හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා නවුෂාඩ් එස්.ටී.එෆ්. දැලේ

458

ටී 56 ගිනි අවි, පිස්තෝල හා ජීව උණ්ඩ තොගයක් අල්ලයි

මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධවල නිරතවෙමින් මීගමුව, කටුනායක ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත් කරගෙන සිටින හීනටියන මහේෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු බව කියන ‘නවුෂාඩ්’ නමැත්තා අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය, ඝාතන සඳහා යොදාගත් ටී. 56 අවි, පිස්තෝල ඇතුළු ආයුධ සොයාගෙන ඇත.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් අවි ආයුධ අතර ටී 56 අවියක්, ඊට යොදන මැගසින් 3 ක්, ජීව උණ්ඩ 87 ක්, මිලිමීටර් 8 වර්ගයේ පිස්තෝලයක්, තවත් පිස්තෝලයක්, පතරොම් තුවක්කුවලට යොදන උණ්ඩ 5 ක් ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව එහි කඳවුර භාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එම්. එන්. කේ. මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකදී මෙම පාතාල සාමාජිකයා සහ අවි ආයුධ සොයා ගැනීමට හැකිවිය.

නවුෂාඩ් නමැති 25 හැවිරිදි පාතාල සාමාජිකයා හීනටියන මහේෂ්ගේ අවි ආයුධ භාරව කටයුතු කරන ප්‍රධානියා බව විමර්ශනවලින් හෙළිවී ඇත. මහේෂ්ගේ නියෝග මත මිනිස් ඝාතන සඳහා ටී 56 අවි ඇතුළු විවිධ අවි ආයුධ සපයා ඇත්තේ මෙම සාමාජිකයා විසින් බව හෙළිවී ඇත.

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට කඩාවැදී එහි සිටි පියකු සහ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගෙන ඇත්තේ මෙම ටී 56 අවිය බවට සැක කරයි. එම ත්‍රිිත්ව ඝාතනය සිදුකර ඇත්තේ ද හීනටියන මහේෂ්ගේ නියෝග මත බව ද හෙළි විය.

හීනටියන මහේෂ් මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධ මෙහෙයවයි. මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, දිවුලපිටිය, සීදුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ට සහ ධනවත් පුද්ගලයන්ට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් කෝටි ගණනින් ලබාගන්නා බවට හීනටියන මහේෂ්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ආර්. සේනාධීර, සහකාර පොලිස් අධිකාරී වත්තේගෙදර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ, ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී එම්. එම්. එන්. කේ. මාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු, ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment