විශ්වමඩු ව්‍යාජ සමෘද්ධි නිලධාරීන් පිරිසක් 80000ක අස්වැසුමක් පෙන්වා තිස්දහස බැගින් ගරලා

273

රුපියල් අසූ දහසක අස්වැසුම ආධාර ලබාදීම සඳහා මූලික ගෙවීමක් වශයෙන් රුපියල් තිස් දාහක් ගෙවන ලෙස ඉල්ලමින් සමෘද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටි ව්‍යාජ කණ්ඩායමක් මුලතිව් විශ්වමඩු නැගෙනහිර ප්‍රදේශයේ වැසියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කොට තිබේ.

සමෘද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටි මේ පිරිස පවසා ඇත්තේ අස්වැසුම සහනාධාර යටතේ රුපියල් 80000 ක මුදලක් ගිණුම් වල තැන්පත් කොට ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 30000 ක මුදලක් ගෙවිය යුතු බවයි.

එසේ ගෙවනු ලබන රුපියල් 30000 ක මුදල රුපියල් 80000 ක මුදල ලබා ගැනීමෙන් පසුව ගිණුම් හිමියන්ට ඊළග මාසයේදී ලබා ගත හැකි බවත් මේ පිරිස පවසා තිබේ.

මේ දිනවල සමෘද්ධි නිලධාරීන් ඉතාම කාර්ය බහුල බැවින් ජනතාවට මුදල් ලබා දීම සඳහා පත් කොට සිටින්නේ මේ පිරිස බවත් ඔවුන් මුලතිව් විශ්වමඩු පළාතේ ජනතාවට පවසා ඇත.

මුදල් රුපියල් 30000 ක් තිබූ අය එම මුදලම මේ ව්‍යාජ පිරිසට ගෙවා ඇති අතර මුදල් නොමැති අය රුපියල් 3000, 5000 හා 10000 බැගින්ද ලබා දී තිබේ.

බැංකුවට ගොස් මුදල් ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ගිණුම් වල මුදල් නොමැති නිසා ජනතාව සමෘද්ධි නිලධාරීන් හමුවී ඒ ගැන විමසූ විට එම නිලධාරියා ප්‍රකාශ කොට ඇත්තේ එසේ මුදලක් මෙතෙක් බැංකුවලට දමා නොමැති බවත් එවැනි නිලධාරීන් පිරිසක් පත්කොට නොමැති බවත්ය.

මේ ගැන සොයා බලා ජනතාව රවටා මුදල් එකතු කළ පිරිස අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසියට දැනුම් දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment