කළමනාකරුගේ සහ කතුන්ගේ ලක්‍ෂ 10ක රන් සහ මුදල් පැහැරගෙන
‘මන්නා පිහි‘, ‘කිනිසි‘ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් සිවුදෙනකු එහි කළමනාකාරවරයාගේ බෙල්ලට මන්නා පිහියක් තබා බියගන්වා, එම ආයතනයේ ලාච්චුවේ තිබූ සහ සම්බාහන සේවයේ යෙදී සිටි කතුන් 4ක් සතුව තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ.
එහි මුදල් අයකැමි ලෙස සේවය කළ, ඇටවීරගොල්ලෑව, ඇතාකඩ, මැදවච්චිය ලිපිනයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
අනුරාධපුර දහයියාගම හන්දියේ සිට පුබුදුපුර මාර්ගයේ පිහිටා ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඉකුත්දා (01 දා) අලුයම මන්නා පිහි, කිනිසි අතැතිව ඇතුළු වී ඇති පුද්ගලයන් සිවුදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර තිබේ. මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වූ කොල්ලකරුවන් සිව්දෙනා, මුදල් අයකැමිගේ ලාච්චුවේ තිබූ සහ කාන්තාවන් සිව්දෙනකුගේ, මුදල් රුපියල් 577,000ක්, රුපියල් 350,000ක් වටිනා රන්මාල දෙකක්, රන් පවුමක් සහ රන් මුදුවක් කොල්ලකා පලාගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