මුහුණු පොතේ දැන්වීමක් දමා ළමා නිවාසයේ දරුවන් පෙන්වා මුදල් ගරන්න හදලා

475

* බැංකු ගිණුම් හා දුරකථන අංක ඔස්සේ පුළුල් පරීක්ෂණයක්

දෙලොවටම යහපතක් කරගන්න යැයි පවසමින් මිනුවන්ගොඩ වන්කැපුමුල්ල ප‍්‍රදේශයේ ඇති ළමා නිවාසයකට ආධාර කරන ලෙසට මුහුණු පොතේ දැන්වීමක් පළකර වංචනික ලෙස මුදල් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

වන්කැපුමුල්ල රණසිංහ අධිකාරි ළමා නිවාසයේ සභාපති ලෙස කටයුතු කරන මාවතගම විජිත නන්ද හිමියන් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කීය.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ළමා නිවාසයේ රැුකවරණය ලබන දරුවන් දොළොස් දෙනාගේ උදේ දිවා සහ රාත‍්‍රී ආහාර වේල් සපයා ගැනීමේ අපහසුතාවයකට පත්ව ඇති බවට වංචා කරුවෙකු මෙසේ මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇති බව පොලිසිය පවසයි. එම ළමා නිවාසයේ සිටින දරුවන්ගේ මව හා පියා නොමැති බවත් ඔවුන් අසරණ වූ දරුවන් බවත් මෙම දරුවන්ගේ දෛනික ආහාර වේල සපයා ගැනීම සඳහා ඔබගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වන බවට එම දැන්වීමේ පළ කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම දරුවන්ගේ උදේ ආහාරය සඳහා රුපියල් 1200ක්ද දිවා ආහාරය සඳහා රුපියල් 2500ක්ද රාත‍්‍රී ආහාරය සඳහා රුපියල් 1800ක්ද උදේ සහ සවස තේ පානය සඳහා ‍රුපියල් 700ක්ද වැය වන බවත් එකී දැන්වීමේ පළකර ඇති වංචාකරු මුදල් බැර කිරීම සඳහා බැංකුවක ගිණුම් අංකයක්ද වැඩි විස්තර ලබාගැනීම සඳහා ජංගම දුරකථන අංකයක්ද සඳහන් කර මෙම පුණ්‍යකර්මයට සහභාගි වී දෙලොවටම යහපතක් කරගන්නා ලෙස ඉල්ලා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වංචාකරු මුහුණු පොතේ පළ කර ඇති බැංකු ගිණුමට අදාළව සවිස්තර වාර්තාවක් බැංකුවෙන් ලබා ගැනීමටත් ජංගම දුරකථන අංකයට අදාළ වාර්තාවක් දුරකථන සමාගමෙන් ලබා ගැනීම සඳහාත් අධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කර වංචාකරුව නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරී (01) තුසිත කුමාර මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. රොහාන් මහේෂ් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය පැවසීය. මෙවැනි වංචා කරුවන්ට හසු නොවන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment