පසුගිය සතිය තීරණාත්මක දේශපාලන සිදුවීම් කිහිපයක්ම දැකගත හැකි වූ සතියක් විය. ඒ අතර මැතිවරණ කොමිසම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන රටට සුබවාදී පණිවිඩයක් ලබා දෙමින් ඒ සඳහා දින වකවානු සලකුණු කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බවට ඔවුන් නිල නිවේදනයක් නිකුත් කළේය. දැන් ඉතින් නිසැකවම ජනතාව හමුවට පළමුව එන්නේ මහ මැතිවරණයක් නොව, ජනාධිපතිවරණයක් බව ජනතාවට විශ්වාස කළ හැකි පණිවිඩයක් ඉන් රටට නිකුත් විය.
තත්ත්වය එසේ තිබියදී පසුගිය සතියේ දේශපාලන කරළියේ වඩාත් කතාබහට ලක් වූ සිද්ධිය වූයේ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමය. සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රකට ඕෂල හේරත් නම් පුද්ගලයෙක් ඩයනාගේ මන්ත්‍රීකම අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට ගොස් තිබුණේ මීට වසර කිහිපයකට පෙරයි. ඒ ඇයට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් නොමැති බව ඔප්පු කරන්නටය. දිසා අධිකරණයෙන් උක්ත කාරණාව සම්බන්ධයෙන් ලැබුණු තීන්දුව පිළිබඳ ඔවුන් සෑහීමකට පත් නොවීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබිණ. ඇය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි සාධක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් නොමැති බව ඔප්පු කරමින් තීන්දුවක් දුන්නේ පසුගිය සතියේය. ඒ අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි විය. දේශපාලන කරළියේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය සතිය තුළ වඩාත්ම කතාබහට ලක් වූ දේශපාලන කාරණාව වූයේ එයයි.
මේ අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන සේවාවකින් මේ සතියේ වැඩකටයුතු ආරම්භ කළේය. ඒ පොලොන්නරුවේ ඉඩම් හිමිකම් නොමැති ජනතාවට ඉඩම් හිමිකම් ලබාදීමේ උරුමය ඔප්පු ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමිනි. ඉඩමක් සහ ඒ පිළිබඳ සින්නක්කර ඔප්පුවක් ලැබීම නිසා උරුමය ඉඩම් ලාභී ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් වී ජනාධිපතිවරයාට පින්දෙන ආකාරය පසුගිය සති අන්තයේ පොළොන්නරුවේ දී දැකගත හැකි විය.
උරුමය ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන දැන් අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික් ගණනාවකම සිදුවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගම්බද ගොවි ජනතාව අතර මෙන්ම නගරබද නිවාස ලාභී ජනතාව අතරද පසුගිය කාලයේ වැඩිපුරම කතාබහට ලක් වූ රාජ්‍ය නායකයා වූහ.
ඇතැමෙකු කීවේ හිසට සෙවණක් ලබාදෙමින් එදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පොදු ජනතාවගේ මිනිසා වූ ආකාරයෙන්ම වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනතාවට ඔවුන්ගේම කියා ඉඩම් ඔප්පුවක් ලබාදී ඉතා වේගයෙන් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය දිනා
ගනිමින් සිටින බවය. ඒ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ යම් යම් විවේචනද නොතිබුණාම නොවේ.
සති අන්තයේ පොළොන්නරුවට ගිය දිනයේම කොළඹ පැමිණි ජනාධිපති රනිල් තෝරාගත් ඇමැතිවරු කිහිප දෙනෙක් ගෙන්වා ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූයේය.
ගුවන්තොට ගැටලුවට ජනපතිගෙන් උත්තරය
ඒ වන විට කොළඹ කටුනායක ගුවන් තොටුපළේ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබුණේ විදේශිකයන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ලෙස හෝ වෘත්තිකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුනට වීසා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවයි. වීසා බලපත් නිකුත් කර වෙනදා ගෙවනවාට වඩා වැඩි මුදලක් වර්තමානයේ වීසා බලපත් නිකුත් කරන විදේශික සමාගම විසින් ලබාගනු ලබන්නේ යැයි ලොකු චෝදනාවක් ආගමන විගමන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇතිව තිබිණි. බොහෝ දෙනා චෝදනා නැගුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් දිනක් විදේශිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේදී වීසා බලපත් නිකුත් කිරීම ඉතා කාර්යක්ෂමව ඉටුකර ඔවුන්ගෙන් සාධාරණ මුදලක් අය කර ගත් බවය. එහෙත් වත්මන් රජය එම කටයුත්ත විදේශීය සමාගමකට පවරා ගාස්තුව ඉහළ දමා ඇතුවා පමණක් නොව, බලපත් නිකුත් කිරීමේ සේවාවේ කාර්යක්ෂමතාවයද නැති කර තිබෙන බවට චෝදනා එල්ල විය.
ඇමැතිවරු මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් ඊට විසඳුම් සොයන්නට වූහ.
“ආගමන විගමන එකේ කට්ටිය මෙච්චර කාලයක් ඒක හොඳට කළා නම් ඉදිරියටත් ඒක ඒගොල්ලන්ටම දෙන්න. වී එෆ් එස් ආයතනය කරගෙන ගිය වැඩ කොටසක් තියෙනවා නම් ඒක එයාලට පවරන්න. සංචාරකයෝ රටට එන්න පටන් ගත්ත විතරයි. ඒක කඩාකප්පල් වෙන විදියේ වැඩ කරන්න එපා. සතුරන්ට ආයුධ දෙන්නත් එපා.
ඒ සම්බන්ධයෙන් ගත් තීන්දුව ඇමැති නිමල් සිරිපාල ද සිල්වාට හා ටිරාන් අලස්ට දැන්වූ ජනාධිපතිවරයා සඳුදා පවත්වන කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට ඔවුන් හා කතිකා කර ගත්තේය.
පසුගිය සඳුදා දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩ අධික දිනයක් විය. හමුවීම් හා සාකච්ඡා ගණනාවකි. ඒ අතර කැබිනට් මණ්ඩල රැස්වීම ද පැවැත්විණි. ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. මෙම සාකච්ඡාවේදී උණුසුම් මාතෘකා කීපයක්ම කතාබහට ලක් විය. එක් මාතෘකාවක් වූයේ බැංකු සමග විවිධ ණය ගනුදෙනුවලට අත්සන් තබා අද බැංකුවලින් කිසිදු ණයක් හෝ ගනුදෙනුවක් කර ගත නොහැකිව අපහසුතාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැනය… සංජීව එදිරිමාන්න, මනූෂ නානායක්කාර, මහින්ද අලුත්ගමගේ මේ ගැන ප්‍රශ්න කළහ.
මුලින්ම කතා කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියය.
“පරාටේ නීතිය දෙසැම්බර් මාසය වෙනකම් කතා වෙන්නේ නෑ” ඔහු කීවේය.
“එහෙම කිව්වට මේක කෙරෙන්නෙ නෑ. පොඩි පොඩි බිස්නස් කරන අයගේ නම් “ක්‍රිබ්” එකට ගිහිල්ලා. ඒක ගැන පොඩ්ඩක් බලන්න” ඒ සංජීව එදිරිමාන්නය.
“හුඟක් අය බැංකුවලින් ක්‍රෙඩිට් කාඩ් අරගෙන, සමහරු ණය හිමියන්ට අත්සන් කරලා. සමහරු ණය ගෙවන්න බැරුව ක්‍රිබ් එකේ හිර වෙලා ඉන්නවා. ගොඩක් අය අස්සන් කරලා තියෙන්නේ ඇපේට. අද බැංකු පැත්ත පළාතේ යන්න බෑ…”
“ක්‍රිිබ් කියන්නේ ණය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය. ඒකෙන් ණය වර්ගීකරණය වෙනවා. ක්‍රිිබ් එකේ හිටිය කියල පුද්ගලයට ණයක් ගන්න බැරිකමක් නැහැ” එසේ කීවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහය.
“ඔබතුමා මෙතන එහෙම කිව්වට, ක්‍රිිබ් එකේ නම තියෙන අයට ණය ගන්න බැහැ.” වෙළෙඳ ඇමැති නලින් ද කතාවට මැදිහත් විය.
මහින්දානන්ද ද එය අනුමත කළේය.
“අපිට මේක තනියම කරන්න බැහැ. ඒ නිසා මහ බැංකුවට මම කිව්වා මේ ගැන වාර්තාවක් දෙන්න කියල. රජයේ බැංකුවලට නම් මොකක් හරි කරගන්න පුළුවන්. නමුත් පුද්ගලික බැංකුවලට එහෙම බෑ” ජනාධිපතිවරයාද කතාවට මැදිහත්විය.
අනතුරුව කතා කළේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂය. ඔහු කතා කළේ බූදල් නඩු විසඳීම ගැනය. විදුලි බල ඇමැති කංචන විජේසේකර කතා කළේ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැනය.
“බලන්න සර්… ආණ්ඩුව හොඳට වැඩ ටික කරගෙන එනවා. ඒ අස්සේ මේ වීසා ප්‍රශ්නයක් ඇදගෙන නානවා. අපිටත් ලැජ්ජයි.” චාමර සම්පත් බාල්දියක් පෙරලුවේය.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා ද ඒ ප්‍රශ්නය ගැනම කතා කළේය.
“අපි ඒ වැඩේ භාරදුන්නේ ලෝක ප්‍රකට ආයතනයකට. ඒකෙන් අපි තවත් ප්‍රමෝට් වෙනවා. මෙතන වෙලා තියෙන්නේ අතයට ගනුදෙනු වැඩක්. අපි මේව ගැන හොයන්න ඕන” ඇමැති හරින් කීය.
“ඔව්… මමත් ඒ ගැන දන්නවා. ටුවරිස් වීසාවලින් එන අය දකුණේ හෝටල්වල වැඩ කරනවා. අපි මේ ගැන කෝප් එකෙත් සාකච්ඡා කළා.” මධුර ද කතාවට මැදිහත් විය.
“එයාර්පෝට් එකේ කෑගහපු තරුණයාගේ තාත්තා ගම්පහින් ජේ.වී.පී. එකෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක්. මිනිහගේ නෝනා රුසියානු කාන්තාවක්” ඇමැති ප්‍රසන්න මන්ත්‍රීවරුන්ට කීය.
ඇමැති හරින් ද එය අනුමත කළේය.
“එයාට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. නමුත් එයා කතා කළේ බිරිඳගේ වීසා එක ගැන. ඒ ප්‍රශ්නය නීත්‍යානුකූලව විසඳා ගත්ත නම් ඉවරයි. ඒත් වයර් කඩල, කෑගහල ගුවන්තොටුපළේ යකා නටන්න කාටවත් බෑ. රටක විනයක් තියෙන්න ඕන ටුවරිසම් කරන අය මට මේ ගැන කතා කළා. ඒ අනුව වීසා ගාස්තුව පෙර පරිදිම තියාගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා.” ජනාධිපතිතුමා ද මැදිහත් විය.
එය ඇසූ රාජ්‍ය ඇමැති චාමර අත්පුඩි ගැසීය.
“මේක නෙවෙයි වැදත්ම කාරණාව. උරුමය ඔප්පු බෙදීමයි. ඒක පටන් ගන්න. ප්‍රසන්න ඇමැතිතුමා ඒ වැඩේ ගම්පහ හොඳට කළා. ප්‍රසන්න ඔයා ඒ ගැන කියන්න” ජනාධිපතිතුමා නැවත කීය.
අනතුරුව ඇමැති ප්‍රසන්න උරුමය ඔප්පු බෙදාදීම ගැන සවිස්තර විස්තරයක් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළේය.
“ප්‍රසන්න ඔයා ඒ වැඩේ ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔයා වැඩේ හොඳට කරනවා” අවසානයේ උරුමය ඔප්පු බෙදාදීම වැඩේ ගැන හොයා බැලීමේ වැඩෙත් ජනාධිපතිවරයා ඇමැති ප්‍රසන්න රණතුංගටම භාර කළේය.
“ඇමැතිතුමා මීඩියාවලින් මට මාර පබ්ලිසිටියක් නේ දෙන්නේ” සාකච්ඡාව අවසන් කර එළියට පැමිණි ඇමැති ප්‍රසන්න පසුපස දුව ආ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ කීය.
“මම.. මොකද්ද?” පුදුමයට පත් ඇමැතිවරයා ඇසීය.
“නෑ.. ඇමැතිතුමා මිනුවන්ගොඩ අවුරුදු උත්සවයේදී අලියට ඇහැ තියපු එක නැඟල යනවා. මට ෆ්‍රී පබ්ලිසිටි” ඒ ආශුය.
“ඒක මගේ වැඩක් නෙවෙයි. මීඩියාවල වැඩ. මගේ සම්බන්ධයක් නෑ… අනික ඉතිං ඔයාටත් හොඳයිනේ ඡන්ද වැඩි වෙනවනේ” ඇමැති ප්‍රසන්න ආශුගේ පිටට තට්ටුවක් දමමින් කීවේ සිනාසෙමිනි.
චණ්ඩි චාමර සම්පත්ට සංවාදයේ අකරතැබ්බය
පසුගිය සතියේ එක්තරා රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට ගිය රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට නොසිතූ විරූ සිද්ධියකට මුහුණ පාන්නට සිදුවිය. එහිදී වැඩසටහන මෙහෙයවූ නිවේදකයන් තිදෙනා හා චාමර අතර උණුසුම් බහින්බස් වීමක් ඇති විය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී චාමරව වට කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ගැන තොරතුරු විමසන්නට පටන් ගත්තේ තරමක් විවාදාත්මකවය.
හැබැයි චාමර අයියා නියම වැඩේ. ඔය මිනිස්සු ඔය වැඩේ හැමෝටම කරනවා. තනි මිනිහෙකුට එන්න කියනවා. ප්‍රධාන නිවේදකයා ඒ මිනිහගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරේ භාගෙට දීගෙන යනකොට අනිත් නිවේදකයා අතුරු ප්‍රශ්නයක් මතු කරනවා. අර ප්‍රධාන කාරණාව පැත්තක තියලා ඒ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ආරාධිතයට සිද්ධ වෙනවා. ඔන්න ඒ උත්තරේ භාගෙට දෙනකොට ආයෙත් තුන්වෙනි නිවේදකයා පැනලා ප්‍රශ්නයක් අහනවා. මේ තුන්දෙනාම එකතු වෙලා කරන්නේ ආරාධිතයව කිච කරන එක. මේගොල්ලන්ගේ මේ විවාද සම්ප්‍රදාය නම් මට නම් ඇතිවෙලා. මම නම් ආයේ ඒ නාලිකාවට යන්නේ නෑ…” එක් මන්ත්‍රීවරයෙක් තමන්ගේ අත්දැකීමක් විදහා පාමින් කතා කළේය.
“හැබැයි චාමර අයියා තමයි ඔය තුන්දෙනාට පාඩමක් උගැන්නුවේ. අන්තිමේ තුන් දෙනාම ගොළු වෙලා සීමාව ඉක්මවා ගිහින් මරදානේ චණ්ඩි වගේ අතින් පයින් චණ්ඩිකම් පෙන්නන තත්ත්වයක් ගැනත් කතා කළා. චාමර අයියටත් ඉතින් ඕව දැක්කම මරදානේ කටවුට්වල ජීවන් කුමාරතුංගගේ පාට් එක ඇට් කරන්න හිතෙනවානේ…” එසේ කීවේ තරුණ මන්ත්‍රීවරයෙකි…
“ඒ වුණාට චාමර ඔයා මීඩියා එක්ක හැප්පෙනකොට ඔයිට වඩා කල්පනාකාරී වෙන්න. මම නම් ඔයා කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. ඔයාගේ භාෂාව සහ හැසිරීම එතන අන්තිමයි. අපි කරන්න ඕන එහෙම තැනකට ගියාම ඒගොල්ලොත් එක්ක ඇරගන්න එක නෙවෙයි. ඒගොල්ලොන්ගේ ඉඩකඩ තුළ ඒගොල්ලොන්ගේ කනෙන් වෙන් කරලා අපිට ඕන දේ කියාගන්න එක…” එසේ කීවේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීනව සිටින අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
කීපදෙනෙක් චාමරව වට කරගෙන චාමරව අගය කරන්නට ගත්තත් අත්දැකීම් බහුල දේශපාලනඥයෝ කීප දෙනෙක්ම චාමරගේ හැසිරීම අනුමත කළේ නම් නැත. මාධ්‍ය තරහ කර නොගන්නැයි කියා ඔවුන් ඔහුට අවවාද කළහ…
“මං දන්නෑ මල්ලි. උන් මාව කේන්ති ගැස්සුවා. අපහාස කළා. මමත් කියන්නම ඕන ටික කිව්වා… එච්චරයි…” කියමින් චාමර යන්නට
ගියේය.
ඒකෙන් වුණේ අනිත් චැනල් එකේ අසමසම නායකයාගේ වැඩසටහන බල බල හිටපු කට්ටියත් චාමර අයියගේ ගුස්තිය බලන්න චැනල් එක මාරු කරපු එක. අපට පේන්නේ නම් ඒක අර තුන්දෙනාගේ උපායක්. එතන සිටි එක් අයෙක් කීවේ ඒ සාකච්ඡාව අවසන් වී මන්ත්‍රීවරු විසිර යන මොහොතේය.
ඩයනාගේ මන්ත්‍රීකම මුජිබර්ට ගිය හැටි…
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් මේ රටේ පුරවැසියකු නොවන බවට ඔප්පු වී පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමිවූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගිය සතියේ මාධ්‍ය අමතා කතා කළාය.
ඕ මෙම සිද්ධිය ගත්තේ සමගි ජනබලවේගය මේ රටේ කාන්තා බලයට එරෙහිව ගොඩනැඟූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ අයුරින් කාන්තාව මේ රටේ දේශපාලනයට සම්බන්ධ වීම වැළැක්වීමට සමගි ජනබලවේගය කටයුතු කිරීමට එරෙහිව ඊළඟ මැතිවරණවලදී මේ රටේ කාන්තාව උත්තර දෙනු ඇතැයි ඕ කියා සිටියාය.
මේ සිද්ධියත් සමගම බොහෝ දෙනාගේ මාතෘකාව වූයේ සමගි ජනබලවේගයේ මෙම පුරප්පාඩුව පුරවනු ලබන දේශපාලනඥයා කවුරු වනු ඇද්ද කියාය. නිසැකවම එය පළාත් පාලන මැතිවරණය නිසා තම මන්ත්‍රී ධුරය අහිමි වූ මුජිබර් රහුමාන්ට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.
ඒ බලාපොරොත්තුව සඵල කරමින් සමගි ජනබලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු කීපදෙනෙක් පසුගිය බදාදා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් ඇති වූ පුරප්පාඩුව සඳහා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළහ. ඒ අනුව මුජිබර් රහුමාන් ඩයනාගේ අනුප්‍රාප්තිකයා විය.
අලුතෙන් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ මුජිබර් මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණියේ දහවන සිකුරාදා උදේය. එහිදී ඔහුගේ සහෝදර මන්ත්‍රීවරු පිරිස තම කණ්ඩායමේ අති දක්ෂ කථිකයා වට කරගෙන සුබපතන්නට පටන් ගත්හ.
කොහොම හරි ඕෂල ලක්මාල්ට පින් සිද්ධ වෙන්න ඔබතුමා ආයේ පාර්ලිමේන්තුවට ආවා…
පාර්ලිමේන්තු ලොබියේ මන්ත්‍රීවරු පිරිසක් සමග කතාබස් කරමින් සිටින අතර එසේ කීවේ එතනින් යන්නට ගිය පුවත්පත් මාධ්‍යවේදියෙකි.
“අන්න ඒ කතාව නම් වැරදියි මල්ලි. ඩයනා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි කියලා ඕෂල අධිකරණයට යන්නත් කලින් 2022 දී පාර්ලිමේන්තුවේ බය නැතුව ප්‍රකාශ කළේ මම… ඕගොල්ලන්ට මතක නෑ පරණ හැන්සාඩ් බලන්න…” මුජිබර් පෙන්වා දුන්නේය.
ඒ අතර එම සිද්ධිය ගැනද කතාබහක් ඇති විය.
“ඔය ඩයනා මන්ත්‍රීතුමිය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි කියලා ඉස්සෙල්ලාම හෙළි වුණේ එතුමිය ආගමන විගමන කොමසාරිස්ගෙන් ඩිප්ලොමැටික් පාස්පෝට් එකක් ඉල්ලුම් කළ අවස්ථාවේ. අන්න එතනදි දෙපාර්ශ්වය අතර හුවමාරු වෙච්ච ලියැකියවිලි කීපයක් තමයි මම පාර්ලිමේන්තුවට ගෙනල්ල සභාගත කරලා කථානායකට කියන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ශ්‍රී ලංකාවේ නොවන විදේශීය පුරවැසියෙක් ඉන්නවා කියලා. ඕගොල්ලන්ට මතක ඇති ජනාධිපතිතුමා ඒ වෙලාවේ මට කියනවා ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට රතු පාස්පෝට් එකක් දුන්නහම ඔයාට ඇතිවෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒක කිව්වේ විහිළුවට.
මම එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ලියැකියවිලි තමයි ඕෂල දාපු නඩුවේ එවිඩන්ස් විදියට පාවිච්චි වෙන්නේ.” මුජිබර් දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
“ඒකනේ මේගොල්ලා ඔබතුමා ආයේ පාර්ලිමේන්තුවට ආවේ ඕෂලගේ නඩුවට පින් සිද්ධ වෙන්න කියලා කියන කතාව වැරදියි එහෙනම්…” මන්ත්‍රීවරු මෙසේ විහිළු කරන තැන පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම තරුණ මන්ත්‍රීවරු සිටියහ.
මේ අතර ඩයනාට සිදුවූ අකරතැබ්බය පිළිබඳ කතාබහක් පසුගිය දිනක නව සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් රැස්ව සිටින තැනකදී ද ඇති විය. ඒ වෙලාවේ මන්ත්‍රීවරු පිරිස සිටියේ නලින් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැතිවරයාගේ නිල කාමරයේ රැස්ව ඔහුගේ උපන් දිනයට සුභපතමින් නලින් සූදානම් කළ සංග්‍රහයක් භුක්ති විඳිමිනි.
නිමල් ලන්සා, පියංකර ජයරත්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් ඒ අතර වූහ. ඔවුන් නලින් ප්‍රනාන්දු ඇමැතිවරයාට සුභපැතීමෙන් අනතුරුව රටේ වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද කතාබහ කරන්නට වූහ.
“ඩයනාගේ මන්ත්‍රීකම නැතිවුණා විතරයි දැන් සජබෙ කට්ටිය භූමිතෙල් ගහපු ගැරඬියෝ වගේ දඟලනවා” නලින් ප්‍රනාන්දු ඇමැතිවරයා සිනාසෙමින් කීවේය.
“ඩයන දාල තියෙන නඩුව නිසා සජබෙ මන්ත්‍රීවරු 53 දෙනාගේ මන්ත්‍රීකම් අනතුරේලු” පියංකර කීවේය.
“දැන් ඩයනාගේ අධිකරණ තීන්දුව අරගෙන සජබෙ කට්ටිය ජනාධිපතිතුමාට ගහන්න පටන් අරගෙන. යකෝ මේක හරි වැඩක්නෙ ඒකට වගකියන්න ඕනා ජනාධිපතිතුමා නෙමෙයි මේ ගැන දැන දැනත් ඩයනාගේ පක්ෂය අරගෙන ඩයනාට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් දීපු සජිත්නෙ වගකියන්න ඕනා” නිමල් ලන්සා ද කතාබහට එක්විය.
“ඩයනා ගිය එකටත් වඩා මුජිබර්ව පාර්ලිමේන්තු ගේන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ” ලසන්ත අලගියවන්න ඇමැතිවරයා කියා සිටියේය.
“ඔව් ඉතින් පළාත් පාලන ලණුව කවල සජිත් මිනිහව අමාරුවේ දැම්මනෙ නගරාධිපති සිහිනය පෙන්නල” අමරවීර ඇමැතිවරයා සිනාසෙමින් කීවේය.
“අමරේ අපේ රැස්වීම් කටයුතු කොහොමද” අනුර යාපා විමසීය.
“ඒ ගැන බයවෙන්න එපා මට දිනය විතරක් කියන්න වෙන කිසිම පක්‍ෂයක් ගෙනාපු නැති සෙනඟක් අපි ගේමු නව සන්ධානයේ හම්බන්තොට රැලියට” අමරවීර ඇමැතිවරයා කියගෙන ගියේය.
“ඊට පස්සෙ පුත්තලමේ එකත් තියමු” ලන්සා පියංකර දෙස බලමින් කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පසුගිය සතියේ ආරම්භයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවූයේ හේතු කීපයක් ඇතිවය. විශේෂයෙන්ම පසුගිය මැයි රැලිය සාර්ථක කර ගැනීමට දායක වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට විශේෂ ස්තුතියක් කරන්නට නාමල්ට අවශ්‍ය විය. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂගෙනුත් හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙනුත් අවසර ගෙන ඔහු මෙම කැඳවීම කරනු ලැබීය.
මෙම රැස්වීමේ ලොකු විශේෂත්වයක් තිබිණි. කැපී පෙනෙන කාරණාව වූයේ පසුගිය මාස හත අටක කාලය තුළ පොහොට්ටුවේ වැඩවලට වැඩිපුර සම්බන්ධ නොවූ ජනාධිපති රනිල් සමග විශ්වාසයෙන් කටයුතු කළ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මේ රැස්වීමට පැමිණ සිටීමයි. මුලින්ම නාමල් මැයි දිනය සාර්ථක කර ගන්නට දායක වූ සියලු දෙනාට මෙහිදී ස්තූති කළේය.
“මේ අවුරුද්ද අන්තිමේ අනිවාර්යයෙන්ම ඡන්දයක් එනවා… හැමෝම දැන් ඊළඟට ඒකට ලෑස්ති වෙන්න” බැසිල් කීවේය.
“ජනාධිපතිවරණයක්නේ එන්නේ. ඉතින් ඒකෙදි කවුද අපේ අපේක්ෂකයා. ගමට ගියාම මිනිස්සු අපෙන් අහනවා. මාධ්‍යවලින් අහනවා…” මන්ත්‍රීවරයකු ඇසීය.
“ඒක අපි තීරණය කරලා ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. තවම ඒ ගැන කොතැනකවත් කතා කරන්න යන්න එපා” මහින්ද ජනාධිපතිවරයා කීවේ අවවාදයක් ලෙසයි.
ඉන් අනතුරුව පක්ෂයේ මෙහෙයුම් කටයුතු ගම් මට්ටමට ගෙනයන ආකාරය ගැන පුළුල් සාකච්ඡාවක් ඇති විය. පක්ෂ ලේකම් සාගර කාරියවසම් සහ අනෙකුත් නායකයින්ගේ අදහස වූයේ ආසන මට්ටමින් සම්මේලන මාලාවක් කළ යුතු බවයි. ඡන්දය ඉලක්ක කර ගනිමින් එය පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහස වූහ. පසු එම ආසනය මුල් කරගෙන ගෙන් ගෙට යෑම ආරම්භ කළ යුතු බව කියැවිණි. ඒ සඳහා ඒ ඒ ආසන මුල් කරගෙන වෙන වෙනම සැලසුම් සාදා දෙන බව නායකයෝ කීහ.
මෙම වැඩසටහන වෙසක් පෝය අවසන් වූවාට පසු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පටන් ගන්නට යෝජනා ස්ථිර විය. ලබන විසි හය වැනිදා අනුරාධපුර කලාවැව ආසනයෙන් එම වැඩසටහන ආරම්භ කිරීමට කතිකා කර ගත්හ.
මේ සාකච්ඡාවෙන් පසුවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ලොකු ගැටලුවක් තිබුණේ තමන්ගේ අපේක්ෂකයා කවුද කියාය. පොහොට්ටුවේ සිටින ආණ්ඩුව සමග කිට්ටුවෙන් කටයුතු කරන මන්ත්‍රීවරු රාශියක් මීට පෙර විවෘතවම පෙන්වා දී තිබුණේ පොහොට්ටුවේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී රනිල් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කිරීමට පොහොට්ටුව එකඟයි කියාය. එහෙත් මේ වන විට එය ඔවුන්ගේ හුදු අදහසක් මිස සමස්ත පොහොට්ටුවේ අදහසක් නොවන බව රහසක් නොවීය.
පසුගිය කාලයේ පොහොට්ටුවේ රැස්වීම් දිගින් දිගටම පැවැති අතර ඒ සෑම තැනකදීම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න මතු විය. කිසිදු තැනක ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා කිසිවෙකුවත් කීවේ නැත. එහෙත් මීට සතියකට පෙර එක්තරා මළගෙදරකට ගොස් හක්මන ගාමිණී සෙනරත්ගේ නිවසේ රැස්වී සිටින අතරතුර ඒ පිළිබඳ හෝඩුවාවක් පළ වූහ. ඒ ධම්මික පෙරේරා පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවයි.
ධම්මික පෙරේරා පහුගිය කාලය මුළුල්ලේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම්වලට පැමිණියේ බැසිල් රාජපක්ෂ සමගයි. උත්සවවල ඉදිරි පෙළ අසුන්වල වාඩි වී සිටියේ ද එක්කෝ බැසිල් ළඟය. නැත්නම් මහින්ද ළඟය. ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා යැයි නිල වශයෙන් කිසි තැනක කියා තිබුණේ නැතත් ගාමිණී සෙනරත්ට අයත් හක්මන ගෙදරදී ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය.
“අපි මෙයාට ඒ ගැන කතා කරනවා… කෝ ඉතින් මෙයාගේ උනන්දුවක් තියෙන්න ඕනේ…” කියා ජනාධිපති මහින්ද ඒ අවස්ථාවේදී කියා ඇතැයි හෙළිදරව් විය.
මේ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන ද තැන් තැන්වල විවිධ මට්ටමේ සාකච්ඡා ඇති විය. විශේෂ හේතුවක් වූයේ මැතිවරණ කොමිසම ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා දින වකවානු තීන්දු කර ප්‍රකාශයට පත් කිරීමයි.
පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් පිරිසක් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් හමු වී මේ පිළිබඳ යම් ප්‍රවෘත්තියක් ලබාගන්නට උත්සාහ කරමින් සිටියහ.
“ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කරලා නැහැ. හැබැයි ඉතින් ජනාධිපතිවරණයට දින නියම කරලත් ඉවරයි…”
“ඒක වැරදියි.. ඒක මැතිවරණ කොමිසමෙන් තීරණය කරන්න ඕනේ නැහැ. මේ සම්බන්ධයෙන් අද තියෙන පනත අනුව ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේ ජනාධිපතිවරයා දිවුරුම් දීපු දවසට අනුව ඊළඟ ජනාධිපතිවරණය පවත්වන්නට අවශ්‍ය කාලය මොකක්ද කියලා. ඒක තමයි මැතිවරණ කොමිසම කරලා තියෙන්නේ. පනත තියෙන දේ නැවත කීමක්. එහෙම නැතුව මැතිවරණයට දින තීන්දු කිරීමක් නෙවෙයි. මාධ්‍යවේදීන් හැටියට ඕගොල්ලෝ ඒක හරියට තේරුම් ගන්න.” සාගර කීවේ මාධ්‍යවේදීන්ගේ දේශපාලන අවබෝධය ගැන සුළු සරදමක් ද කරමිනි.
මේ අතර පාර්ලිමේන්තුවේ තැන තැන සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එකමුතුවක් ගැන ද සාකච්ඡාව වන්නට පටන් ගෙන තිබිණි. සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සංහිඳියාවක් ඇති කර සජිත් – රනිල් එකමුතුවක් ඇති කරන්නට විදේශීය රටකට තිබෙන උනන්දුවක් ගැන ද කතාබහ විය. ඒ අනුව ඉදිරියේදී පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය අතර සංහිඳියාවක් ඇති වේද එසේත් නැතිනම් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සංහිඳියාවක් ඇතිවේ ද යන කියා හරි විශ්වාසයක් ඇතිකර ගන්නට නොහැකි තත්ත්වයක් උදාවිය.
බුලිත ප්‍රදීප් කුමාර