මහවිරු සැමරුම් තවත් ගින්නකි

645

ත්‍රස්තවාදීන් සැමරීමට ලොව කිසිම රටක් ඉඩදෙන්නේ නැත. 2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනිදා, අඟහරුවාදාවකි. එදින ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරය ලොවම සලිත කිරීමට සමත්විය. මෙම ප්‍රහාරය සඳහා 19 දෙනෙක් සහභාගි වූ අතර එයින් 15 දෙනෙක් සවුදි අරාබි ජාතිකයන්ය. ඔවුන් ඔසාමා බින් ලාඩන්ගේ අනුගාමිකයන් විය. නමුත් මේ ත්‍රස්ත පිරිස සැමරීමට ඇමරිකාව හෝ සවුදි අරාබිය කිසිම විටක ඉඩතබන්නේ නැත. 2008 නොවැම්බර් 26 වැනිදා මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ අත්අඩංගුවට පත්වූ අජ්මාල් කසාබ් 2012 නොවැම්බරයේදී මරණ දඬුවමට ලක්කෙරිණි. නමුත් අප කිසිස්ම විටක මුම්බායි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පාකිස්තාන ජාතික ත්‍රස්ත සාමාජිකයන් සැමරීමක් දැක නැත. නමුත් මියගිය කොටින් සමරන්නට උත්සාහ ගන්නේ කවුරුන්ද? එය සැබවින්ම මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයකි. දකුණේ ජනයා කෑලි කෑලිවලට කඩා දැමූ මරාගෙන මැරෙන ත්‍රස්තයන්ට පහන් පත්තු කිරීම කවර සදාචාරයක්ද? මියගිය කොටි සාමාජිකයන් 24,379කගේ නම් සඳහන් කරමින් යාපනයේ මහවිරු සැමරුමක් පැවැත්වුණේ පසුගිය සතියේය. මේ හරහා සිදුකරන්නේ මියගිය කොටින්ට ප්‍රාණ වායුව පිඹීමක් පමණි. එයින් දෙමළ ජනයාට සිදුවන යහපත කුමක්ද? ප්‍රභාකරන් පරලොව ගොස් වසර 14ක් ගෙවී ඇති නිසා උතුරු ජනයා දැන් වඩා යහපත් දිවියක් ගෙවති. 2009 පසු බෝම්බ පුපුරන්නේ නැත. ගුවනින් බෝම්බ වැටෙන්නේද නැත. දරුවන්ට සතුටු සිතින් පාසල් යෑමට හැකිය. නමුත් කොටි සංවිධානයට බලය පතුරවා සිටි කාලයේ පාසල් දරුවන් බලෙන් පැහැරගෙන ගොස් සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා තුවක්කු අතට දුන් කාලය අපට අමතක නැත. දැන් මහවිරු සැමරුම් සඳහා එන තරුණයන් නැවත සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගන්නට කැමැත්තෙන් පසුවන්නේද ? කිසිසේත් නැත. නැවත වෙඩි කන්නට කැමති කවුද? එහෙත් මේ සැමරුම් සංවිධානය කරන්නේ කවරෙකු සතුටු කරන්නද? බටහිර කොටි හිතවාදීන් සතුටු කිරීම වෙනුවෙනි. ඒවා සංවිධානය කරන පුද්ගලයින්ට ඩොලර් මෙන්ම පවුම් යහමින් ලැබේ. ඒවා සමාජ මාධ්‍ය වෙත යොමුකිරීමෙන් ලොවපුරා අවධානය ලබා ගත හැක. ලන්ඩනයේ කොටි සැමරුම් පවත්වන කිසිවෙක් යළි යාපනයට හෝ මඩකලපුවට පැමිණ ජීවත්වන්නේද නැත. නමුත් සුවපහසු දිවිගෙවන ඩයස්ෆෝරා සාමාජිකයෝ යාපනයේ මහවිරු සැමරුම් දැක අත්පුඩි තලති. කිසිවිටක ඔවුන්ගේ දරුවන් හෝ ලංකාවට එවන්නේ නැත. නමුත් ලංකාවේ ඊලම වෙනුවෙන් ලන්ඩනයේ මරහඬ තලති. එහෙත් විදෙස්ගත කොටි හිතවාදීන් කිසිම විටක උතුරු නැගෙනහිර ජනජීවිතය නගා සිටුවීම වෙනුවෙන් උදව් කරන්නේ නම් නැත. මේ කණ්ඩායමට අවශ්‍ය කෙසේ හෝ නැවත වෙඩි පුපුරණු දැකීමයි. නමුත් එය යතාර්ථය නම් නොවේ.

යුද්ධය අවසන් වී වසර 14 පිරෙන විට පසුගිය මැයි මාසයේදී බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ සැමරුමක් නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව අපට මතකය. එය සැබවින්ම කොටි සැමරුම් කොළඹට ගෙන ඒමකි. මෙය කිසිවිටක සිදු නොවිය යුත්තකි. අරගල සමයේ නම් ගාලුමුවදොර මියගිය කොටි සැමරීම සිදු කෙරිණි. එය ඇත්තෙන්ම නීතියේ පාලනයක් නොතිබුණු කාලයකි. එදා මුල්තැන ලැබී තිබුණේ රටට හිතවත් අයට නොව රටට එරෙහි පිරිසටය. නමුත් ලන්ඩනයේ සිට ප්‍රභාකරන්ගේ මියගිය දියණිය කෘත්‍රිම බුද්ධිය හරහා පණගන්වා කරන්නට හදන්නේද තවත් නාඩගමකි. එය මේ රටට විශේෂයෙන්ම දෙමළ ජනයාත් නැවත අවුලට ඇද දැමීමකි. ද්වාරකාට නිදහසේ පරලොව සිටින්නට ඉඩ දිය යුතුය. ද්වාරකා පෙන්වා තවත් පරම්පරාවක් ගින්නට බිලිදිය යුතු නැත. මේ රටේ ඇතිවූ විනාශ හොඳටම ප්‍රමාණවත්ය. තවත් අවුල් අවශ්‍යම නැත.

advertistmentadvertistment
advertistmentadvertistment