මොනරාගල මඟුල් ගෙදරක යද්දී සිමෙන්ති ලොරිය මෝටර් රථයේ ගැටී කොස්තාපල් මරුට

409

බිරිඳ සහ ඥාතීන් දෙදෙනාටත් බරපතළයි

මොනරාගල පොතුවිල් මාර්ගයේ කිවුලේයාය පාසල අසලදී ඊයේ (26 දා) සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුද්ධම, කිරවනාපෙරලිය පදිංචි (පො.කො. 94832) කේ. එම්. රසික ලක්මාල් ධර්මප්‍රිය (29) නමැති සූරියවැව ප්‍රදේශයේ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

හෙතෙම සිය මෝටර් රථයෙන් මොනරාගල පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගී වීම සඳහා තම බිරිඳ සහ ඥාතීන් දෙදෙනකු සමඟ මඩුගම සිට මොනරාගලට යමින් සිටියදී අම්පාර දෙසට ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පටවාගත් ලොරි රථයක් මෝටර් රථයේ ගැටී ඇත.

මෝටර් රථය පැදවූ කොස්තාපල්වරයා සහ එහි සිටි ඔහුගේ බිරිඳ සහ ඥාතීන් දෙදෙනකු තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් කොස්තාපල්වරයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

තුවාලකරුවන් ගෙන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත. ලොරියේ රියදුරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment