අගමැතිනි හරිනි අමරසූරිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගත යුත්තේ පෙර පාසල් පද්ධතියේ සිටයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
රජය බලාපොරොත්තු වන වෙනස ඇති කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට අගමැතිනි හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අමරසූරිය මෙසේ ද පැවැසුවාය.
අගමැතිනි හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය.
අය-වැයෙන් ඉදිරි මාස 8 සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 619 ක් වෙන් කර තිබෙනවා. එහි ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 21 ක් ඇතුළත්. මෑත ඉතිහාසය තුළ වෙන් කර ඇති වැඩිම මුදලයි මේ.
අපි අධ්‍යාපනය සඳහා පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනය හරියට හදා ගන්නේ නැතිව බලාපොරොත්තු වන පරිවර්තනය අපිට සිදුකර ගන්න බෑ. අධ්‍යාපන පරිවර්තනය හරහාම පමණයි අපි බලාපොරොත්තු වන සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කරන්න හැකි වන්නේ. අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අපි කරුණු 5 කින් මැදිහත් වෙනවා. විෂය නිර්දේශය පළමුවැන්නයි. යාවත්කාලීන කිරීම පමණක් නොවෙයි, පරිවර්තනය කිරීමට අවශ්‍ය මානව සම්පත එකතු කිරීමේ දිශාවට ගේනවා යැයි අලුත් විෂය මාලාවක් අපි යෝජනා කර තියෙනවා. ඒ සඳහා මිලියන 250ක් අමාත්‍යාංශයට වෙන් වී තිබෙනවා. තවත් මුදල් බාහිරව ලැබෙනවා. මීට පෙරත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී තිබුණත් ඒවා කිසිවක් හරියට ක්‍රියාත්මක වී නෑ. ඊට හේතුව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට විෂය වෙනස් කිරීම නොවෙයි. මීට සම්බන්ධ තව කොටස් තිබෙනවා.
දැනට සිටින ගුරුවරුන්ට අමතරව විද්‍යාපීඨවල සිටින ගුරුවරුන් වෙන්න පුහුණුව ලබන අය ගැනත් අවධානය යොමු කර තිබෙනවා. පාසල්වල වැඩ අවනස් නොවූ ව්‍යාපෘති අවසන් කරන්න මිලියන 11,000ක් වෙන් කර තිබෙනවා. සමහර පාසල්වල සනීපාරක්ෂක පහසුකම් නෑ. පානීය ජල පහසුකම් නෑ. මේ වසරේවත් අපි දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කිරීමට පියවර ගත යුතුයි. ඒ පහසුකම් නැති පාසල් ලෙස නොපැවතිය යුතුයි. වතු ක්‍ෂේත්‍රයේ පාසල්වලටත් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා මධ්‍යම ආණ්ඩුවට අමතරව පළාත් සභා හරහා රුපියල් මිලියන 14,896ක් වෙන් කර තිබෙනවා.
අධ්‍යාපනය පරිවර්තනයට සමාජයට සූදානම් විය යුතුයි. ඒ සඳහා සමාජ කථිකාවතක් අවශ්‍යයි. එය අපේ සැලසුම් තුළ තිබෙනවා.
විශ්වවිද්‍යාල ගොඩනැඟිලි විතරක් හැදිලා වැඩක් නෑ. ගුණාත්මක තත්ත්වය වැඩි කිරීමට අපි සැලසුම් කර තියෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ පහසුකම් ඇරඹීමට මුදල් වෙන් කර තියෙනවා.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
පවතින අධ්‍යාපන ක්‍රමය වෙනසකට ලක්විය යුතු බව අපි හැමෝම පිළිගන්නවා. අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ගෝලීය පුරවැසියා නිර්මාණය වෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුමට අනුව සැපයුම් නිර්මාණය වන ක්‍රමයක් අවශ්‍ය බව අපි හැමෝම
පිළිගන්නවා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් මේ ක්‍රමවේදය වෙනසට යා යුතුයි.
දරුවකුගේ මොළයේ වර්ධනයේ සියයට 70ක් සිදු වන්නේ ඉපදුණු මොහොතේ සිට අවුරුදු 5 දක්වා මුල් ළමා විය අධ්‍යාපනය වයස අවුරුදු 3ත් 5ත් අතරයි. එය අවිධිමත්වයි වන්නේ. අපේ රටේ තියෙන්නේ අවිධිමත් පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගත යුත්තේ පෙර පාසල් පද්දතියේ සිට. ඒ වෙනස්කම් ටික සිදුවිය යුතුයි.
අධ්‍යාපනයේ පැහැදිලි පිබිදීමක් තියෙනවා. එය නිදහස් අධ්‍යාපනය තුළත් සමස්ත අධ්‍යාපනය තුළත් තිබෙනවා. ඇති හැකි අධ්‍යාපනය හා නැති බැරි අධ්‍යාපනය කියා තියෙනවා. මෙහෙම වෙන්න බෑ. නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීමට මුදල්, මානව සම්පත, භෞතික සම්පත් ලබාදීම සිදුවිය යුතුයි.
එදා මැතිවරණ වේදිකාවේදී අධ්‍යාපන උපකරණවලට වැට් බද්ද ඉවත් කරනවා කිව්වා. ඒ දේ අද ඉටු කළේ නෑ. වේදිකාවේ කියූ දෙයක් අද කරන එකේ අතර බරපතළ විෂමතාවක් තියෙනවා. පාසල් පද්ධතිය
ගොඩනඟන්න රජයෙන් වෙන් කරන මුදල කිසිසේත් ප්‍රමාණවත් නෑ. අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් ආරම්භ කරලා ක්ෂේත්‍රයේ ධනවතුන් සම්බන්ධ කරගෙන අය-වැයෙන් වෙන්වන මුදල්වලට අමතරව උපකාර ලබා ගන්න. එවැනි වැඩපිළිවෙළක් අවශ්‍යයි. පොරොන්දු වූ ආකාරයට උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවාද?
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (න.ප්‍ර.ජා.පෙ.)
අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි. කළුතර දිස්ත්‍රික්කයේ බිහිවූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපනය වෙනුවෙන් යුග මෙහෙවරක් කළා. එසේ කරලා ඊළඟ ඡන්දයට මුහුණ දුන්නා. මතුගම ජනතාව නිදහස් අධ්‍යාපනයේ පියාව ගෙදර යැව්වා. මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට එහි වගකීමෙන් කරන්න වෙනවා. සමහර පාසල්වලට ජාතික පාසල් යන නම භාවිතා කරන්න එපා කියලා කලාප කාර්යාලවලින් දැනුම් දීලා. නමුත් තව පාසල් ජාතික පාසල් ලෙස තියෙනවා. මේ පාසල්වලට හරි නිර්ණායකයක් දෙන්න.
පත් කළ මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා (ජා.ජ.බ.)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන අවස්ථාවක විශේෂ අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ කණ්ඩායම් ඇතුළත් කරගන්න. මේ විශේෂ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න එවැනි ගුරුවරු ඔවුන්ගේ හිඟයක් තියෙනවා. විශේෂ අධ්‍යාපනය සඳහා විද්‍යාපීඨවලට මෙවර 15 යි බඳවාගෙන තියෙන්නේ. කවුද මේ තීරණය ගත්තේ. මෙහෙම වුණොත් විශේෂ අධ්‍යාපනය කඩාවැටෙනවා. ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටෙනවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (ස.ජ.බ.)
පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය දරුවකුගේ අධ්‍යාපනයට වැදගත්. මේ සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුයි. පෙර පාසල් කිසිම ප්‍රමිතියක් නෑ. තමන්ට ඕනෑ විදිහට ක්‍රියාත්මක වෙනවා. පෙර පාසල් ගැන දැනුමක් නැති අය පෙර පාසල් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි උගන්වන ගුරුවරුන්ගේ ප්‍රමිතිය ගැන අද අඩුවෙන් කතා කරන්නේ.
පහේ ශිෂ්‍යත්වය ගැනයි ප්‍රාථමික අධ්‍යාපනයේදී හැමෝම අවධානය යොමු කරන්නේ. කුඩා වයසේදී දරුවන් ලොකු පීඩනයකට ලක් වෙනවා. ශිෂ්‍යත්ව
විභාගයේ වෙනසක් සිදු කරන බව කිව්වත් එහි ස්ථාවරය රටට හෙළි කරන්න. දරුවන්ගේ කාලය දරුවන් හැටියට ගත කළ හැකි ආකාරයට අධ්‍යාපනය සකස්විය යුතුයි.
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිනී කවිරත්න (ස.ජ.බ.)
උතුරු නැඟෙනහිර සිංහල මාධ්‍ය ගුරුවරු සම්මුඛ පරීක්‍ෂණ තියෙනවා. ඒ පත්වීම් දීලා විප්ලවය පටන් ගමු. මධ්‍යම පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් දෙන තෙක් බලා සිටිනවා. ඒවා ලබාදී විප්ලවය පටන් ගමු.
එදා විපක්‍ෂයේදී හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය අධ්‍යාපනයේ දැකපු වෙනස අද දකින්නේ නෑ. එදා ගහපු චක්‍රලේඛ වෙනස් වී නෑ.
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනා හැම වෙලාවේම දේශපාලනය මැද්දට පැන්නා. නැත්නම් දේශපාලනය ඉදිරියේ හිටිය ශිෂ්‍ය ව්‍යාපාර මැද්දට පැන්නා. ඒවා කඩාකප්පල් කළා. ඒවා ගිනි තියපු එකේ ප්‍රතිවිපාක අපි අද භුක්ති විඳිනවා.
නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමයේ ලංකාවේ තිබෙන ලොකුම මානව ප්‍රාග්ධනය දියුණු කිරීම සිදු කරනවා. ශ්‍රම හමුදාවක් ලංකාවෙන් ජාත්‍යන්තරයට දීමට හැකිවන පරිදි හදනවා.
ඒ වගේම පුරවැසි වගකීම ඇති දරුවකු රටට අවශ්‍යයි. මුල් ළමා විය සිටම එය ආරම්භ කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගන්නවා.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා (ස.ජ.බ.)
නිදහස් අධ්‍යාපනයෙන් සිහංල, දෙමළ, මුස්ලිම් හැම දරුවාටම තමන්ගේ අධ්‍යාපනය පුද්ගලිකව මුදල් ගෙවීමකින් තොරව තහවුරු කර තිබෙනවා.
ජාත්‍යන්තර භාෂාවට ව්‍යවස්ථාවෙන් පිළිගැනීමක් දී තිබෙනවා. අපි නිර්භීතව ද්විතීක පාසල් සියල්ලටම ඉංග්‍රීසි මාධ්‍ය ආරම්භ කළ යුතුයි. සැලකිය යුතු ගුරු පිරිසක් ඉන්නවා. මේ පිරිස යොදවා 6 පන්තියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම අරඹන්න. අභියෝගයන් භාර ගෙන මේ කාර්ය ඉටු කරමු. විපක්‍ෂයේ සහාය ලබා දෙන්නම්.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන