පහන් දැල්වීම සිදු කරන්නේ කෙසේද?

12

අප කුඩා කල සිටම පහන් දැල්වීම විවිධ අවස්ථාවන්හිදී සිදුකරයි. ප්‍රාථමිකවම රාත්‍රි කාලයේ තමන්ගේ නිවස ආලෝකවත් වීම උදෙසා පහන් දල්වනු ලබයි. පහනක් කී විගස අපට මතකයට නැඟෙන්නේ විහාරස්ථානයට හෝ කෝවිලට ගොස් බුදුන් උදෙසා හෝ දෙවියන් උදෙසා දල්වන මැටි පහනය. ඊට අමතරව පිත්තල පහන්, විවිධ ලෝහවලින් සෑදූ පහන්, ශෛලමය පහන්, දොළොස්මහේ පහන, පහන් වැටවල්වල පහන්, දෙහි ලෙල්ල කනපිට හරවා දල්වන පහන්, ගස්ලබු ගෙඩිය දෙකට කපා තෙල් දමා දල්වන පහන් ප්‍රධාන තැනක් ගනී.

නිවසේ දල්වන බල්බය ද පහනකි. එයින් ද අපට ලැබෙන්නේ ආලෝකයයි. කුමන වර්ගයේ පහනක් දැල්වුවද එහි අරමුණ එම ස්ථානය ආලෝකවත් කිරීමයි. නමුත් එම පහන දල්වන ස්ථානය අනුව එහි අර්ථය වෙනස් වේ. විහාරස්ථානයකට ගොස් පහන් දල්වන්නේ පිං ලබා ගැනීම, ලෙඩ දුක් සුවකර ගැනීම, දුක් කරදර අපල උපද්‍රව දුරුකර ගැනීම ආදී දේ සඳහාය. එමෙන්ම කෝවිලට ගොස් පහන් දල්වනුයේ දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පතාය. එමෙන්ම අඳුර සහිත අවස්ථාවක නිවසේ හෝ යම් ස්ථානයක පහන් දල්වනුයේ ආලෝකය ලබා ගැනීම සඳහාය. එමෙන්ම මෘත දේහයක් අසල හා මෘත දේහය සොහොනට ගෙන ගිය පසු එම ස්ථානයේ පහන් දල්වනුයේ මෘත දේහයෙන් පිටවන විෂබීජ නැසීමටය. මීට අමතරව අධිෂ්ඨාන පූජා තැබීමට, මියගිය තැනැත්තන් සිහිකිරීමට සොහොන් කොත්වල, ගෙවල් ආරක්‍ෂා කිරීමට නිවසේ 8 කොනේ ද පොල් තෙල් පහන් දැල්වීම දැකගත හැක. තවද අෂ්ටකර්ම කිරීමේදී මෙන්ම ශාන්තිකර්ම කිරීමේදී ද පහන් දල්වනු ලබයි. දැරිවියක් වැඩවිය පත් වූ පසු ඇයව රඳවා තබන කාමරය තුළ පහනක් දැල්වීම සිදු කරයි. එපමණක් ද නොව ඕනෑම උත්සව අවස්ථාවක ආරම්භය සිදුවනුයේ පොල් තෙල් පහන දැල්වීමෙන්ය. එමෙන්ම වෙසක්, පොසොන්, නත්තල්, තෛපොංගල් වැනි ආගමික උත්සවවලදී ද පහන් දැල්වීම ප්‍රමුඛස්ථානයක් ගනී.

අපගේ ජීවිතත් බොහෝ අවස්ථාවන්හිදී උපයෝගි කර ගන්නා පහන් දැල්වීම අතරින් බුදුන් උදෙසා මෙන්ම දෙවියන් උදෙසා පහන් දැල්වීම සුලබව සිදුකරන්නකි. ලක්‍ෂ්මී දේවිය උදෙසා පහන් දල්වා යසඉසුරු ප්‍රාර්ථනා කරනවා සේම ගණ දෙවියන් උදෙසා පහන් දල්වා ඥානය හා බුද්ධිය ප්‍රාර්ථනා කරයි. එමෙන්ම සරස්වතී දේවිය උදෙසා පහන් දල්වා සංගීතයට මෙන්ම අනෙකුත් කලාවන්ට ද හැකියා, දක්‍ෂතා වැඩිවේවායි ප්‍රාර්ථනා කරයි. කතරගම හා විෂ්ණු දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන්, කඩවර දෙවියන් වැනි දෙවිවරු උදෙසා පහන් දල්වා ජීවිතයට ආරක්‍ෂාව, අනවින කොඩිවින ආදී දෝෂ නිවරණය, භූත – ප්‍රේත දෝෂවලින් ආරක්‍ෂාව, වැරදි කරන අසත්පුරුෂයන්ට දඬුවම් ලබාදීම ආදිය ප්‍රාර්ථනා කරයි.

