ආරාධිත පාපන්දු ශූරතාවලිය අද ඇරැඹේ…

123

* ‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා කුසලාන’

* ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන  පළමු සිව්කොන් තරගාවලිය

‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා කුසලාන’ සිව් කොන් ජාත්‍යන්තර ආරාධිත පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් අද (08දා) පස්වරු 04.00 ට කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුර`ග තරග පිටියේදී බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය පැවැත්වේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීම අනුව 187 වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ 199 ස්ථානයේ පසුවන අප‍්‍රිකානු මහද්වීපයට අයත් සීෂෙල්ස් අතර ආරම්භක තරගය තියුණු මුහුණුවරක් උසුලනු ඇතැයි අනුමාන කෙරේ.

ඉතිහාසයේ පළමු වතාවට මෙරට දී සංවිධානය කර ඇති සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙය වන අතර එහිදී බංග්ලාදේශය, සීෂෙල්ස්, මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව තරග වදී.

ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කර ඇති මෙම තරගාවලිය තුළින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කර තිබීම කැපී පෙනේ.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ විධිමත් අවසරයකින් යුතුව ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය කරන දක්ෂතා ලෝක ශ්‍රේණිගත කිරීමට ඉවහල් කර ගැනීම ද විශේෂත්වයකි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 204 ස්ථානයේ පසුවන ශ‍්‍රී ලංකා පිලට පියවර කිහිපයක් ඉදිරියට යෑමේ හැකියාව මෙම තරගාවලිය තුළින් උදා වුණු නොඅනුමානය. විශේෂයෙන්ම තමන්ට හුරුපුරුදු දේශගුණික තත්ත්වයක සිට තම උපරිම දක්ෂතා සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පිල වෙතින් මෙරටදී අපේක්ෂා කෙරේ.

පසුගිය දකුණු කොරියානු තරග සංචාරයේදී සහ මාලදිවයින තරග සංචාරයේදී ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් වෙතින් දක්නට ලැබුණු දක්ෂතා මෙම තරගාවලිය තුළදී සාර්ථකත්වයට පත් කර ගනු ඇතැයිද අනුමාන කෙරේ.

ඒ අනුව යමින් අද රාත‍්‍රී 09.00 ට ආරම්භ වන මාලදිවයිනට එරෙහිව තරගයට සත්කාරක දේශය ලෙස ශ‍්‍රී ලංකාව එක් වෙයි.

ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව 156 වෙනි ස්ථානයේ පසුව මාලදිවයින ද තම උපරිමය ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කරනු ඇතැයි පාපන්දු විචාරකයන්ගේ මතය වී තිබේ. එහෙත් ප‍්‍රතිවාදී මාලදිවයිනෙන් එල්ල වන අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ශ‍්‍රී ලංකා කඳවුර දෙසින් පෙනෙන්නට තිබේ. මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව පසුගිය සාෆ් තරගාවලියේදී එකිනෙකාට එරෙහිව මුණ ගැසුණු අතර එහිදී ජයග‍්‍රහණයේ පහස ලබා ගැනීමට මාලදිවයිනට හැකි විය. එහිදී ලත් පරාජයේ වාඩුව ගැනීමේ අවස්ථාව උදාකර ගැනීමට ලාංකේය ක‍්‍රීඩකයෝ අද (08දා* දිනයේ දී බලාපොරොත්තු පොදිබැඳන් පිටියට පිවිසීමට නියමිතය.

මාලදිවයින ජනාධිපති ඒබ‍්‍රහිම් මොහොමඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන ඇති මෙම තරගය සඳහා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එක්වෙයි.

මෙම තරගාවලියේදී දෙවන දින තරග 11 දින ද තෙවන දින තරග 14 දින ද ක‍්‍රියාත්මක වන අතර තීරණාත්මක අවසාන මහා තරගය 19 වැනි දින පස්වරු 07.00 ට පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment