පොලිසිය මහජන සේවා ගාස්තු ඉහළ දමයි

4

රු. 300 ශබ්ද විකාශන ගාස්තු 2000ට නංවයි

නිල සුනඛ ගාස්තුව 3000 සිට 20,000 ට උස්සයි

පොලිසිය මගින් මහජනතාව වෙත සපයන සේවාවන් සඳහා අයකෙරෙන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත මෙම අයකිරීම් සඳහා වන නව චක්‍රලේඛයක් යොමු කර තිබේ.

ගාස්තු අයකර ගැනීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 2023.06.02 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2749 / 2023 (මුදල් චක්‍රලේඛ 04/2023) මේ අනුව අවලංගු වන බව පොලිස් මූලස්ථානය පවසයි.

නව චක්‍රලේඛයට අනුව ශබ්ද විකාශන ගාස්තු එක් දිනක් සඳහා මින් පෙර තිබූ රුපියල් 300 රුපියල් 2000ක් දක්වා ඉහළ දමා තිබේ. එමෙන්ම පොලිස් නිල සුනඛයකු සඳහා පැය එකහමාරකට යටත්ව හා රැගෙන යනු හැකි උපරිම දුර ප්‍රමාණය තීරණය කිරීම පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව ද පාසල් සන්දර්ශන සඳහා නිල සුනඛයන් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව පොලිස්පතිවරයාගේ අනුමැතියට යටත්ව ද මින් පෙර අය කළ රුපියල් තුන්දහසක මුදල රුපියල් විසිදහසක් දක්වා ඉහළ දමා තිබේ.

පොලිස් අශ්වයකු සඳහා පැය එකහමාරක කාලයකට මින් පෙර රුපියල් හයදහසක්ව පැවැති අය කිරීම ද නව චක්‍රලේඛයට අනුව රුපියල් තිස්දහස දක්වා ඉහළ දමා තිබේ.

එසේම ආසන්නම පොලිස්ථානයක් වෙත වාහනයක් ඇද ඉවත් කිරීමේ ගාස්තුව රුපියල් හයසියයේ සිට රුපියල් පන්දහස දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන තිබේ.

ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා මින් පෙර අය කළ රුපියල් එකසිය පනහක ගාස්තුව රුපියල් පන්සියය දක්වා ඉහළ දමා ඇති අතර, කිමිදුම් උපකරණ සඳහා අය කළ රුපියල් දෙදහස් හාරසියයක මුදල රුපියල් හාරදහස දක්වා ද, ජීවිතාරක්ෂණ සහ කොස්ටේන් උපකරණ සඳහා අය කළ රුපියල් එක්දහස් දෙසීයක මුදල රුපියල් පන්දහස දක්වා ද ඉහළ දමා තිබේ.

එසේම පොලිසිය සතු වාහන හා යාත්‍රා පෞද්ගලික පාර්ශ්වයන්ට ලබාදීමට පෙර එකී වාහන සහ යාත්‍රා පෞද්ගලික භාවිතයේ දී සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් හැකි පූර්ණය සඳහා තාවකාලික රක්ෂණාවරණයක් ලබාගැනීමට අදාළ පෞද්ගලික පාර්ශ්වයන්ට නියම කළ යුතු බවද නව චක්‍රලේඛයේ සඳහන් වේ.

සුජීව තත්සර


advertistmentadvertistment