ප්‍රබලතම පාපන්දු කණ්ඩායම් 8ක් සමග අයි ලීග් කුසලාන පාපන්දු මැයි 3දා ඇරැඹේ

6

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාපන්දු කණ්ඩායම් 8ක් වන රිනවුන්, බ්ලූස්ටාර්, සෝන්ඩර්ස්, නිව්ස්ටාර්ස්, ජාවාලේන්, රෙඩ්ස්ටාර්, මාලිගාවත්ත යූත් හා මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ තරගවදින අයි ලීග් කුසලාන පාපන්දු තරගාවලිය මැයි 3දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.

රුපියල් ලක්ෂ 36ක මුදල් තෑගි පිරිනැමෙන මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක් හා අනුශූරයන්ට රුපියල් 3ක් පිරිනැමෙන අතර සෑම තරගයකම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත. එයට අමතරව මෙම තරගාවලියේ සෑම තරගයකදීම සියලු කණ්ඩායම්වලට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකකට බෙදා ලීග් ක්‍රමයට පවත්වා ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට එක්කරන අතර, එයින් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. කණ්ඩායම් 8 අතර මූලික වටයේ තරග හා අවසන් වටයේ තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සංවිධානය කරන චැලෙන්ජර්ස් පාපන්දු සමාජ සභාපති මනිවන්නන් මහතා පැවැසූවේ මෙම තරගාවලියට මිලියන 7ක පමණ මුදලක් වැයවන බවය.

“ශ්‍රී ලංකා පාපන්දුව දියුණුවට ලක්කිරීම මේ තරගාවලියේ අරමුණයි. පාපන්දු සම්මේලයේ පූර්ණ සහයෝගය අපට ලැබෙනවා. ඒ නිසා ප්‍රධාන කණ්ඩායම්වල දක්ෂ ක්‍රීඩකයින්ට හොඳ තරගාවලියකට එක්වීමේ අවස්ථා උදා වෙනවා” මනිවන්නන් මහතා පැවැසීය.

තරගාවලියට එක්වන සියලු කණ්ඩායම්වලට පාපන්දු හා නිල ජර්සි කට්ටල පිරිනැමීමට ද සංචිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙහි තරග කමිටු සභාපති ලෙස අත්දැකීම් බහුල පාපන්දු පරිපාලකයකු වන සහරාන් සිංහවංශ මහතා කටයුතු කරනු ලබයි. තරගාවලියේ මූලික වටයේ තරග මැයි මස 18 වැනිදා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි සිංහවංශ මහතා ‘දිනයින’ට පැවැසීය.


advertistmentadvertistment