පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය සේවකයෝ 3000ක් පඩි නැතිව අමාරුවේ

68

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයෝ තුන්දහසක් පමණ දිනෙන් දින මැතිවරණය කල්යෑම හේතුවෙන් වැටුප් අහිමිව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.

මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් අගතියට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කර සහ ගාමිණී වලේබොඩ මහත්වරුන් ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දී ඇත.

ඉකුත් මාර්තු මස 09 වැනිදා නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සහ අප්‍රේල් 25දා මැතිවරණය පැවැත්වීමද අවිනිශ්චිත වීම හේතුවෙන් මෙම රාජ්‍ය සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බැවින් ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් සඳහන් කර ඇත්තේ ඉකුත් මාර්තු 09 දා සිට පළාත් පාලන ඡන්දය ප්‍රමාද වන කාලය තුළ මෙම රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවට මැතිවරණ කොමිසම නිර්දේශ කර ඇති බවය.

එම නිර්දේශය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනටමත් දැනුම් දී ඇතැයිද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
සමන් ගමගේ


advertistmentadvertistment