ආර්ථික ගැටලු‍වට පාම් තෙල් කර්මාන්තයෙන් විසඳුම්

102

ආර්ථිකය හරි පාරට අවතීර්ණ කරගැනීමට ආනයන වියදම් අඩු කර අපනයන ආදායම ඉහළ දැමීම අත්‍යාවශ කරුණකි.පාම් තෙල් කර්මාන්තයෙන් මේ සඳහා තිරසර විසඳුම් ඇති බව ගෝලීය උදාහරණ ඇසුරින් තහවුරු කළ හැකි බව ඔයිල් පාම් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි. ඒ සඳහා කරුණු කීපයක් මත අදහස් ඉදිරි පත් කරයි.

ආහාර සඳහා භාවිතා කරන පාම් තෙල් සහ පොල් තෙල් ආනයනය සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 60කට ආසන්න මුදල අවමකර ගැනීම. ලොව දිනෙන් දින ඉහළ යමින් පවතික පාම් තෙල් වෙළෙඳපොළට ප්‍රවේශවීමෙන් නව අපනයන ආදායමක් ඉපයීම සඳහා ප්‍රවේශවීම. පාම් තෙල් ආශ්‍රිතව සිදුකරන මාගරින් ,ඇතුළු අනෙකුත් නිෂ්පාදන මඟින් දේශීව වෙළෙඳපොළ සංතෘප්ත කිරීම. දැනට නිසි ප්‍රයෝජනයක් නොලබා පවතින අක්කර 10000කින් පමණ නිසි ඵලදායි තාවක් ලබා ගැනීම. ඒ මඟික් කුඩා වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම යන කරුණු මත එම අදහස් ඉදිරිපත් කෙරේ.

ලොව ආහාරයක් ලෙස පරිභෝජනය කරන ශාකමය තෙල් අතරින් ප්‍රමුඛතම තෙල් වර්ගය පාම් තෙල්ය. එසේම පාම් ඔයිල් යනු ලොව වඩාත්ම තිරසර සහ, ආර්ථික වශයෙන් ඵලදායී වගාවන්ගෙන් එකකි. ලොව එළවළු තෙල් ලෙස සැලකෙන වගා බිම්වලින් ඔයිල් පාම් වගාව සඳහා යොදාගැනෙන්නේ 5%ක් පමණකි. මෙම 5% බිම් ප්‍රමාණයෙන් ලොව එළවළු තෙල් සැපයුමෙන් 38% ක්ම පාම් ඔයිල් සපුරයි. මෙසේ අඩු වගාබිම් ප්‍රමාණයකින් වැඩි තෙල් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ රහස නම් අනෙකුත් තෙල් භෝග වගාබිම් හෙක්ටයාරයකින් ලබන අස්වැන්නට සාපේක්ෂව පාම් ඔයිල් හෙක්ටයාරයක වගාබිමකින් 10 ගුණයක් වැඩියෙන් අස්වැන්න ලබා දීමයි.

මේ ආකාරයෙන් පාම් තෙල් ප්‍රධාන වශයෙන් අංශ දෙකකින් ආර්ථිකයට ශක්තියක් කරගත හැකියි. එක් අතකින් එය ආහාරයට ගත හැකි තෙල් වර්ග ආනයනය කිරීමේ අවශ්‍යතාව අවම කරන අතර, ඉන් ජාතික ආර්ථිකයට විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. එමෙන්ම ගෝලීය ඉල්ලු‍ම දිනෙන් දින ඉහළ යමින් පවතින කර්මාන්තයක් බිහිවීම හේතුවෙන් ආර්ථික වපසරිය පුළුල් වෙයි. පාම් තෙල් කර්මාන්තයේ මෙතෙක් භාවිතයට නොගත් ප්‍රයෝජන බොහෝ වෙයි. ශ්‍රී ලංකාවට අනාගතයේදී පාම් තෙල් අපනයනය කරන රටක් බවට පත්වීමට ඇති හැකියාව ඉන් පළමුවැන්නයි. දෙවැන්න පාම් කර්මාන්තය අනෙකුත් භෝග

වගාවන්ට සාපේක්ෂව ඉහළ ආදායමක් ලබා දීම හේතුවෙන් අත්වන ආර්ථික වාසි වෙයි. ඒ වාසිය පාම් වගාකරන කුඩා වතුහිමියාට මෙන්ම වැඩකරන සේවකයන් වෙතත් ලඟා වෙයි.

මේ ආකාරයෙන් ඉහළ ආදායමක් ලැබීම හේතුවෙන් ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් ඉවක් බවක් නැතිව නිවර්තන වැසි වනාන්තර එළි කරමින් වගාබිම් ව්‍යාප්ත කළ අතර, ඒ හේතුවෙන් පාරිසරික ගැටලු‍ සේම සමාජ ආර්ථික ගැටලු‍ ද ඇතිවිය. නමුත් ඔවුන් ඒ ගැටලු‍ව සඳහා පිළිතුරු සොයාගෙන ඇත්තේ තිරසර නිෂ්පාදන ක්‍රියාවලියකට කඩිනමින් පිවිසීමෙනි. සුවිශේෂීම කරුණ නම් වසර 100කටත් වැඩි දිගු කලක් තිස්සේ එම රටවල්වල ඔයිල් පාම් වගා කොට තිබුණත් එම රටවල්වල වර්ෂාපතනය හිඟ වීමක් හෝ වියළි පාරිසරික තත්ත්වයක් ඇතිවීමක් පිළිබඳව වාර්තා නොවීමයි.

මැලේසියාවේ හෙක්ටයාර 6,000,000ක ඔයිල් පාම් වගා කෙරෙන අතර, ඒ අතරින් 40%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ සුළු පරිමාණ වගාකරුවන් විසිනි. මේ ආකාරයට පාම් ඔයිල් වගා කිරීමෙන් මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල ග්‍රාමීය ආර්ථිකයන් තුළ විශාල පිබිදීමක් ඇතිවී තිබේ. එය මිලියන ගණනක ජනතාවකට දරිද්‍රතාවෙන් මිදී සෞභාග්‍යමත් අනාගතයක් වෙත පියනැඟීමට උපකාරී වී තිබේ.

ගැටලු‍ අවම කරමින් එම රටවල් මේ වන විට තිසරස සංවර්ධන ඉලක්ක ළඟා කර ගනිමින් පවතින අතර, ලොව ප්‍රමුඛතම එළවළු තෙල් සපයන්නන් බවට පත් වී සිටී. මේ රටවල්වල විදෙස් විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගය පාම් ඔයිල් කර්මාන්තයයි.

ලොව ප්‍රමුඛතම පාම් තෙල් ආනයනකරු ඉන්දියාවයි. 2021දී ඒ සඳහා වැය කළ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 8.72කි. එම ආනයන වියදම නවතා රටට විදෙස් විනිමය ඉපයිය හැකි ක්‍රමයක් පිළිබඳව නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගත්තේය.

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාකොට ඇත්තේ කිසිදු ආකාරයකට වනාන්තර එළි කිරීමකින් තොරවයි. දැනට වගාකොට ඇති හෙක්ටයාර 11132ක භූමි ප්‍රමාණය කල් ඉකුත්වූ ආදායම් නොලැබෙන රබර් වගා කළ බිම් වීම විශේෂත්වයයි. නිවර්තන කලාපයේ දැඩි හිරුඑළිය මෙන්ම අධික වැසි ඇති ප්‍ර‍දේශවල හොඳින් වැවෙන ඔයිල් පාම් ඉහළ අස්වැන්නක් ලබා දෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක (24-32ක්‍)ක් සහිත වර්ෂාපතනය මිලිමීටර් 2500ක් සහිත ප්‍රදේශවලයි. මේ සඳහා සුදුසු දේශගුණික සාධකයන් පිළිබඳව Plantation Management Monitoring Division-PMDD) හා දැනට පවතින නීති අනුව ඔයිල් පාම් වගා කළ හැකි ඉඩම් ලෙස හෙක්ටයාර 20,000ක් හඳුනාගෙන පැවතිණි. එනම් රටේ කෘෂිකාර්මික කටයුතුවලට භාවිත කරන ඉඩම්වලින් 3%ක් දක්වා පමණි. ජාතික අවශ්‍යතාව හා උපයෝගීතාව සලකා රජය දැනට වගාකොට ඇති භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 11132ක භූමි ප්‍රමාණය හෙක්ටයාර 20000 දක්වා වැඩි කිරීම සඳහා 2016දී අවසර දෙන ලද්දේ පොල් පර්යේෂණ ආයතනයේ මෙන්ම පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය හා අධීක්ෂණය යටතේයි. එහිදී මූලික අපේක්ෂාව වූයේ වාර්ෂිකව ආනයනය කරන එළවළු තෙල් ප්‍රමාණය අවම කිරීම මෙන්ම නව කර්මාන්තයක් ලෙස පාම් ඔයිල් ස්ථාපිත කිරීමත් කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්කවල ආදායම් නොලබන රබර් ඉඩම් වගාව සඳහා හඳුන්වා දීමත්ය. ඒ අනුව නව වගාවන් සඳහා අවැසි බීජ ගෙන්වා තවාන් සැකසීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතරවාරයේ 2021දී රජය විසින් ඔයිල් පාම් ව්‍යාප්තිය නැවතීමට මෙන්ම වගා බිම් ක්‍රමයෙන් අඩු කිරීම සඳහා සීමාවන් පැනවිය.

මෙරට වාර්ෂික පොල්තෙල් නිෂ්පාදනය ගෙඩි ඵලදාව අනුව වෙනස් වන අතර එය මෙටි්‍රික් ටොන් 35000 ක් යැයි අනුමාන කෙරේ. ඒ අතරින් 30%ක ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. මෙරට වාර්ෂික පාම් තෙල් මෙටි්‍රක් ටොන් නිෂ්පාදනය 27000කි. එසේ තිබියදී වසරකට එළවළු තෙල් 180,000 – 220,000 ප්‍රමාණයක් වාර්ෂිකව ආනයනය කරයි. මීට අමතරව පරිභෝජන අවශ්‍යතා මෙන්ම මිල පාලන අපේක්ෂාවෙන් පොල් තෙල් ද මෙට්‍රික් ටොන් 190,000 පමණ ආනයනය කරයි. මෙසේ වාර්ෂිකව ආනයනය සඳහා විශාල මුදලක් වැය කරන අතරම පසුගිය කෝප් කමිටුවේදී හෙළි වූ අන්දමට ගෙන්වා ඇති පොල් තෙල්වල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳවත් ගැටලු‍ පැනනැඟී තිබේ.

ඔයිල් පාම් වගාව දැඩිව සීමා කිරීමට නීති සම්පාදිත එකම රට ශ්‍රී ලංකාවයි.ඔයිල් පාම් කර්මාන්තයෙන් දියුණු කළ හැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉහළින්ම පසුවන්ටන් ඒ සඳහා සුදුසු පාරිසරික තත්ත්වයන් ඇති නිසායි.

advertistmentadvertistment
advertistmentadvertistment