සංවිධානාත්මක අපරාධකරුවන් නොහොත් පාතාල සාමාජිකයන් අනෙකාගේ අවධානය දිනා ගැනීමටත්, ප්‍රතිවිරුද්ධ කල්ලි බිය ගැන්වීමටත්, විශේෂයෙන්ම තමන් පාතාලයේ කෙරුමෙක් යැයි පෙන්වීමටත් තමන්ගේ උප්පැන්න සහතිකයේ භාවිතා කරන නමට අමතරව වෙනත් අන්වර්ථ නාමයක් භාවිතා කරති. මෙය මෙරට පාතාලයේ අතීතයේ සිට සිදු වූවකි.

ඒ අනුව පාතාල නායකයන්ගේ අන්වර්ථ නම් බහුතරයක් ඔවුන්ගේ උපන්ගම හෝ ඔවුන් ක්‍රියාත්මක වන ප්‍රදේශය පටබැඳි කරගෙන සැදී තිබේ. එයට උදාහරණ ලෙස මධුෂ්, මාකඳුරේ මධුෂ් ලෙස හැඳින්වෙන්නේ මාකඳුර ඔහු ජීවත් වූ ප්‍රදේශය වීම හේතුවෙන් බව පැවසේ.

තවද පාතාල නායකයින් වශයෙන් ප්‍රසිද්ධියට පත් ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, නාවල නිහාල්, කඩුවෙල වසන්ත, කොස්ගොඩ තාරක, මොරටු සමන්, රත්මලානේ අංජු, රත්ගම විදුර, බ්ලුමැන්ඩල් සංඛ, කොස්ගොඩ සුජී, කෙහෙල්බද්දර පද්මේ වැන්නන්ද අන්වර්ථ නම්වලින් පෙනී සිටියේ තම උපන් ගම මුල්කර ගනිමින්ය.

ගම සහ ප්‍රදේශයට අමතරව කළ රැකියාව, ශරීරයේ හැඩය කළ අපරාධ සහ ඔවුන් හැසිරුණු ආකාරය ආදී කරුණු සැලකිල්ලට ගෙනද පාතාල නායකයින්ට නම් පටබැඳී තිබේ. බහුතරයක් පාතාල සාමාජිකයෝ මෙම අන්වර්ථ නාමයන්ට කැමැත්තක් දක්වති.

පාතාල අපරාධකරුවන්ගේ මෙම අන්වර්ථ නම් සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙක් දැක්වූයේ මෙවන් අදහසකි.

“දැන් චමින්ද රවී ජයනාත් කියන්නේ නැතුව ‘දෙමටගොඩ චමින්ද’ කියලා කිව්වොත් ජනතාව අතර පොඩි බයක් ඇති වෙනව නේ. ඕකට තමයි ඔහොම නම් දාගන්නේ. පාතාලේ කෙරුමෙක් වුණොත් අන්වර්ථ නමක් තියෙනවා. ඔය හැමකෙනාම මිනිස්සු බය කරගන්නනේ මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ.”

“සමහර ඒවා අපි අපේ යාළුවන්ට කියනවා වගේ සුරතල් නාම, වැඩේ වෙන්නේ ඔවුන් ප්‍රසිද්ධ වෙන්නේ ඒ නමෙන්, ගොඩක් අයගේ ඇත්ත නම් කවුරුත් දන්නේ නැහැ.”

සමහර පාතාල නායකයන් තමන්ට පටබැඳි නම්වලට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. සොත්ති උපාලි ,පොට්ට නවුෆර්, මෝල් පියා ඊට උදාහරණක් ලෙස දැක්විය හැකිය.

අද අප කතා කරන්නේ එලෙස නම් පටබැඳි ඇති දැනට ජීවතුන් අතර සිටින සහ මියගිය පාතාල නායකයින් කිහිපදෙනෙක් පිළිබඳවයි.

1990 දශකයේ මෙරට නමගිය පාතාල නායකයකු ලෙස සොත්ති උපාලි හැඳින්විය හැකිය. උප්පැන්න සහතිකයේ නම උපාලි රංජිත් වුවත් බහුතරයක් දෙනා ඔහුව හැඳින්වූයේ “සොත්ති උපාලි” යන අන්වර්ථ නාමයෙනි.

එලෙස ඔහු “සොත්ති උපාලි” වූයේ එක් අතක් ආබාධිත නිසාය. එහෙත් “සොත්ති උපාලි” තමන්ගේ එම අන්වර්ථ නාමයට කිසිදු කැමැත්තක් දක්වා නොමැත.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි “පොට්ට නවුෆර්ට” එම නම පටබැඳී තිබුණේ පාතාල ගැටුමක් නිසා ඇතිවූ අත් බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ ඇසක් අහිමි වීම නිසාය.

ඔහු ද එම නමින් තමා ඇමතීම පිළිබඳව කැමැත්තක් දක්වා නොමැත.

අසූව දශකයේ මුළු රටක් හෙල්ලූ පාතාල නායකයෙක් වූ කැලණිය ගෝනවල පදිංචි සුනිල් “ගෝනවල සුනිල්” ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ගමේ නම මුල් කරගනිමින්ය.

පසුගියදා කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සමරත්න සංජීව කුමාර “ගණේමුල්ල සංජීව” නමින් ප්‍රසිද්ධියට පත් වූයේ උපන් ගම මුල් කරගනිමින්ය.

දකුණු පාතාලයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකුණ අජිත් වසන්ත නොහොත් “වම්බොට්ටා” 2000 වසරේ සිට 2006 වසර දක්වා සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.

“වම්බොට්ටා” යන නමින් ඔහුව හැඳින්වූයේ සූරියවැව පොළේ වම්බටු විකිණූ නිසාය.

ආනමාලු ඉමිතියාස් මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් 2000 වසරේ සිට විවිධ අපරාධ සිදු කළ පුද්ගලයෙකි. ඔහුගේ සැබෑ නම එම්.කේ. ඉමිතියාස් වුවත් බහුතරයක් දෙනා ඔහුව හැඳින්වූයේ “ආනමාලු ඉමිතියාස්” යන නමින්ය.

එලෙස එම නම පටබැඳී ඇත්තේ කෙසෙල් ව්‍යාපාරයක් සිදුකරගෙන ගිය නිසා බව පැවසුවත් තවත් සමහරු පවසන්නේ ඕනෑම ප්‍රශ්නයකින් ලිස්සා යෑමට ඇති දක්ෂතාවය නිසා ආනමාලු ඉමිතියාස් යන නම ඔහුට පටබැඳුණු බවයි.

“තෙල් බාලා” 1990 දශකයේ මෙරට නම ගිය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවෙකි. කරුපයියා වාප්පුබාලන් නමැති මොහු ගෙයින් ගෙට ගොස් භූමිතෙල් විකිණීම නිසා “තෙල් බාලා” යන නම පටබැඳී තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ද සබඳතා පවත්වා ඇති “තෙල් බාලා” අවසානයේ මෙරට ආරක්ෂක අංශවලින් බේරීම සඳහා හොර රහසේම ඉන්දියාවට පැන ගත්තේය. කලක් ඉන්දියාවේ සිට මෙරට පාතාලය මෙහෙයවූ ඔහු 2017 වසරේදී ඉන්දියාවේදී මරණයට පත් විය.

සින්නයියා ගුණසේකර නොහොත් “කිඹුලාඇලේ ගුණා” ද මෙරට පාතාලයේ ප්‍රබලතම චරිතයකි. කිඹුලාඇල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාතාලයට පිවිසි නිසා ඔහුව “කිඹුලාඇලේ ගුණා” ලෙස හැඳින්වීමට පටන් ගත්තා.

2008 වසරේ ඉන්දියාවට පැන ගොස් එහි සිට මෙරට පාතාලය මෙහෙයවූ ඔහු දැන් සිටින්නේ ඉන්දීය බන්ධනාගාරයක් තුළයි.

කඩුවෙල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පාතාල නායකයකු ලෙස කටයුතු කළ ධම්මික ප්‍රදීප් කුමාර දක්ෂ කරාටේ ක්‍රීඩකයකු වීම නිසා “කරාටේ ධම්මික” නමින් ප්‍රසිද්ධියට පත් විය.

කරාටේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා තිබුණ ඔහුට එක්වර පුද්ගලයින් කිහිපදෙනකුට පහර දීමේ හැකියාව තිබුණි.

“රණාලේ සමයං” හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ මෑත කාලයේ වඩාත් කතාබහට ලක් වූ පාතාල නායකයෙකි.

ඔහුව වෙඩි තබා ඝාතනය කළේ 2017 වසරේ දී කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය.

ඔහුට සමයං යන නම පටබැඳී තිබුණේ තම මිතුරන් සමග එකතුවී සිදුකරන අමුතු අමුතු වැඩ නිසාය.

කොළඹ වරායේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ පියදාස “කියුටෙක්ස් පියදාස ” ලෙස පාතාලය තුළ ප්‍රසිද්ධියට පත් වූයේ කියුටෙක්ස් ගෙන්වීමේ ව්‍යාපාරයක් කළ නිසාය.

කනත්තආරච්චිගේ ප්‍රියරත්න නමැති පාතාල අපරාධකරු “මෝල් පියා” යනුවෙන් හැඳින්වූයේ ඔහු අධික කාමාශාවෙන් පෙළුණු පුද්ගලයෙක් වූ නිසාය.

ජයලත් සිරිසේන “චීනා” යනුවෙන් හැඳින්වූයේ ඔහුගේ ඇස් දෙක චීන ජාතිකයින්ගේ ඇස්වලට සමාන වූ නිසාය. චීනා නමැති මෙම අපරාධකරු සිව්වතාවක්ම බන්ධනාගාරයෙන් පැනගිය පුද්ගලයෙකි.

අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පණ්ඩිතගේ ශාන්ත කුමාර අංගොඩ හන්දියේ කොස් කපමින් සිටි නිසා “කොස් මල්ලී” නමින් ප්‍රසිද්ධියට පත් විය.

අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසන්ත චන්දන පෙරේරා පාතාලය තුළ ප්‍රසිද්ධියට පත් වූයේ “අංගොඩ ලොක්කා” ලෙසින්ය.

ඔහුට එම නම ලැබී ඇත්තේ කුඩා කල නිවැසියන් ඔහුට ලොක්කා යන නමින් ආමන්ත්‍රණය කළ නිසාය.

කංජිපානි ඉම්රාන්, කංජිපාන යන්න දෙමළ භාෂාවෙන් කැඳ හට්ටිය ලෙස පරිවර්තනය වේ. කංජිපානි ඉම්රාන් විසූ මාළිගාවත්තේ ප්‍රදේශවාසියකු පැවසුවේ, ඉම්රාන්ගේ පියා කැඳ විකිණීමේ නිරත වීම ඔහුට එලෙස නමක් පටබැඳීමට හේතු වී ඇති බවයි. ඉතිරි වන කැඳ හට්ටි තම නිවසට ගෙන යෑම ඉම්රාන් විසින් සිදු කළ නිසා ඔහු ප්‍රදේශයේ කංජිපානි ඉම්රාන් ලෙස ප්‍රකට වී තිබේ.

මෑත කාලයේ මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා හැඳින්විය හැකිය. තමන්ට වෙලේ සුදා යන නම ලැබුණේ කෙසේ දැයි ඔහුගෙන් වරක් අධිකරණයේදී ප්‍රශ්න කර තිබිණි. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ කුඩා අවදියේ සිට පවුලේ හිතමිතුරන් තමන්ව සුදා ලෙස හැඳින්වූ බවත් සිය නිවස ආසන්නයේ වෙලක් තිබීම හේතුවෙන් තමන් පසුකාලයේ වෙලේ සුදා බවට පත්වූ බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

ත්‍රිකුණාමලයේ පාතාලය මෙහෙය වූ කපිල හැඳින්වූයේ “බෝම්බ කපිල” ලෙසින්ය. එලෙස එම නම ඔහුට පටබැඳී ඇත්තේ තම ප්‍රතිවාදීන්ට බෝම්බවලින් දමා ගසන නිසාය.

ඔහුගේ ප්‍රතිවාදියා වූයේ “අයිස් මංජු” ය.

ඔහුට එම නම වැටී තිබුණේ මාළු වෙළඳපළක අයිස් කැඩූ නිසාය.

තවත් ප්‍රබල පාතාල සාමාජිකයෙක් වන මීදිගම චින්තක “හරක් කටා” ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ඔහු නිතරම කෑමට දෙයක් හපමින් කට සොලවමින් සිටින නිසාය.

ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර පදිංචි සම්පත් කුමාර කලක් යුද හමුදාවේ සේවය කළ අයෙකි. යුද හමුදාවෙන් පැන ආ පසු ඔහු පාතාලයට සම්බන්ධ විය. එමනිසා ඔහු “ආමි සම්පත්” ලෙස ප්‍රසිද්ධියට පත් විය.

ප්‍රියන්ත කුමාරට “බාල්දි ප්‍රියන්ත” යන නම පටබැඳී ඇත්තේ ඔහු යන යන තැන කුමන හෝ කරදරයක් ඇති කර ගන්නා නිසාය.

තවත් සමහර පාතාල නායකයින් තමන්ගේ මුල් නමින් ද පෙනී සිට තිබේ.

ඕල්කට් පෙරේරා, ධම්මික අමරසිංහ, චින්තක අමරසිංහ ඉන් කිහිප දෙනෙකි.

ගයාන් සමරසිංහ
[email protected]


advertistmentadvertistment