ඉහත දෙවියන් උදෙසා පහන් දැල්වීම, පූජා කිරීම ක්‍රම දෙකකට සිදු කරයි. එනම් අදාළ දෙවියන් වැඩ සිටින දේවාලයට හෝ කෝවිලට ගොස් දවසේ ඕනෑම වේලාවක පහන් දල්වා තමන්ගේ අවශ්‍යතාවය පවසා දෙවියන්ට කන්නලව් කිරීම සිදුකරයි. අනෙක් ක්‍රමය වන්නේ තම නිවසේ දිනපතා දෙවියන් උදෙසා පහන් දැල්වීමයි. මෙසේ කිරීමට තමා පිහිට පතන දෙවියන්ගේ බැල්ම වැටෙන වේලාව සොයා එම වේලාවේ පහන් දැල්විය යුතුයි. එසේ අදාළ වේලාවට පහන් දැල්වීම තුළින් පමණක් එම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙනු ඇත.

එක් එක් දෙවියන් උදෙසා පහන් තැබිය යුතු නිවැරැදි වේලාවන් මෙසේය.

සවස 5.00 – 5.24 – ධර්ම දේවතා දිෂ්ටිය

ගොම්මන 5.24 – 5.48 – මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය

බුදු පහන තබයි

රාත්‍රී මූල යක්‍ෂ දිෂ්ටි සඳහා පහන් තබයි

6.00 – 6.24 – මහ සොහොන් දිෂ්ටිය

6.24 – 6.48 – රීරි යක්‍ෂ දිෂ්ටිය

6.48 – 7.12 – සුනයිම් ඔඩ්ඩි යක්‍ෂ දිෂ්ටිය

7.12 – 7.36 – කඩවර දිෂ්ටිය

7.36 – 8.07 – කළුකුමාර දිෂ්ටිය

8.7 – 8.24 – භද්‍රකාලි දිෂ්ටිය

8.24 – 8.48 – මදන යක්‍ෂ දිෂ්ටිය

8.48 – 9.12 – ගොපලු යක්‍ෂ දිෂ්ටිය

9.12 – 9.36 – බහිරව දිෂ්ටිය

9.36 – 10.1 – කොහොඹ යක්‍ෂ දිෂ්ටිය

රාත්‍රී මැදියම දේවතාවුන් උදෙසා පහන් තබයි

10.1 – 10.23 – ගම්භාර සූනියම් දේව දිෂ්ටිය

10.23 – 10.47 – දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය

10.47 – 11.36 – කතරගම දේව දිෂ්ටිය

11.36 – 12.00 – සත්පත්තිනි දේව දිෂ්ටිය

12.00 – 12.12 – සරස්වතී දේව දිෂ්ටිය

12.12 – 12.24 – විෂ්ණු දේව දිෂ්ටිය

12.24 – 12.36 – ඊශ්වර දේව දිෂ්ටිය

12.36 – 1.00 – සතරවරම් දේව දිෂ්ටිය

1.00 – 1.24 – සුමන සමන් දේව දිෂ්ටිය

1.24 – 1.48 – විභීෂණ දේව දිෂ්ටිය

1.48 – 2.00 – ශක්‍ර දේව දිෂ්ටිය

2.00 – 2.24 – නව ග්‍රහයන්

2.24 – 3.00 – යම රජු

3.00 – 3.24 – මරු

3.24 – 3.48 – මුහුදු මණි මේඛලා

3.48 – 4.00 – අසුර

4.00 – 4.24 – පංච ශිඛ

4.24 – 5.00 – චිත්‍රිනී මරදුති

5.00 – 5.24 – ධර්ම දේවතාවා

5.24 – 5.48 – මහා බ්‍රහ්මයන්

5.48 – 6.00 – සන්නි දේවතාවා

මෙයට අමතරව,

4.30 – 6.00 ලක්‍ෂ්මී දේවිය

4.30 – 4.56 දෙවොල් දෙවියන්

6.12 – 6.24 – නාථ දෙවියන්

මෙම වේලාවන් භාවිතයේදී එදින ඉර උදාව අනුව සංශෝදනය විය යුතු බවද වටහා ගත යුතුයි. එය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙම එක් දෙවියකුට පහන් තැබිය යුතු නිවැරදි වේලාව සාදා ගන්නා ආකාරය පහත වේ.

