මේ පුවත්පත ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රගතිශීලී ජන අරගලවලට පක්ෂ ය. එහෙත් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වන ගුරු වැඩවර්ජන, ජනතාව වෛද්‍ය ප්‍රතිකාර නැතිව මියයෑමට සලසන සෞඛ්‍ය වැඩ වර්ජන සහ මධ්‍යම පාන්තික සහ දිළිඳු පාන්තික මිනිසුන්ද ඔවුන්ගේ දූ දරුවන්ද මහා පාරේ රස්තියාදු කරවන ප්‍රවාහන වර්ජනවලට ද මේ පුවත්පත විරුද්ධ ය. එහෙත් 80 ජූලි වර්ජනයේදී මෙන් වැඩ වර්ජකයන් පාරට ඇද දැමීම පිළිබඳ මේ පුවත්පත තුළ කිසිදු ප්‍රසාදයක් නැත. ඉදිරියේදී දුම්රිය වැඩවර්ජනවල නිරත වන සියලුම දෙනා සේවය අත්හැර ගියා සේ සලකා නෙරපා හරිනු ලබන්නේ යැයි ප්‍රවාහන ඇමැති බන්ධුල ගුණවර්ධන කී බවක් දැනගන්නට තිබේ. ඔහු මෙබන්දක් කීවා නම් ඡන්ද දෙකක් කට මුල තබාගෙන ශෝක කතාවක් කියා ඇති බව අපගේ විශ්වාසය වේ. වැඩවර්ජකයන් අස්කරන බව කී සැනින් මිනිසුන් තුළ මාර දෙව්ශයක් හටගනී. ඒ අනුව බන්ධුල ගුණවර්ධන ශ්‍රීමතාණන්ගේ මේ කථාවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලට දරුණු ෂොට් එකක් වදිනවා ඇත. බන්ධුල ගුණවර්ධන උත්සහ කරන්නේ මෙබඳු කතාවලින් ආණ්ඩුව පරාජයට පත්කිරීම බව කිසිවෙක් කීවොත් අප එයට එකඟ නොවන්නෙමු. එතුමා මේ කතාව නිකන් කටට ආවට කීවක් බවට මතයක් ප්‍රචාරය කළ හැකි නම් ඒ කතාවෙන් සිදුවූ damage එක අවම කරගත හැකිය. ප්‍රවීණ අර්ථ ශාස්ත්‍රඥයකු වූද කෘතහස්ත ගුරුවරයකු වූද බන්ධුල ගුනවර්ධන ස්වකීය ටියුෂන් පන්තිවල ප්‍රදර්ශනය කළ ආඥාදායකත්වය රටේ ශ්‍රම සම්පත ඉදිරියේදී මුදාහැරීමට නොහැක. සුනිල් හඳුන්නෙත්ති සහ කේ. ඩී. ලාල් කාන්ත යන දෙපළ විවිධ කතා කියමින් ජ.වි.පෙ. එකේ ඡන්ද කඩන මැෂින් බවට පත්වී ඇතැයි පසුගියදා සමාජ මාධ්‍යවල පලවිය. එහෙත් ගුණවර්ධන ශ්‍රීමතාණන්ගේ කතාව හා සලකා බලද්දී හඳුන්නෙත්ති සහ ලාල් කාන්තගේ ඡන්ද කඩන මැෂින් ඉතාම ප්‍රාථමික තත්ත්වයේ පවතින බව අපගේ විශ්වාසය වේ.
දහ නව වන සියවසේ බි්‍රතාන්‍ය කම්කරුවා ඉතාම නෝන්ජල් මනුෂ්‍යයකි. කාල් මාක්ස් ට අනුව මේ කම්කරු පන්තිය උදේට අර්තාපල් තම්බාගෙන කෑහ. දවල්ට ද අර්තාපල් තම්බා ඒවා පොඩි කර ලුනු දමා කෑහ. රාත්‍රියේදී අර්තාපල්වලින් සුප් හදා පානය කළහ. මේ අනුව එම කම්කරුවාගේ ආහාර වේල පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අර්තාපල්ම විය. අර්තාපල් යනු කබෝහයිඩ්රේට් කන්දකි. මෙහි ප්‍රෝටීන් නැත. ඒ නිසා 19 වන සියවසේ බි්‍රතාන්‍ය කම්කරු පන්තිය ප්‍රෝටීන්වලින් විනිර්මුක්ත කබෝහයිඩ්රේට් ලෝකයක හුදකලා වී සිටියහ. මේ නිසා ඔවුන්ට තිබුණේ ඉතාම දුර්වල කාය ශක්තියකි. ඇඟට හයියක් නැතිව ඔවුන් හෙමින් හෙමින් වැඩ කරන විට ඔවුන් පාලනය කරන වැඩ පරීක්ෂකවරු කස වලින් ඔවුන්ට තැලූහ. කොතරම් පහර දුන්නත් මේ කියන කම්කරුවන් කස කාරයන්ට එරෙහිව වචනයක් කතා කළේ නැත. ඒ මෝඩ මිනිසුන් හත් අට දෙනෙක් නැගී සිට කස කාරයාට පහර දුන්නේ නම් කසකාරයා දෙකට කැඩී යෑමට නියමිත විය. එහෙත් මිනිස්සු හැමදාමත් ඔලුව පහත් කරගෙන නොසිටිති. රෝමන් වහලකු වූ ස්පාටකස් වහලුන් දහස් ගණනක් පිරිවරාගෙන රෝම රජුට එරෙහිව කැරැල්ලක් ගසා රෝමන් හමුදාවල සිටි සිය ගණනක් ඝාතනය කළේය. කම්කරුවන් කුපිත කිරීම ඉතා භයානක දෙයකි. කුපිත කරන ලද කල්හි කම්කරුවන් නැගී සිටියහොත් හැම රටකම ආණ්ඩුවක් කරන්නේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමය. නූතනයේදී මෙකී ප්‍රති ප්‍රහාරක කටයුතු සඳහා කඳුළු ගෑස්, රබර් බුලට්, වෝටර් කැනන් යනාදිය යොදාගනු ලැබේ. රබර් බුලට් එකක් ඇඟේ වැදුණු විට මළ මුත්‍ර පහවන තරමට වේදනාවක් හටගනී. කම්කරුවා කුපිත වූ විට මේ කිසිවක් ගණන් නොගෙන ඉදිරියට යයි. ආණ්ඩුව කළ යුත්තේ කම්කරුවා ශේප් කර ඔහු දිනාගෙන සිය ගමන යෑමය. එසේ නොමැතිව වැඩ වර්ජනය කරන ප්‍රවාහන සේවකයන් සේවයෙන් නෙරපා හරින බව කී විට එම ශ්‍රමිකයෝ ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වෙති.
83 ජූලි වර්ජනය මේ රටේ සිදුවූ ඉතාම අවාසනාවන්ත වර්ජනයකි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වර්ජනය අත්හැර වැඩට එන ලෙස වර්ජනයේ යෙදී සිටි රජයේ සේවකයන්ට හොඳින් මෙන්ම නරකින්ද පැවසුවේය. එහෙත් වර්ජකයෝ එයට කන් දුන්නේ නැත. එවිට ජේ. ආර්. ජයවර්ධන වඩාත් දැඩි පියවරකට තල්ලු විය. ඒ වූකලී වර්ජකයන් සේවයෙන් නෙරපීමය. මේ තීරණය වර්ජකයන්ට දැනුම් දීමත් සමගම විශාල පිරිසක් වැඩට පැමිණියහ. සුළු පිරිසක් පමණක් මහා පාරේ ඉතිරි විය. අන්තිමට රස්සාවල් නැතිව ඔවුහු හිඟමනටම වැටින. ඇතැම් ජූලි වර්ජකයෝ වස පානය කළහ. ඇතැම් අය දුම්රියට පැන්නාහ. තවත් සමහරු ගෙල වැලලා ගත්හ. ඔවුන්ට වස බෝතලයක් ගැනීමටවත් වත්කමක් තිබුණේ නැත. වැඩ වර්ජකයා බොහෝ විට දේශපාලන බළල් අතකි. එනම් ඔවුහු කිසිම සරණක් නැතුව දේශපාලනඥයන්ගේ සහ දේශපාලන නායකයන්ගේ කුහක අරමුණුවල ඉත්තෝ වෙති. ඔවුන් දිගින් දිගටම සේවයෙන් ඉවත් කරන්නට ගියොත් බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමා මාර නඩුවක් පටලවා ගන්නා බව අපට විශ්වාසය. එය හොඳහැටි ඉල්ලන් කෑමක්ද වන්නේය.