කෘෂි උපකරණවලට මුවාවී තහනම් පළිබෝධක නාශක අලෙවි කළ අයෙක් දොඩංගොඩදී දැලේ

32

තහනම් රසායනික ද්‍රව්‍යයක් අඩංගු පළිබෝධක නාශක තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු බව සඳහන් වේ.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 400 ක් සොයාගෙන ලොරි රථයද පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පළිබෝධක නාශක නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වා ඇති බවද පොලිසිය සඳහන් කරයි. මුඛ ආවරණ, මේස් ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් තහනම් පළිබෝධක නාශක මොවුන් අලෙවි කර තිබූ බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සනත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක කේ. කේ. දයාසේන, පො.සැ. වරුන් වන සරත් (49251), ජයලත් (69933), පො.කො. වරුන් වන රණසිංහ (33880), නවගමුව (24040), කේතීස්වරන් (105093) සහ පො.කො.රි. තිලීපන් (80998) යන නිලධාරීන් වැටලීමට එක්වූහ .

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment