(ලංකාවේ කුඩු ජාවාරම පිළිබඳව පුංචි කතාවක්)
ඉතා වැදගත් පාරිභෝගික භාණ්ඩ දෙකක් මීට පැය හැත්තෑ දෙකකට පෙර මුහුදු මාර්ගයෙන් ලංකාවට ගෙන්වන ලදී. පළමු වන පාරිභෝගික භාණ්ඩ තොගය වූ කලී ලුණු ටොන් 2800 කි. ඒවා ඉදිරි දිනවල වෙළෙඳපොළට මුදාහැරෙනවා ඇත. දෙවන පාරිභෝගික භාණ්ඩ තොගය කුඩු තොගයකි. බහුදින ධීවර යාත්‍රා දෙකකින් ලංකාවට ගෙන එමින් තිබූ මේ කුඩු තොගය කිලෝ 600 ක් බර අතර, රුපියල් කෝටි එක්දහස් හාරසීයක හෙවත් රුපියල් බිලියන දාහතරක වටිනාකමින් යුතුය. ලුණු හොද්දට දැමිය යුතු අත්‍යවශ්‍ය භාණ්ඩයකි. ලුණු නැතිව අපට ජීවත් වීම දුෂ්කර ය. ශරීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ලුණු වැඩිවීමෙන් අධික රුධිර පීඩනය ද, අඩු වීමෙන් වෙනත් ලෙඩ රෝග ද වැලඳේ. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මත්වීම සඳහා ‘මත්ද්‍රව්‍ය’ සොයා යෑම සිදුවන්නකි. එය නොලද විට ‘සික්’ වැනි තත්ත්වයට ඔව්හු ගොදුරු වෙති. එයට වහාම ප්‍රතිකාර දීම කළ යුතුය. මනෝ උපදේශනය ද එහිලා ඉතා වැදගත් වෙයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනම කළ යුතුම සුවිශේෂ කාර්යයකි. (ඒ ගැන පසු දවසක අපි කතා කරමු.) මත්පැනට ලොල්වුවකුගේ තත්ත්වයත් මෙයයි. අධික ලෙස මත්පැන් පානයට පුරුදු වූ විට ශරීරය විසින් මත්පැන් ඉල්ලන්නට පටන් ගනී. එය නොලැබුණොත් ඔහු වෙව්ලයි. හැබැයි දීර්ඝ කාලීන මෙහෙයුම් මගින් මත්පැනට ලොල්වීම නැති කරගෙන මත්පැන් පානයෙන් අත්මිදීමට මිනිසුන්ට පුළුවන. එහෙත් කුඩු වැඩේ ඊට වඩා භයානකය. කුඩු ගහන්නට පුරුදු වන එකා කුඩු මිලට ගැනීම සඳහා සල්ලි නැති වුණොත් මිනියක් මරා හෝ ඒ වෙලාවට අවශ්‍ය රුපියල් තුන් හාරදාහ සොයා ගනී. කසිප්පු බෝතලයක් රුපියල් 1500 කි. කුඩු ග්‍රෑම් එකක් රුපියල් දසදහසකි. කසිප්පු බොන මිනිහට වඩා වේගයෙන් කුඩු ගහන මිනිහා දිරාපත් වෙයි. ඔහු අන්තිමට මිය යන්නේ කඳුළු පෙරමින්, සෙම පෙරමින් සහ ඇඟ වෙව්ලමින් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කිරීමෙන් පසුය. මේ නිසා හැම රටකදීම කුඩු සලකන්නේ ජාතික ව්‍යසනයක් ලෙසය.
අද වන විට ලංකාව ‘කුඩු හබ්’ එකක් බවට පත් වී තිබේ. කොළඹ වරායෙන් ද, රට පුරා ඇති ධීවර වරායවල්වලින් ද වරායවල් නැති වෙරළ තීරවලින් ද, ගුවන් මගින් ද කුඩු මෙරටට ප්‍රවාහනය කරනු ලැබේ. එසේම ලංකාව මේ වනවිට කුඩු ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ. පසුගියදා නාවික හමුදාවේ නිර්භීත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද කුඩු තොගයේ බර අනුව ඒවා ස්ථිර වශයෙන්ම ප්‍රතිඅපනයනය කිරීම සඳහා ගෙන්වන ලද බව සිතාගත හැකිය. සාමාන්‍යයෙන් කුඩු කිලෝ එකක් යනු කුඩුකාරයන් දහසක් දෙනාට ප්‍රමාණවත් වන බඩු තොගයකි. කුඩු එක ග්‍රෑම් එකකින් කුඩු ග්‍රෑම් පහක් පමණ නිපදවිය හැකිය. කුඩු කරන ලද පැරසිටමෝල් පෙති, පාන් පිටි, අළුහුණු යනාදිය මිශ්‍ර කර කුඩුවල ප්‍රමාණය වැඩි කළ හැකිය. සාමාන්‍යයෙන් කුඩු කිලෝ හයසීයක් මුළු ලංකාවටම දවසකටම ප්‍රමාණවත් වන කුඩු තොගයක් සේ සැලකිය හැකිය. රට තුළ කුඩු විකුණන කිසිදු කුඩු ජාවාරම්කරුවෙක් මේ තරම් තොගයක් කුඩු ගෙන්වා ඒවා තොග වශයෙන් තබා ගන්නේ නැත. විශාලම මට්ටමේ කුඩු ව්‍යාපාරිකයකු සතුව වුවද කුඩු කිලෝ තුන හතරකට වඩා වරකට රඳන්නේ නැත. එසේ නම් ලංකාව කුඩු ප්‍රතිඅපනයනය කරන්නේ කවර රටවලට ද? අප දන්නා පරිදි වැඩියෙන්ම කුඩු යන්නේ යුරෝපයට ය. වැඩියෙන්ම කුඩු නිෂ්පාදනය කරන්නේ ආසියාවේ ය. එසේම ලෝකයේ ලොකුම කුඩු හබ් එක කොළොම්බියාව ය. කොළොම්බියාව කුඩු යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, වෙනත් රටවලින් ද කුඩු ගෙන්වා ඒවා විවිධ ද්‍රව්‍ය සමග කලවම් කර ඇමෙරිකාවටත්, කැනඩාවටත්, ලතින් ඇමෙරිකානු රටවලටත් බෙදාහරී. කොළොම්බියාවේ සිටින කුඩු ජාවාරම්කාරයන්ගේ ඒජන්තවරුන් ගමන් කරන්නේ රන් ආලේප කළ රෝල්ස් රොයිස් රථවලය. මේ කුඩු ඒජන්තලා සතුව විශාල මන්දිර ද, පෞද්ගලික ගුවන් යානා ද, පෞද්ගලික ආරක්‍ෂක හමුදා ද තිබේ. කුඩු ජාවාරම තුළ සිදු කෙරෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු අසන්නේ ද මේ ඒජන්තවරුම ය. වැරදි කරන අයට දඬුවම් කිරීම සඳහා පෞද්ගලික සිරගෙවල් ඔවුන් සතුව තිබේ. කොළොම්බියාවේ ඇතැම් පෞද්ගලික සිරගෙවල් තුළ පෞද්ගලික එල්ලුම් ගස් ද, පෞද්ගලික විදුලි පුටු ද ඇත. එමගින් අපි තේරුම් ගත යුත්තේ ඉතා දරුණු ලෙස මේ කර්මාන්තය විසින් ලෝකය වෙළාගනු ලැබ ඇති බවය. ලංකාව වැනි දූපත් රාජ්‍යවලට කුඩු කර්මාන්තයෙන් ගැලවීමට නොහැක. මන්ද රට වටේම වෙරළක්, මුහුදක් තිබෙන බැවින් ඕනෑම තැනකින් කුඩු ගොඩබෑමේ අවස්ථාව අපේ රටට තිබේ. මේ රටට පාකිස්තානයෙන් ද කුඩු එයි. පාකිස්තානයට ඒ බඩු එන්නේ ඇෆ්ගනිස්තානයෙනි. එසේ ගෙන්වන කුඩු ලංකාවට එවා ප්‍රතිඅපනයනය කිරීම සිදු කෙරෙයි. සමහර විට පැකට් වශයෙන් කුඩු ඇසිරීම ද, ටී බෑග් ලෙස කුඩු අසුරා ලස්සන තේ පෙට්ටිවල ඒවා බහාලීමත් අනතුරුව පිටරට යැවීමත් සිදු කෙරෙයි. සමහරු සපත්තු අඩිය තුළ හිලක් හාරා එහි කුඩු තැන්පත් කර රට තුළට ගෙන එයි. තවත් සමහරු ශරීරයේ තිබෙන ප්‍රසිද්ධියේ කීමට නොහැකි තැන්වල පවා කුඩු සඟවාගෙන රට තුළට ගෙන එයි. මෙය ඉතා අවදානම් වැඩකි. මේ කුඩු පැකට් එකක් යම් හෙයකින් සිරුර තුළ පිපිරුවොත් එය ප්‍රවාහනය කළ තැනැත්තා ක්‍ෂණයකින් මියයෑම නොවැළැක්විය හැකිය.
කුඩු ජාවාරම්කරුවාට වඩාත්ම සුදුසු දඬුවම මරණ දණ්ඩනය වේ. එහෙත් පොලිසියට මේ ලොකු ජාවාරම්කාරයන් හසුවන්නේ ඉතාම කලාතුරකිනි. හැබැයි ඇහැට නොපෙනෙන තරම් කුඩු බිඳක් ඊයම් කොළයක ඔතා ඉනේ ගසාගෙන සිටින මත්ද්‍රව්‍ය ලෝලීන් නිතරම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබේ. මෙය සමාන වන්නේ හොරා පොල් ගසේ සිටිය දී ඔහු කඩා බිමට දමන පොල්ගෙඩිය අත්අඩංගුවට ගැනීමට ය. මීට පැය හැත්තෑ දෙකකට පෙර නාවික හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද කුඩු තොගය සම්බන්ධයෙන් බලධාරීන් කවර තීරණයක් ගනු ඇත්දැයි මේ රටේ ජනයා බලා සිටිති. කෝටි 1000 ක ‘මත් කුඩු’ රටට යම් ලෙසකින් ගෙන ආවේ නම් අපේ ‘තාරුණ්‍යය’ ට අනාගත පරපුරට අත්වන ඉරණම තවත් ශෝචනීය වන්නේය. ඒ විපතින් මේ තරමින්වත් මුදාගත්, ඒවා අත්අඩංගුවට ගත් නාවික හමුදාවට අපගේ ස්තුතිය සහ ජනතාවගේ ප්‍රශංසාව ද හිමි වේ.