෙයින් ස්වාධීන රාජ්‍යයක් තුළ ඔවුන්ට හිමි නිදහස ලබාදීමට ගෝලීය වශයෙන් සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාව රටක් ලෙස පලස්තීන ජනතාවගේ අයිතිය සුරක්ෂා කරන්නට නැගී සිටිය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ සභාවල මෙම ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬ නැගිය යුතු බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද කිසිදු භේදයකින් තොරව ඒකමතිකව යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර එක්සත් ජාතීන්ගේ මහ සභාව තුළ රැව් පිළිරැව් දෙන මහා හඬක් බවට පත්කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.


advertistmentadvertistment