පුංචි ඡන්දයේ අපේක්‍ෂකයින්ට සංවර්ධන වැඩවලට රාජ්‍ය සම්පත් දෙනු එපා

85

මුදල් ලේකම් ඇතුළු 29කට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන ලිපිය අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙ.

මෙම පෙත්සම පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ගොනු කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු 29 දෙනකු නම් කර ඇති අතර නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට සංවර්ධන වැඩ කටයුතුවලට අදාළව රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත් මැයි 07 දා ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති අතර, මෙම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් රැසක්ම පළාත් ප්‍රජා කමිටුවල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිත කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එබැවින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන එම චක්‍රලේඛකයට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මේනිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment