ප්‍රේමදාස පිටියේ අද ලක්ෂ 600 ක් බෙදයි

390

එල්පීඑල් අවසන් මහා තරගය අද: ශූරයන්ට ලක්ෂ 360ක්

ශූරයන්ට රුපියල් මිලියන 36ක් හෙවත් ලක්ෂ 360ක මුදල් ත්‍යාග පිරිනැමෙන තෙවැනි එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23 වැනිදා) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 18 ක් හෙවත් ලක්ෂ 180 ක මුදල් ත්‍යාග පිරිනැමේ.

පළමු සහ දෙවන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිවල ශූරතාවය ජයග්‍රහණය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවරද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන්ද යන්න කළම්ඹු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ ප්‍රතිඵල මත තීරණය වේ.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අද රාත්‍රියේ යාපනය කණ්ඩායම සමඟ අවසන් මහා සටනට සුදුසුකම් ලබන අතර ඉන් ජය ගන්නා කණ්ඩායමට තෙවැනි එල්පීඑල් කුසලානය සහ ඊට අදාළ තෑගි මුදල් පිරිනැමේ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් තරග වැදුණු අතර එහිදී මූලික වටයේ ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම් 4 දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට ගිය අතර දෙවෙනි අදියර යටතේ පෙරේදා රාත්‍රී පැවති තරගයෙන් පරාජයට පත්වීම නිසා කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ද අවසන් මහා තරගයට පිවිසීමට වරම් හිමි නොවිණි.

පසුගිය එල්පීඑල් තරගාවලියේ ශූරයන්ට පිරිනැමූ තෑගි මුදලට වඩා රුපියල් ලක්ෂ 158 කට වැඩි මුදලක් මෙවර ශූරයන්ට පිරිනැමේ. පසුගිය වර ශූරයන් සඳහා ලක්ෂ 202ක මුදලක් පිරිනැමූ අතර මෙවර එය ලක්ෂ 360ක් ලෙස ද, පසුගිය වර අනුශූරයන් සඳහා ලක්ෂ 101ක මුදලක් පිරිනැමූ අතර මෙවර එම මුදල ලක්ෂ 180ක් වේ. ශූරයන්ට සහ අනුශූරයන්ට අමතරව තරගාවලියේ වීරයා සඳහා ලක්ෂ 18 ක මුදලක් හිමිවන අතර අවසන් මහ තරගයේ වීරයා සඳහා පන්ලක්ෂ හතළිස් දාහක මුදලක් ද පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයකු තෝරාගෙන ඔහු සඳහා රුපියල් හත් ලක්ෂ විසි දහසක මුදලක් ද ලබාදේ. ඊට අමතරව තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට, වැඩිම කඩුලු ලාභියාට, නැගී එන ක්‍රීඩකයාට සහ වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයාට රුපියල් තුන් ලක්ෂ හැට දහසක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.

ඒ අනුව තරගාවලියට අදාළව අද දිනයේ රුපියල් ලක්ෂ 585ක් තෑගි මුදල් ලෙස පිරිනැමීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment