පළාත් පාලන මැතිවරණය නිමාවී ඇත. දැන් ඇත්තේ පත්වූ සභිකයන් සමගින් පළාත් පාලන ආයතන ක්‍රියාවට නැඟීමය. එවන් මොහොතක පළාත් පාලන ආයතන ව්‍යුහය, ඊට ඇති කාර්යභාරය සහ අයත් විය යුතු විෂය ක්ෂේත්‍ර, කාන්තා නියෝජනය සහ එම නියෝජනයේ වගකීම් සහ වැඩිමනත් පළාත් පාලන දේපළ ප්‍රදේශයේ දිළිඳු බව නැතිකිරීම සහ කාන්තා සහ ළමුන්ගේ තත්ත්වය නඟාසිටුවීම සඳහා ඵලදායීව භාවිතය ඇතුළු සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව පසුගිය පළාත් පාලන පරිපාලන අවස්ථාවේ දකුණු පළාතේ සියලුම පළාත් පාලන ආයතනවලට “හඬට ඉඩක් -Right to Voice නැමති පළාත් පාලන ආයතන සඳහා ජනතා සහභාගිත්වය වැඩිකිරීමේ වැඩසටහන සහ සභාවට නොගොසින් සභාවේ කටයුතු කරගන්නා ඊ-සභා e-sabha නමැති සුහුරු -Smart මෘදුකාංග ක්‍රමවේදය හඳුන්වා දුන් පරිසරවේදී, Help-O සභාපති, ආචාර්ය චතුර වැලිවිටිය මහතා දක්වන අදහස් සමුච්ඡයකි.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වර්ග තුනකට බෙදේ. ඒ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ලෙසයි. මහ නගර සභා බිහිවෙන්නේ මීට වසර 150කට පමණ ප්‍රථමයෙනි. ඒ 1865 වසරේ දී මහ නගර සභා ආඥා පනතිනි. ආඥා පනත් හැදෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොව එංගලන්තයේ මහ රැජිනගේ ආඥාවකිනි. නමුත් අද දක්වා අපි අනුගමනය කරන්නේ එම ආඥා පනතේ පිළිවෙතයි. මහ නගර සභා (Municipal Councils) ලෙස පළමු මහ නගර සභාව ලෙස කොළඹ මහ නගර සභාව, පිහිටුවන ලද්දේ 1865 වසරේදීය. මහනුවර මහ නගර සභාවද 1865 වසරේදී පිහිටුවන ලද අතර ගාල්ල මහ නගර සභාව පිහිටුවනු ලබන්නේ 1867 වසරේදීය. නගර සභා (Urban Councils) පිහිටුවන ලද්දේ 1939 වසරේ නගර සභා ආඥා පනත මගින්ය. එසේම, ප්‍රාදේශීය සභා (Pradeshiya Sabhas) පිහිටුවන ලද්දේ 1987 වසරේ ප්‍රාදේශීය සභා පනත මගින්ය.
වගකීම්
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල වගකීම් (functions/responsibilities) පහත පරිදි වේ. මෙය මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා තුනටම අදාළව වේ, නමුත් වගකීම් කිහිපයක් ආයතනයේ ව්‍යුහය අනුව වෙනස් විය හැක 1. නගර හා ග්‍රාමීය ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය – මාර්ග, පාර, වතුර නළ මාර්ග, ජලාශ, වාහන නැවැත්වීම් ස්ථාන ආදිය සංවර්ධනය කිරීම, නගර සැලසුම් කිරීම හා ඉදිකිරීම් බලපත්‍ර නිකුත් කිරීම. 2. පරිසරය ආරක්ෂා කිරීම – අපද්‍රව්‍ය කළමනාකරණය, මළ සිරුරු භූමදාන හා දහන කටයුතු, පිරිසිදු කිරීමේ සේවා (කසළ රැස්කිරීම, වාතය හා දියමන්දු පාලනය) 3. සෞඛ්‍ය හා ජන සත්කාර සේවා – මහජන ශුචිතා සේවා, වෛද්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍ය නිලධාරීන්ගේ කටයුතු, වසංගත නිරෝධායන වැඩසටහන් 4. අධ්‍යාපන සහ සමාජ සේවා – පෙර පාසල්, පුස්තකාල, ළමා උද්‍යාන, වැඩිහිටි නිවාස, ව්‍යායාම ශාලා සහ ක්‍රීඩාංගණ, 5. වාණිජ හා වෙළෙඳ කටයුතු – වෙළෙඳසල් බලපත්‍ර නිකුත් කිරීම, වෙළෙඳපොළ ක්‍රියාත්මක කිරීම, සාධාරණ මිලට භාණ්ඩ සැපයීමට උපකාර කිරීම, 6. ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම – ජලය, විදුලිය, ආලෝකකරණය, මහජන වැසිකිළි, පොදු ආරක්ෂාව, ව්‍යාපාර, වාණිජ කටයුතු සඳහා අවසර, 7. ආදායම් රැස්කිරීම සහ වියදම් කළමනාකරණය – බදු සහ ගාස්තු රැස්කිරීම, ආයතනයේ වියදම් පාලනය.
සාරාංශයක් ලෙස කිව හැක්කේ පළාත් පාලන ආයතන සහ එහි සභිකයන් වගකියන්නේ ප්‍රදේශයේ ජීවන තත්ත්වය වර්ධනය කරමින්, මහජන අවශ්‍යතා ඉටු කිරීම හා නියමිත සේවා සපයමින්, ජනතා කැමැත්තෙන් පත් වූ ජන නියෝජිතයකු ලෙස කටයුතු කිරීම යි.
පක්ෂ පාට භේදයක් නැති සභික වගකීම
පළාත් පාලනය තුළ මන්ත්‍රීවරු නැත. ඇත්තේ සභිකයන්ය. විපක්ෂයක් හෝ විපක්ෂ නායකයෙක් හෝ ප්‍රධාන සංවිධායක හෝ නොමැත. සභාවේ අසුන් ගන්නේ පක්ෂ හැටියට නොවේ. ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙළටයි. සභාපති උප සභාපතිට අමතරව වැඩිම වාර ගාණක් සභාව නියෝජනය කළ සභිකයා පළමුව ද, අවසන් කෙනා පළමු වරට සභාව නියෝජනය අනුව පිළිවෙළ මතයි. සෑම සභිකයෙක්ම ජනතා නියෝජිතයා බැවින් වරප්‍රසාද සැමට සමානව බෙදිය යුතුව ඇත. මෙහි නියෝජනය විය යුත්තේ දේශපාලන මතය නොව ප්‍රදේශයේ ජනතාවගේ පොදු අවශ්‍යතාවයයි.
ජනතාව සම්බන්ධ කර ගනිමින් ප්‍රජා සහභාගිත්ව සැලසුම්කරණය තුළින් සෑම ගමකට සංවර්ධන සැලැස්මක් සැකසීම සභිකයන් හෙවත් සභා නියෝජිතයන්ගේ ප්‍රමුඛ කාර්ය විය යුතුයි. ගමේ තිබෙන සම්පත් පිළිබඳ නිසි මනා අවබෝධයක් සභිකයාට තිබිය යුතුය. ආදායම් ලබාගත හැකි ව්‍යාපෘති, සංචාරක කර්මාන්තය සඳහා ඇති ප්‍රවේශයන් වැනි විෂයන් පිළිබඳ මනා වැටහීමක් සේම තරගකාරී සැලසුම් හා එවැනි ව්‍යවසායකයන් දිරිගැන්වීම තුළින් සභාවේ අරමුදල් වැඩිකර ගැනීම සභිකයන්ට කළ හැකිය. සෑම සභිකයෙක්ම සංවර්ධනයේ කොටස්කරුවන් කරගැනීම සභාපතිවරයාගේ වගකීමකි. විවිධ විෂයන් මෙහෙයවීමේ වගකීම සෑම සභිකයකුටම ලබාදීම. එම සභිකයා ඇතුළු නිලධාරීන් ඇගයීම කළ යුතුය.
