පොහොට්ටුවට ඉන්න හොඳම අපේක්ෂකයා නාමල් – පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

64

ඉල්ලුවෙත් ධම්මික බෑ කිවුවෙත් ධම්මික

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ ධම්මික පෙරේරා මහතා බව බොහෝ දෙනාගේ විශ්වාසය විය. නමුත් පසුගිය 07 වැනිදා එම පක්ෂය විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේ නාමල් රාජපක්‍ෂ මහතාගේ නමය. එබැවින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු තෝරාගැනීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුගමනය කළ නිර්ණායකයන් පිළිබඳව සහ මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට සූදානමින් සිට ඇත්තේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා මහතාය. ඒ මහතා පසුගිය 06 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත යොමුකර ඇති ලිපිය මගිනුත් ඒ බව තහවුරු වෙනවා.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බව ප්‍රකාශයට පත් කිරීමට සිට ඇත්තේ පසුගිය 07 වැනිදා උදෑසන. නමුත් ඊට පැය කිහිපයකට පෙර මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රශ්නය – ඒ පිළිබඳව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ අදහස් කීපයක් තිබුණා. එක් අදහසක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා කියන එක. තවත් අදහසක් තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික පෙරේරා මහතා කියන එක. ඒ වගේම තවත් අදහසක් තිබුණා පොහොට්ටුවෙන් නාමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරනවා කියලා. එම අදහස් තුන පිළිබඳවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස නිශ්චිත අදහසක් නිල හෝ නිල නොවන ලෙස ප්‍රකාශ කර තිබුණේ නැහැ. අපි නිල වශයෙන් සඳහන් කළේ සුදුසුකම් සහිත අපේක්‍ෂකයන් කිහිපදෙනකු පක්‍ෂයත් සමග අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සංවාදයක සිටිනවා කියන එක සහ එම අපේක්ෂකයන් අතරින් වඩාත්ම සුදුසු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනවා කියන එක පමණයි. දැන් සිද්ධවෙලා තිබෙන්නේ ඒ දේ තමයි.

ප්‍රශ්නය – ධම්මික පෙරේරා මහතාගේ නම ප්‍රකාශයට පත්කිරීමට සූදානම් කර තිබුණු සුබ නැකත නාමල් රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශයට පත් කිරීමටත් ගැලපුණාද?

පිළිතුර – මෙම ප්‍රශ්නය තේරුම් ගැනීමට තිබෙන හොඳම අවස්ථාව ඒක තමයි. අපි කිසිම අපේක්ෂකයෙක් මුල් කරගෙන නැකතක් හදලා තිබුණේ නැහැ. අපි සූදානම් කෙරුවේ පක්ෂයට සුබ වෙලාවක් පමණයි.

ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න මාධ්‍ය විසින් දිගින් දිගටම විමසා සිටියා. එබඳු අවස්ථාවල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින් ප්‍රකාශ කළ දෙයක් තමයි තමන්ගේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂ අවස්ථාවක් බවට. එසේත් නොමැති නම් සියලු දෙනාගේම කුතුහලය ඇතිවන ආකාරයට ප්‍රකාශයට පත් කරනවා කියන එක.

ප්‍රශ්නය – ඇත්තටම ඔබලා, අපේක්‍ෂා කළ ආකාරයට එම කටයුතු සිද්ධ වූවාද?

පිළිතුර – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණය පිළිබඳව සියලු පාර්ශ්වයන් තුළම කුතුහලයක් තිබුණා. එම කුතුහලය 7 වැනිදා අවසන් කරන බවත් අපි ප්‍රකාශ කළා. ඒ අනුව පසුගිය 07 වැනිදා අපගේ පක්‍ෂයේ ජනාධිති අපේක්ෂකයා කවුද යන්න විජයග්‍රාහී ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. අපි දකිනවා පොහොට්ටුව ජනාධිපති මැතිවරණයට පිවිසීම පිළිබඳ සංවාදය ඉතාම ඉහළ විජයග්‍රාහී තැනක තිබෙන බව.

ප්‍රශ්නය – නාමල් රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා බලපෑ හේතු සාධකයන් මොනවාද?

පිළිතුර – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුදුසුම අපේක්ෂකයා තමයි නාමල් රාජපක්‍ෂ මහතා. ඒ වගේම නාමල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 දී තීරණය කිරීමට පෙර මීට වසර 9 කට පෙර 2015 දී යහපාලන ආණ්ඩුව ඒ බව තීරණය කරනවා. එම නිසා නේද ආණ්ඩුව ව්‍යවස්ථාවේ ජනාධිපතිධුරයට තරග කිරීම සඳහා වයස අවුරුදු 30 සම්පූර්ණ වී තිබිය යුතු බවට තිබූ කොන්දේසිය වයස අවුරුදු 35 දක්වා වැඩි කළේ. ඒ කියන්නේ මීට වසර 9කට පෙර ප්‍රතිවාදීන් විශ්වාස කළා නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු වන බව. ඒ සඳහා සුදුසු තත්ත්වයක සිටින බව. දැන් වසර 9ක් ගෙවිලා. එම නිසා 2015 දී සිටියාට වඩා පරිණත භාවයට පත්වූ නාමල් රාජපක්ෂ මහතා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ. අපේ කඳවුර විසින් නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකත්වයට තෝරා පත්කර ගැනීමට පෙර ඔහුගේ සුදුසුකම ප්‍රතිවාදීන් විසින් මේ සමාජයේ තහවුරු කරලා තිබුණා.

ප්‍රශ්නය – නාමල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කර තිබෙනවා මෙම තීරණය කලින් ගත්තා නම් ඔවුන්ගේ තීරණය වෙනස්වීමට ඉඩ තිබුණු බව.එම ප්‍රකාශය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – අපේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් එක් පිරිසක් ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීම සඳහා සම්බන්ධවීමට හේතුව ලෙස සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නැතිනම් රාජපක්‍ෂ පවුලේ සාමාජිකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොකිරීම. දැන් එම කණ්ඩායමේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසිය සපුරලා තිබෙනවා. එම නිසා දැන් එන්න.

ප්‍රශ්නය – දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය විසඳී අවසන්. දැන් තිබෙන ප්‍රශ්න තමයි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්නේ කවදා ද, ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරන්නේ කවදා ද කියන එක.ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමේ වැඩපිළිවෙළේ කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වෙලා තිබෙන්නේ. මීළඟ වසර 5 පදනම් කර ගනිමින් මෙරට ආර්ථිකයෙත්, සමාජ සහ දේශපාලන කටයුතුවල අනාගතය තීරණය කරන සියලුදෙනාට පිළිගත හැකි විද්‍යාත්මක යෝජනාවලියක් රටටත්, ජනතාවටත් ඉදිරිපත් කිරීම සඳහා අපි සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ.

ප්‍රශ්නය – සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලදී ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්නේ අනුරාධපුරයෙන්. ඉදිරි ජනාධිතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්නේ කවදාද, කුමන ස්ථානයකින්ද?

පිළිතුර – අපි ස්ථානය පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිලා නැහැ. නමුත් අපි සැමදාම ස්වදේශික, සමාජ, සංස්කෘතික හර පද්ධතීන් පිළිගනිමින් සහ ඊට ගරු කරමින් තමයි ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගන්නේ. අපි එම සංස්කෘතික වටිනාකම් පිළිබඳව ඉතා ඉහළින් කල්පනා කරලා බලලා තමයි කටයුතු කරන්නේ.

ප්‍රශ්නය – මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ සුළු ජාතික පක්‍ෂ බහුතරයක සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවී තිබෙනවා. වෙනත් දේශපාලන පක්‍ෂවල සහ සුළු ජාතික පක්‍ෂවල සහයෝගය ලබාගැනීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද?

පිළිතුර – මේ රටේ වාර්ගික පදනමක් මත ක්‍රියාත්මක පක්‍ෂ කිහිපයක්ම තිබෙනවා. එම පක්‍ෂවල නායකයන් සෑම මැතිවරණයකදීම කාට හෝ සහයෝගය ලබාදෙනවා. නමුත් මේ රටේ සාමාන්‍ය ජන සමාජය දේශපාලන වශයෙන් තීන්දු ගැනීමේදී කටයුතු කරන වෙනස් තත්ත්වයකුත් අපි දැකලා තිබෙනවා. සමහර විට අපිට එම නායකයන් සම්බන්ධකර ගැනීමට නොහැකි වුවත් එම නායකයන් විසින් නියෝජනය කරනවා යැයි කියන සමාජය දිනාගන්න පුළුවන් වේවි. අපි සෑමදාම කළේ එම නායකයන් දිනා ගැනීම නොවෙයි. එම නායකයන් විසින් අමතමින් සිටින ජන සමාජය දිනා ගැනීමයි. අපි මේ පාරත් ඒක කරනවා.

ප්‍රශ්නය – නාමල් රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ තක්සේරුව කුමක්ද?

පිළිතුර – මගේ අදහස තමයි ආරම්භක අවස්ථාවේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් අතැතිව තරගයට එන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක. නමුත් ප්‍රචාරණ සමය තුළදී අලුතින් දිනා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව තමයි අවසන් ජයග්‍රහණය තීරණය වන්නේ. ජාතික ජන බලවේගය ඉතාම පුංචි ඡන්ද සංඛ්‍යාවක් අතැතිව තමයි මෙම මැතිවරණයට ඉදිරිපත් වන්නේ. පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය ලබාගත්තේ ඡන්ද 27 ලක්‍ෂයයි. එය ප්‍රතිශතයක් ලෙස 23%යි. අපි ලබාගත්තා ඡන්ද 69 ලක්‍ෂයක්. එයින් 50%ක් පොඩ්ඩක් ඈතින් තියලා සටන පටන් ගත්තත් අපි සටන පටන් ගන්නේ ලක්‍ෂ 34.5කින් පමණ තමයි. එම නිසා මේ සටනේ ආරම්භක වාසිය තිබෙන්නේ අපිට. අපි මෙම සටන ජයග්‍රහණයෙන් අවසන් කරනවා.

සාකච්ඡා කළේ – එරික් ගාමිණි ජිනප්‍රිය


advertistmentadvertistment