දෙවියන් උදෙසා පහන් තබන ඉහත වේලාවන්, ඉර උදාව උදේ 6.00ට සිදුවූවා යැයි සලකා සාදා ඇත.

පහන් දැල්වීම උදෙසා බහුලව භාවිත කරන පොල් තෙල්වලට අමතරව විවිධ තෙල් වර්ග භාවිතා කරගනු ලබයි. ඒ අතර එළඟිතෙල්, පස්තෙල්, අබතෙල් ප්‍රධාන තැනක් ගනී. මෙම එක් එක් තෙල් වර්ගය එක් එක් දෙවියන්ට විශේෂ වේ. එනම් සූනියම් දෙවියන්, ගණ දෙවියන් හා විෂ්ණු දෙවියන්ට එළඟිතෙල් පහන් දැල්වීම විශේෂ වේ. ලක්‍ෂ්මී දෙවියන්ට පස් තෙල් පහන් ද, ශිව දෙවියන්, කතරගම දෙවියන් හා සමන් දෙවියන්ට අබතෙල් පහන් ද විශේෂ වේ.

බුදුන් උදෙසා එනම් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය උදෙසා, සර්වඥධාතුන් වහන්සේලා අරමුණු කරගෙන දල්වන පහන් මහා බලයක්, මහා ශාන්තියක් ලැබෙන දෙලොව හිත සුව පිණිසම හේතුවන උතුම් පිංකමක් වනු ඇත.

පහන් සර්වඥ ධාතුන් තැන්පත් වෙහෙරක් අරබයා පූජා කිරීමෙන් ලැබෙන ආනිශංස ත්‍රිපිටකයේ සඳහන් පරිදි මෙසේය.

  1. දීප්තිමත් ස්ථානවලට උත්පත්තිය ලබයි.
  2. යන සෑම තැනකම බබළන පුද්ගලයෙක් වේ.
  3. සියලු දෙනා මැඬපැවැත්වීමේ ශක්තිය ලැබේ.
  4. කිසිදිනක අපහාස සිදුනොවේ.
  5. දුර දක්නා නුවණ ඇතිවේ.
  6. දිවැස් ඇත්තෙක්වේ.
  7. මහා ප්‍රඥා වන්තයෙක්වේ.
  8. තමා යන සෑම තැනම ආලෝකවත්වේ.
  9. මහත් බලසම්පන්න පුද්ගලයෙක්වේ.
  10. ප්‍රභාව පතුරවන්නෙක්වේ.
  11. මැණික් මෙන් දිලිසෙන ඇස් ඇත්තෙක්වේ.
  12. උපදින සෑම විටම උසස් කුලයකම උත්පත්තිය ලබයි.
  13. යසස වැඩී ජීවිතය දීප්තිමත්වේ.
  14. විෂම ස්ථානවලට යන විට සමවේ.
  15. වටිනා මන්දිර පරිහරණයට ලැබේ.
  16. අඳුරු ස්ථානවලදී වුවද ආලෝකය ලැබේ.
  17. පෙර භවය දැකීමේ ශක්තිය ලැබේ.
  18. බොහෝ ධන ධාන්‍ය ඇත්තෙක්වේ.
  19. මහා ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයෙක්වේ.
  20. මව් කුසෙහි ද ඇස් මිලින නොවේ.

නිවැරැදි වේලාවට පහන් තබා දෙවියන්ගේ පිහිට, ආරක්‍ෂාව ලබා ගන්නවා සේම, බුදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා පහන් දල්වා අඳුරෙන් එළියට යන පුද්ගලයකු හෝ එළියෙන් එළියට යන පුද්ගලයකු වන්න. එමෙන්ම පහන් දල්වා මහා ප්‍රඥාවන්තයකු වන්න. “දීපදෝ හෝතු චක්කුදෝ” ලෙස බුදුපියාණන් දේශනා කර ඇත. ඒ පහන් පත්තු කරන්නාට දිවැස් ලැබේ යන්නයි.

ලැබෙන සෑම අවස්ථාවකම හැකිතාක් පහන් දල්වා පරිසරයේ අඳුර මකනවා සේම ඔබගේ ආත්මය තුළ ඇති අඳුර ද මකා ආලෝකවත් කර ගන්න.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. 0382239729


advertistmentadvertistment