පස්දෙනා මැරුවේ කොස්ගොඩ සුජීගේ නියෝගයකට!

697

මියගිය අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් මිනීමැරුම් නඩුවක – ප්‍රධාන සැකකරුවෙක්
බෙලිඅත්තේදී වෙඩි පිට වෙඩි
නඩුවක විභාගයකට යමින් ඉඳලා
ජීප් රථයකින් ආ දෙන්නෙක් හතරඅතට වෙඩි තැබුවා – සිද්ධිය සියැසින් දුටුවෙක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඊයේ (22 දා) උදෑසන 8.50ට පමණ සන්නද්ධ කණ්ඩායමක් විසින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීම, දකුණු පළාත සිය රාජධානිය කරගෙන සිටින කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ නියෝග මත සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

තංගල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින මිනීමැරුම් නඩුවට විත්තිකරුවන් වන මෙම පිරිස එම නඩු විභාගය සඳහා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක 47 හැවිරිදි සමන් ප්‍රසන්න පෙරේරා, 40 හැවිරිදි ඉඳුරුව පදිංචි විදානලාගේ හසිත, 34 හැවිරිදි බෙන්තොට පදිංචි සමීර මධුසංඛ, 36 හැවිරිදි කුරුණෑගල පදිංචි බුද්ධික රාජපක්ෂ, 44 හැවිරිදි දෙමටගොඩ පදිංචි නලින් චම්පික නමැති අය බව හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයන් 05 දෙනා අතරින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඉකුත් 2022 වර්ෂයේ ජුනි 05 වැනිදා තංගල්ල ප්‍රදේශයේදී අසේල සම්පත් නමැති පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වේ. ඊට අමතරව මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්වූ සමීර මධුසංඛ සහ නලින් චම්පික යන අය ද මෙම ඝාතනයේ සැකකරුවන්ය.

අසේල නමැත්තා කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයකු වන අතර මොහු ඉකුත් 2022 වර්ෂයේදී ඝාතනයට ලක් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ සුජී, සමන් පෙරේරා සමග දැඩි වෛරයකින් පසු වූ අතර අවස්ථා කීපයකදීම ඔහු ඝාතනයට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

තමන්ට කොස්ගොඩ සුජීගෙන් ජීවිත තර්ජන එල්ල වී තිබීම නිසා සමන් පෙරේරා ඉඳුරුවේ පිහිටි තම සංචාරක හෝටලය සහ පදිංචි නිවස අතහැර කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඉතාම රහසිගත ජීවිතය ගතකිරීමට පුරුදුව සිටියේය.

තංගල්ල අධිකරණයේ විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා සමන් පෙරේරා ඇතුළු පිරිස ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් ඇතුළු වී බෙලිඅත්ත පිවිසුමෙන් ඉවතට පැමිණ ඇත.

ඒ වනවිට සුදු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් ඝාතකයන් ඔවුන් පසුපස ලුහුබැඳ ඇති අතර බෙලිඅත්ත පිටවීමේ දොරටුවෙන් ඔවුන් ද පිටතට පැමිණ ඇත.

සන්නද්ධ කණ්ඩායමක් තමන් ලුහුබඳින බව නොදත් සමන් පෙරේරා ඇතුළු පිරිස බෙලිඅත්ත පිවිසුමේ දොරටුවෙන් ඉවතට පැමිණ ඒ ආසන්නයේ පිහිටි වෙළඳසලක් ඉදිරිපිට ජීප් රථය නතර කර අවශ්‍ය භාණ්ඩ කීපයක් මිලදී ගැනීමට එහි ගොස් ඇත.

ඒ අවස්ථාවේ එහි කඩා වැදුණු සිවුදෙනකුගෙන් සමන්විත පාතාල කණ්ඩායමක් ටී 56 ගිනි අවි දෙකකින් සමන් පෙරේරා ඇතුළු සිව්දෙනාට පන්න පන්නා වෙඩි තබා තිබේ. ප්‍රහාරවලින් බේරීමට මොවුන් වෙළඳසල තුළට සහ එහි පිටුපසට දිවගොස් ඇතත් ඝාතකයන්ගෙන් ඔවුන්ට ගැලවීමක් ලැබී නැත.

මෙම ප්‍රහාරය එල්ල වෙද්දී සමන් පෙරේරා සමග ජීප් රථය පදවාගෙන ආ පුද්ගලයා රථය පණ ගන්වාගෙන ජීවිතය බේරාගැනීමට පලායන්නට උත්සාහ කළ ද, එය අසල තිබූ විදුලි පහන් කණුවක ගැටී අනතුරට ලක්වී ඇත.

ඒ අවස්ථාවේ ඝාතකයන් ජීප් රථයේ රියැදුරුට ද වෙඩිතබා ඔහු ද ඝාතනය කර පලාගොස් තිබේ.

ඝාතකයන් වලස්මුල්ල ප්‍රදේශයට පලාගොස් ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.

ප්‍රහාරයෙන් සිවුදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේම මියගිය අතර එක් අයකු මරුමුවට පත්ව ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් විශේෂ කාර්යබළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා ඇත.

මෙම පංච පුද්ගල ඝාතනයට පැමිණි පුද්ගලයන් පිළිබඳව ඊයේ සවස් වනතුරු කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබිණි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය. මියගිය පිරිස අතර සිටින අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා, ඉඳුරුවේ පිහිටි රෝයල් බීච් හෝටලයේ හිමිකරු වන රෝයල් බීච් සමන් ලෙස ප්‍රසිද්ධ මොහු පසුගිය මැතිවරණයට ඉදිරිපත්වී ඡන්ද 67,758 ක් ලබාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද ලබා ගත්තේය.

කලක් සංචාරක මගපෙන්වන්නකු ලෙස රැකියාව කළ සමන් පෙරේරා කොස්ගොඩ සුජී සමග දැඩි වෛරයකින් පසු වූයේය. සමන් පෙරේරාට ද දකුණු පළාතේ සිදු වූ මිනිස් ඝාතන කීපයක් සම්බන්දයෙන් චෝදනා එල්ල වී තිබෙයි.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, මත්තල – දිලිප් එන්. ජයසේකර, බෙලිඅත්ත – රාමනායක, තංගල්ල – එස්. එඩ්වින්

advertistmentadvertistment
advertistmentadvertistment