කැරිබියානු දූපතක් වන පුවෙටරිකෝ රාජ්‍යයේ හටගෙන ඇති දීපව්‍යාප්ත විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් මිලියන 1.4ක ජනතාවකට පෙරේදා (16) දිනයේ සිට අඳුරේ සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. පෙරේදා දහවල් කාලයේ සිදුව තිබෙන මෙම හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් පුවෙටරිකෝ රාජ්‍යයේ සියලු රෝහල් විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර් ) මාර්ගයන් පවත්වා ගෙන යෑමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
පුවෙටරිකෝ රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයක සම්ප්‍රේෂණ රැහැනක සිදුවූ දෝෂයක් මෙම රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව අනාවරණය වී ඇති අතර විදුලිය බිඳ වැටීම හේතුවෙන් මහ සිකුරාදා හා පාස්කු ඉරිදා දිනයන් සැමරීම සඳහා සූදානමින් සිටින විශාල කතෝලික ජනකායක් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.