පොන්තනෝනාගේ ප්‍රකාශය

2284

ඉන්නා තැනක් නොදන්නා දුරකථනයෙන් පමණක් සම්බන්ධ කරගත හැකි නිල්මිණි මැඩම් පිළිබඳ කතන්දරය මෙසේය. ඇය අවුරුදු 10ක් පුරා ගණිකාවන් වෙළෙඳාමෙහි නිරතව සිටී. අන්තර් ජාලයේ වෙබ්සයිට් එකක තිබෙන ඇගේ තොරතුරුවලට අනුව ඇය සතුව තිබෙන රූමත් ගණිකා සංචිතය 200 ඉක්මවයි. නිල්මිණි මැඩම් ළඟ සුපිරි නිරූපිකාවන් ද තරුණ නිළියන් ද ගම්වලින් ගෙන්වා ගත් අවුරුදු කුමාරියන් ද විකිණීමට ඇත. අවුරුදු කුමාරියක් සඳහා පැය එකහමාරක කාලයකට ගනුදෙනුකරුවාගෙන් නිල්මිණි මැඩම් ලබාගන්නා මුදල රුපියල් 20,000කි. චිත්‍රපට නිළියකගේ ගණන රුපියල් 35,000කි. සුපිරි නිරූපිකාවක් ඇය විකුණන්නේ රුපියල් 20,000 කටය. තරුණියක් අවශ්‍ය පුද්ගලයා නිල්මිණි මැඩම්ගේ දුරකථනයට කතාකර ඇගේ බැංකු ගිණුමට රුපියල් 5000ක අත්තිකාරමක් ඩිපොසිට් කළ කල්හි අවශ්‍ය තැනටම භාණ්ඩ ගෙනවිත් භාර දීමට නිල්මිණි මැඩම් සූදානම්ය. මේ සඳහා ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් 2500 ක් පමණ අයකරනු ලැබේ. නිල්මිණි මැඩම් රැගෙන එන තරුණිය ගනුදෙනුකරුවාට නොගැලපේ නම් අත්තිකාරම් රුපියල් 5000 නිල්මිණි මැඩම් අයිතිකර ගනී. ගනුදෙනුකරුවා ඇයට කැමති නම් රුපියල් 5000ක් අඩුකරගෙන ඉතිරි මුදල අත්පිට ගෙවා බඩු භාරගැනීමට ගනුදෙනුකරුට පුළුවන. ඉන්පසු මෝටර් රථයේ නැග පිටව යන නිල්මිණි මැඩම් අහල පහල තැනක රැඳී සිටී. වැඩේ ඉවර වූ සැණින් දුරකථන ඇමතුමක් දුන් විට ඇය තමා කුලියට දුන් තරුණිය භාරගැනීම සඳහා අදාළ තැනට එයි. වැඩේ පැය එකහමාරකට වඩා අදින්නට තරුණිය ගනුදෙනුකරුට කිසිසේත් ඉඩ දෙන්නේ නැත. එසේ වැඩිකර ගැනීමට නම් වැඩිවන සෑම පැයකටම රුපියල් දසදහස බැගින් ගෙවිය යුතුය. ඇතැම් ගනුදෙනුකරුවන්ට ඔවුන් කියන හෝ පෙන්වන තරමට සල්ලි නැත. ඒ නිසා අමතර දහදාහේ ඒවා කඩන්නට නම් අතේ තිබෙන ඔරලෝසුව, මුද්ද පමණක් නොව කලිසම ද කමිසය ද විකිණීමට ඔවුන්ට සිදුවේ. වැඩේ නිම කළ තරුණියගේ ගාස්තුව රුපියල් විසිදහස නම් එයින් දහදාහක් නිල්මිණි මැඩම්ට යයි. මේ ආකාරයෙන් මෙවැනි ඇතැම් තරුණියක් දවසකට රුපියල් පනස්දහසක් පමණ උපයයි. නිල්මිණි මැඩම්ගේ සම්පූර්ණ විස්තරත් ඇය ළඟ සිටින සුරූපී තරුණියන්ගේ ඡායාරූපත්, ඇගේ දුරකථන අංකයත් අන්තර්ජාලයේ ගණිකාවන් විකුණන වෙබ්අඩවිවල ඇත. එහෙත් ඊයේ සිට නිල්මිණි මැඩම් දුරකථනයට උත්තර දෙන්නේ නැත. එයට හේතුව පානදුරේ වලානේ දූෂණ මර්දන ඒකකය මගින් පෙරේදා නිල්මිණි මැඩම් වැනිම ගණිකා සප්ලයර් කෙනෙක් අත්අඩංගුවට ගැනීමය. ඇය සප්ලයර් කාන්තාවක් වන අතර ඇය සමග පැමිණි සුරූපී කාන්තාවන් හතර දෙනකුට මාංචු දමා ගෙනයන අයුරු රූපවාහිනියෙන් පෙන්වන ලදි. ලංකාවේ නීතියට අනුව බාලවයස්කාර නොවන ඕනෑම කෙනකුට සිය කැමැත්තෙන් ඇඟ විකිණිය හැකිය. එහෙත් කාටවත් වෙන කෙනකුගේ ඇඟක් විකිණීමට සම්මාදම් වීම නීතියෙන් තහනම්ය. ඒ අනුව ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආයතනයක වැරදිකරු වන්නේ එම ව්‍යාපාරය පවත්වාගෙන යන තැනැත්තා හෝ තැනැත්තිය පමණි. මෙහිදී ඔහු හෝ ඇය විසින් විකුණන ගණිකාවන් නඩු භාණ්ඩ බවට පත්වේ. පෙරේදා ගණිකාවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකාරියට පමණක් නොව නඩු භාණ්ඩවලට ද මාංචු දමාගෙන යන හැටි අපි දුටුවෙමු. සමහරවිට වලානේ පොලිස් කට්ටිය එසේ කරන්නට ඇත්තේ නඩු භාණ්ඩ පැන ගියොත් පැමිණිල්ල දුර්වල වී විත්තිය ශක්තිමත් වීමට ඇති ඉඩ නිසාය.

ගණිකා වෘත්තිය යනු ඉතා පුළුල් ලෙස විග්‍රහ කළ යුතු සමාජ ප්‍රශ්නයකි. නිල්මිණි මැඩම් බිහිකරන ලද්දේ ද එම සමාජ ප්‍රශ්නය විසිනි. ඇගේ ගණිකා බැටෑලියන් එකද බිහිවන්නේ එම සමාජ ප්‍රශ්නය නිසාමය. ඇඟ විකිණීමට හේතුවක් සෑම ගණිකාවකටම තිබේ. එක්කෝ ඇයගේ සැමියා කුඩ්ඩෙකි. ඔහු පවුලට නොබලයි. එහෙමත් නැත්නම් ඇගේ සැමියා ඇය හැර ගොසිනි. ඔහු ඇයටත් දරුවන්ටත් කන්න අඳින්න දෙන්නේ නැත. එහෙමත් නැත්නම් ඇගේ සැමියා ඔත්පල වෙලාය. ගාමන්ට් ව්‍යාපාරයෙන් ගණිකා වෘත්තියට පිවිසි තරුණියෝ විශාල වශයෙන් වෙළෙඳ කලාප අවට සිටිති. කොරෝනා වසංගතයේදී ගාමන්ට් ෆැක්ටරි වැසී යෑමෙන් පසු එම ෆැක්ටරිවල වැඩ කළ ඇතැම් විධායක නිලධාරිනියන් පවා ගණිකා වෘත්තියට පිවිසියහ. ගාමන්ට් එකේ පණ යන තුරු වැඩ කළත් ඔවුන්ට ලැබුණේ මසකට රුපියල් හැට හැත්තෑ දහසක මුදලකි. එහෙත් ගණිකා වෘත්තියට එළැඹීමෙන් පසු ඔව්හු මාසයකට රුපියල් ලක්‍ෂ හය හතක් උපයති. ගණිකා වෘත්තිය ඉතාම අවදානම්ය. එහි පළමු අවදානම සමාජ රෝග හටගැනීමට ඇති ඉඩකඩය. සුව කරන්නට බැරි ඒඩ්ස් වැනි සමාජ රොගයක් හැදුණු විට දෙවරක් නොසිතා සිය දිවි නසාගන්නට ගණිකාවට සිදුවෙයි. පොලිසියට හසු වූ කල ගණිකාවෝ විවිධ නින්දා අපහාසවලට ලක්වෙති. ඇතැම් පොලිස් නිලධාරීහු ඉතා නීච ලෙස මේ ගැහැනුන්ට සලකති. මෙයට අවුරුදු කිහිපයකට පෙර වත්තල පොලිසියේ ඕඅයිසී කෙනෙක් ගණිකා නිවාසයක් රේඩ් කළේය. එය බියුටි සැලෝන් එකකට මුවාවී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකි. එහිදී ගණිකා වෘත්තියේ යෙදුණු සුරූපී තරුණියන් කිහිප දෙනෙක් පොලිසියට අසුවූහ. පොලිසියට හසුවී ඡායාරූප ගැනීමට ලක්වන අවස්ථාවේදී පිටස්තර ලෝකයෙන් වසන්වනු පිණිස තම මුහුණ වසා ගැනීමේ අයිතියක් ඕනෑම සැකකරුවකුට හෝ විත්තිකරුවකුට ඇත. එහෙත් එදා ඒ වැටලීම කළ ඕඅයිසී ඒ තරුණ ගැහැනු ළමුන්ට මුහුණ වසා ගැනීමට ඉඩ නොදී ඔවුන් අතේ තිබුණු ලේන්සු පැත්තකට විසිකර දැමූහ. මේ ළමයින් සියලු දෙනා යූටියුබ් එකේ පෙන්වන ලදි. කිසිදු රූපවාහිනි ආයතනයක් එම ළමයින්ගෙ මුහුණු පෙන්නුවේ නැත. යූටියුබ් එකට එවැනි චාරයක් නොවේ. එබැවින් ඇප ලැබුණු පසු මේ තරුණියන්ට කුමක් වෙන්නට ඇත්දැයි අපි නොදනිමු.

තම බඩගිනිකාර දරුවන්ට කන්න දෙන්න නොහැකි නම් එම දරුවන්ගේ මව සිය ඇඟ විකිණීම ඇයට සාපේක්‍ෂව නිවැරැදිය. ගැහැනියකගේ ඇඟ අයත් වන්නේ ඇයට ද නොඑසේ නම් ආණ්ඩුවට ද යන ප්‍රශ්නය තවමත් විසඳී නැත. ගණිකා වෘත්තිය නමැති සමාජ උවදුරට අපි තරයේ විරුද්ධ වෙමු. මේ සම්බන්ධයෙන් මෙයට කලකට පෙර පොන්තනෝනා නමැති ගණිකාවක් කළ ප්‍රකාශයක් තිබේ. එය මෙහි සඳහන් කළ නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment