ප්‍රධාන පක්‍ෂ නායකයෝ නිල සාකච්ඡා අරඹති
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නව සන්ධානයක් ගොඩනැඟීමට මේ වනවිට බිම් මට්ටමින් සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවැසීය.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එකතුවීමට දෙපාර්ශවයෙන්ම එකඟතාවට පැමිණ ඇති බවත් එය ආදර්ශයට ගෙන විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල එකඟතාව මත නව සන්ධානයක් තුළින් ආණ්ඩුවට අභියෝග කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් ලෙස පළාත් පාලන ආයතන බහුතරයක් දිනාගැනීම මෙහි අරමුණ බවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට ආණ්ඩුවට අභියෝගයක් වෙමින් සමුපකාර ඡන්දවලදී මාලිමාව පැරදවීමට විපක්ෂයේ සියලුදෙනා එකතු වී තිබෙන බවත් ඒ ආකාරයට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි බවට පක්ෂ රැසක ක්‍රියාකාරීන් ඉහළ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේ සන්ධානයක් හරහා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේදී දැනට බහුතරයක් සිටින සමගි ජන බලවේගයට අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහක් ද අනිකුත් පක්ෂ සියල්ලටම සියයට 60ක් ද බෙදී යන ආකාරයට කටයුතු කිරීමට යෝජනා කර ඇති බවත් මේ පිළිබඳව ප්‍රධාන පක්ෂවල නායකයන් අතර නිල වශයෙන් සාකච්ඡා සිදුකර නොමැති බව ද හෙතෙම කීය. එමෙන්ම අනෙකුත් කටයුතුවලදීත් 40%ක කොටස් සජබයට දී අනිකුත් සියලුම පක්ෂ වෙත 60%ක කොටසක් වෙන් කිරීමට ද නියමිතය.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් අතර හමුවක් පසුගියදා කොළඹදී පවත්වා ඇති අතර ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත් මද්දුම බණ්ඩාර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මෛත්‍රිපාල සිරිසේන, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, විජයදාස රාජපක්ෂ, මනෝගනේෂන්, ලසන්ත අලගියවන්න, දිලිත් ජයවීර, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු විපක්ෂයේ හිටපු ප්‍රබල මැති ඇමැතිවරුන් රැසක් සහභාගි වී ඇත. එහිදී ඉදිරියේදී ගතයුතු දේශපාලන තීන්දු තීරණ පිළිබඳව සාකච්චා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අරුණ බෝගහවත්ත