වාර්ෂික ඇස්තමේන්තුව හෙවත් අයවැය හා ඉදිරි වැඩ සැලැස්ම සැකසීමේදී මහජනතාවගේ යෝජනා ලබාගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එමෙන්ම ප්‍රදේශයේ අයවැය ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රදර්ශනය කළයුතුයි. පළාත් පාලන ආයතනයක් යනු නීතිගත ස්ථාපිත ආයතනයකි. එසේම, ජනාධිපතිට අමතරව විධායක බලය තියෙන තැනකි. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියා වන්නේ වෙන කවුරුන් හෝ නොව පළාත් පාලන ආයතනයේ ප්‍රධානියාය. නොහොත් නගරාධිපති හෝ සභාපතිවරයා ය. ජීවිත හෝ පරිසරයට හානි වෙන කුමන හෝ ඉදිකිරීමක්, අනතුරුදායක ගස් හෝ කාණු, පාරවල් ඇතුළු ව්‍යාපාරයක් හෝ වේවා නැවැත්වීමේ බලය නගරාධිපතිවරයාට/සභාපතිවරයාට පැවැරී තිබේ. එවැනි හානියක් සිදුවුවහොත් සභාපතිට එදිරිව වින්දිතයන්ට නඩු පැවැරීමේ හැකියාව ඇත.
ලෝකයේ හැම ආයතනයක්ම පවතින්නේ පළාත් පාලන ආයතන යටතේය. ජලය, අධ්‍යාපනය, විදුලිය, ප්‍රවාහනය, මහා මාර්ග, සෞඛ්‍ය, පරිසරය, ආරක්ෂාව, අධිකරණය, ඉඩම් ඇතුළු සියලුම දේ ඊට ඇතුළත් ය. අපේ රටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල තිබුණ ද වෙන රටවල මෙම පරිපාලන ව්‍යුහය නැත. පළාත් පාලනය යනු පුංචි ආණ්ඩුවකි. ප්‍රදේශයේ, ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවයන් සඳහා අය-වැය හදන්නේ පළාත් පාලන ආයතනයයි. උදාහරණයක් ලෙස ආපදා කළමනාකරණය සලකමු. මෙය පළාත් පාලනයේ ප්‍රධාන විෂයක් විය යුතුය. ප්‍රදේශයේ ඉදිකිරීම්වල ප්‍රගතිය හා අයිතිය පැවැරෙන්නේ පළාත් පාලන ආයතනයට ය. නමුත් ආපදා කොටස ශ්‍රී ලංකාවේ ඊට අදාළ කර නැත. ආපදාවන්ට මුල්වෙන තවත් කොටසක් වන කසළ බැහැර කිරීම සහ කාණු පද්ධතියේ ගැටලුය. ඒවා පළාත් පාලන විෂයන් නිසා ආපදා කළමනාකරණ ඒකකය හා එහි වගකීමේ කොටසක බලය හෝ පළාත් පාලනයට ලබාදිය යුතුයි.
ගමේ ග්‍රාම නිලධාරිවරයා ඇතුළු සංවර්ධන නිලධාරි, ආර්ථික, ළමා, තරුණ, වැඩිහිටි, සමාජ සේවා ඇතුළු නිලධාරීන් රාශියක් ඇත. එම නිලධාරීන් අනුයුක්ත වන්නේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලවලටය. ගමේ සේවා පියස යනුවෙන් සියලුම නිලධාරීන් එම පියස තුළ සේවය කරයි. එහෙත් පළාත් පාලන නියෝජිතයන් ඊට සම්බන්ධ කිරීම අනිවාර්ය වී නොමැත. එම ස්ථානයේ කරන සේවාවන් පළාත් පාලනය සමග ගැළපීමක් නොමැත. එකම දේ දෙපැත්තෙන්ම සිදුවෙන බව අපගේ නිරීක්ෂණය යි. මේ තුළින් මහජන මුදල් අපතේ යෑමක් පමණක් නොව ගැටුම් ඇතිවීමද අප නිරීක්ෂණය කර ඇත.
පළාත් පාලන ආයතන යනු මහජනතාවට ඉතා කිට්ටුම සියලුම සේවාවන් ලබාදිය හැකි ස්ථානයක් විය යුතුය. කෙනෙක් ඉපදීමේ සිට මරණය දක්වා සේවාවන් පළාත් පාලනයෙන් සිදුකරයි. එබැවින් ජනතාවගේ ගැටලු විසඳිය හැකි යාන්ත්‍රණයක් සභාවන් සතුව තිබිය යුතුය. මාර්ගයක ගැටලුවක් කියන්නට දුර ගෙවාගෙන පළාත් පාලන ආයතනයට ආවාට පසු “මේ පාර අපට නොවේ අයිතිය ඔබ යන්න පළාත් සභාවට” කියා ආපසු හරවා යවන යුගය දැන් අවසන් කළ යුතුව ඇත. ජනතාවගේ ගැටලු ප්‍රශ්න විසඳන කේන්ද්‍රීය ස්ථානය පළාත් පාලනය විය යුතුය. මේ නිසා තමයි “ඔබේ සභාව දැන් ඇඟිලි තුඩේ දුරින්” යන තේමව ඔස්සේ “ඊ සභා ැ – ී්ඉය්” සංකල්පය හඳුන්වා දෙන්නට අප කටයුතු කරන ලද්දේ.
කමිටු සහ කාන්තා නියෝජනය
පළාත් පාලන ආයතන පාලන ව්‍යුහය පිළිබඳ සලකා බලමු. සභාවක් පාලනය වන්නෙ ් කමිටු ක්‍රියාවලියකිනි. අඩුම කමිටු 04 පළාත් පාලනයේදී තිබිය යුතුය. සැලසුම් කමිටුව, මුදල් කමිටුව, සෞඛ්‍ය හා පරිසර කමිටුව, කර්මාන්ත කමිටුව ආදී වශයෙනි. කිසියම් යෝජනාවක්, ඉල්ලීමක් ලැබුණොත් අදාළ කමිටුවේ අනුමැතියට එම ඉල්ලීම් හෝ යෝජනා යැවීම සිදු වේ. ඉන්පසු මහ සභාවේ එකඟත්වය ඇතිව ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. මෙම කම්ටුවල නියෝජනය වන්නේ නිලධාරීන් හා සභා නියෝජිතයන් ය. එසේම, පළාත් පාලන පනතෙන් මහජනතාවට මෙම කමිටු නියෝජන කළ හැකි අවස්ථා ගැන දක්වා තිබේ. වෘත්තිකයන් හෝ ස්වෙච්ඡා සේවකයන් යන අයට ඊට ඉඩ ලැබේ. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයේ අභිමථාර්ථ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ගේ අවශ්‍යතා හා අදහස් දේශපාලන ක්‍රියාවලියට ඇතුළත් කිරීමයි. මෙහි මූලික අරමුණු කිහිපයක් දැක්විය හැකිය.
සමාන නියෝජනය: දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තාවන්ට පුරුෂයන් හා සමාන අවස්ථා සහ නියෝජනයක් හිමිවිය යුතුය යන්න මෙහි ප්‍රධාන අභිමතාර්ථයයි. ජනගහනයෙන් අඩක් පමණ වන කාන්තාවන්ගේ හඬ දේශපාලනයේදී නොඇසීම ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවකි.
කාන්තා අවශ්‍යතා නියෝජනය : කාන්තාවන්ට ආවේණික වූ අවශ්‍යතා, අත්දැකීම් සහ ගැටලු ඇත. වැඩි කාන්තා නියෝජනයක් තුළින් එම කරුණු පළාත් පාලන මට්ටමේදී සාකච්ඡා කිරීමට සහ විසඳුම් සෙවීමට අවස්ථාව ලැබේ.
වඩා හොඳ පාලනය: පර්යේෂණවලින් පෙනී යන්නේ කාන්තාවන් දේශපාලනයේ ක්‍රියාකාරීව සහභාගි වන විට වඩාත් විනිවිදභාවයකින් හා වගවීමකින් යුත් පාලනයක් ස්ථාපිත වන බවයි. ඔවුන් දූෂණයට එරෙහිව කටයුතු කිරීමට සහ ප්‍රජා සම්පත් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට නැඹුරු වෙති.
ප්‍රජා සහභාගිත්වය වැඩි කිරීම: කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් අනෙකුත් කාන්තාවන්ට ද එයට සහභාගිවීමට දිරිගැන්වීමක් ලැබේ. එමගින් සමස්ත ප්‍රජාවේම සහභාගිත්වය ඉහළ යයි.
සමාජීය වෙනසක් ඇති කිරීම: කාන්තාවන්ගේ නායකත්වය තුළින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ළමා සුබසාධනය සහ ස්ත්‍රී හිංසනය වැනි ක්ෂේත්‍රවල ධනාත්මක වෙනස්කම් ඇති කළ හැකිය.
පවතින සැබෑ තත්ත්වය
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය තවමත් අපේක්ෂිත මට්ටමට පැමිණ නැත. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව පනවා තිබූ 25% ක කෝටාව හේතුවෙන් කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. එහෙත්, සමස්තයක් ලෙස ගත් විට තවමත් කාන්තාවන් සුළුතරයක් ලෙසයි නියෝජනය වන්නේ. කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නීතිමය රාමුවක් පැවතියද, ප්‍රායෝගිකව විවිධ අභියෝගයන්ට මුහුණදීමට කාන්තාවන්ට සිදුවේ. පවුල් වගකීම්, සමාජයේ පවතින ස්ත්‍රී පුරුෂ භේදය පිළිබඳ ආකල්ප, දේශපාලන ක්ෂේත්‍රයේ පවතින අසමාන තරගකාරීත්වය සහ මූල්‍යමය අභියෝග ඒ අතර ප්‍රධාන වේ. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ කාන්තා නියෝජනය ඉහළ යෑම ධනාත්මක ප්‍රවණතාවක් ලෙස දැක්විය හැකිය.
පළාත් පාලනයට ආ යුතු කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නව කමිටු
කාන්තා හා ළමා කටයුතු සඳහා විශේෂ කමිටු: පළාත් පාලන ආයතන තුළ කාන්තා හා ළමා කටයුතු සඳහා විශේෂිත වූ කමිටු පිහිටුවීම. මේවාට ප්‍රාදේශීය කාන්තා සංවිධාන, ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියෝජිතයන් සහ විවිධ ක්ෂේත්‍රවල කාන්තා නියෝජිතයන් සම්බන්ධ කරගැනීම.
සංවර්ධන සැලසුම්වලට කාන්තා දෘෂ්ටිකෝණය ඇතුළත් කිරීම: ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කාන්තාවන්ගේ අවශ්‍යතා සහ අදහස් ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගෙන් අදහස් විමසීමට යාන්ත්‍රණයක් සකස් කිරීම. උදාහරණයක් ලෙස, මාර්ග සංවර්ධනය, පොදු ප්‍රවාහනය, සනීපාරක්ෂක පහසුකම් වැනි දේ සැලසුම් කිරීමේදී කාන්තාවන්ට ඇති ප්‍රවේශය සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම.
ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම: කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට පොදු ස්ථානවල, ප්‍රවාහන සේවාවන්හි සහ නිවෙස් තුළ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා පොලිසිය හා එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට සහාය වීම.
කුසලතා සංවර්ධන වැඩසටහන්: කාන්තාවන්ට රැකියා අවස්ථා සහ ස්වයං රැකියා සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධන වැඩසටහන් (උදා: පරිගණක සාක්ෂරතාවය, ව්‍යවසායකත්ව පුහුණුව, නිපුණතා සංවර්ධනය) සංවිධානය කිරීමට පළාත් පාලන ආයතන හරහා පහසුකම් සැලසීම.
කාන්තා නායකත්වය දිරිගැන්වීම: ග්‍රාමීය මට්ටමේ කාන්තා නායකත්වය හඳුනාගෙන ඔවුන්ට පුහුණුවීම් ලබා දී දේශපාලන ක්‍රියාවලියට සහභාගි වීමට දිරිගැන්වීම.
සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන්: කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් දියත් කිරීම. විශේෂයෙන්ම ගර්භනී මව්වරුන් සහ කුඩා දරුවන් සිටින මව්වරුන් සඳහා සහාය ලබා දීම.
සති පොළ ඵලදායීව භාවිතය සහ කාන්තා ව්‍යවසායකත්වය
කාන්තා ව්‍යවසායිකාවන්ට ප්‍රමුඛත්වය: පළාත් පාලන ආයතන මගින් පාලනය වන පොළ භූමිවල කඩ කාමර හෝ ඉඩ කඩ වෙන් කිරීමේදී කාන්තා ව්‍යවසායිකාවන්ට, විශේෂයෙන්ම ගෘහණියන්ට සහ අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ප්‍රමුඛතාවය දීම.
ආරක්ෂිත සහ සනීපාරක්ෂක පහසුකම්: පොළ භූමිවල කාන්තාවන්ට ආරක්ෂිත සහ සනීපාරක්ෂක වැසිකිළි පහසුකම්, විවේක ස්ථාන සහ ළදරු කිරි දීම සඳහා වෙනම ස්ථාන වැනි අවශ්‍ය පහසුකම් සලසා දීම.
වෙළෙඳපොළට ප්‍රවේශය පුළුල් කිරීම: ග්‍රාමීය කාන්තාවන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රවාහන සහාය හෝ අඩු වියදම් ප්‍රවේශ මාර්ග සලසා දීම. විශේෂයෙන් ගොවි කාන්තාවන්ට තම නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට අවස්ථා සලසා දීම.
විශේෂ වෙළෙඳපොළවල්: කාන්තාවන් විසින් නිෂ්පාදනය කරන ලද අත්කම් භාණ්ඩ, ආහාර නිෂ්පාදන, ඇඟලුම් වැනි දෑ අලෙවි කිරීම සඳහා මාසික හෝ සතිපතා විශේෂ කාන්තා වෙළෙඳපොළක් (Womenzs Market) සංවිධානය කිරීමට පළාත් පාලන ආයතන හරහා සහාය ලබා දීම.
ණය පහසුකම් සහ පුහුණුව: පොළ භූමියේ වෙළෙඳාම් කිරීමට කැමති කාන්තාවන්ට සුළු ණය පහසුකම් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා ගැනීමට පළාත් පාලන ආයතන හරහා බැංකු හෝ වෙනත් ආයතන සමග සම්බන්ධීකරණය කිරීම.
අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්: කාන්තාවන්ගේ නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා පළාත් පාලන ආයතන මගින් ප්‍රචාරණ කටයුතු හෝ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් පළාත් පාලන ආයතන මගින් කාන්තාවන්ගේ ආර්ථික, සමාජීය හා දේශපාලනික සවිබල ගැන්වීමට මහත් පිටුවහලක් ලබා දිය හැකියි.
එනම්, සභාවන්ට ආදායම් ලබා ගන්නා එක ප්‍රධාන අවස්ථාවක් වන්නේ සති පොළ පවත්වාගෙන යෑමයි. සතියකටම එක දිනක් හෝ වරුවක් පොළ පැවැත්වෙන අතර මෙහි වෙළෙඳාම සිදුකරන්නේ පිටතින් එන වෙළෙන්දන්ය. අනිත් සෑම දිනකම එනම් සතියට දින 06 ක්ම පොළ පාලනය කරන්නෙ බල්ලන් හෝ ගවයන් ය. කාන්තා සභිකයන් මැදිහත්වී අඩුම තරමේ දින කීපයක් ගමේ සිටින ව්‍යවසායකයන්ට, නිෂ්පාදකයන්ට, ගොවීන්ට හෝ ගෙවිලියන්ට මෙම පොළ ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතයට දිය හැක.
කාන්තාවන්ගේ ගැටලු, ප්‍රශ්න වෙනුවෙන් කාන්තාවන් පෙනී සිටීම, ඒ වෙනුවෙන් වැඩසටහන් සැකසීම, මුදල් වෙන් කිරීම මෙසේ සියයට 25ක් වන පළාත් පාලන ආයතන කාන්තා නියෝජනයේ කාර්යභාරය හා වගකීමක් වේ.
● ආචාර්ය චතුර වැලිවිටිය