අතිපූජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමින් වහන්සේ යුරෝපා සංචාරයක් සඳහා පසුගිය ජූනි දෙවන ඉරිදා ශ්‍රී ලන්කන් යූ.එල්. 503 දරන ගුවන් යානයෙන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළට වැඩම කළහ. උන්වහන්සේ පිළිගැනීම සඳහා එංගලන්තයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් ගාල්ලගේ මහතා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සැදැහැවත් පිරිසක් පැමිණ සිටියහ. එංගලන්තයට ඒමට පෙර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණද, ඥාණාලෝක ස්වාමින් වහන්සේ මඳ අසනීප ගතියකින් පසුවූ හෙයින් එම ගමන මග හැරීමට සිදුවිය.
මාසයක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ නිසා උන්වහන්සේට මඳ අසනීප තත්ත්වයක් ඇතිවූ හෙයින් වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණේ මඳක් විවේක ගෙන යුරෝපා සංචාරය ආරම්භ කරන ලෙසටය. මෙම සංචාරය ජූනි මස 23 වැනි දා ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේදී පැවැත්වෙන ධර්ම දේශනයෙන් නිමාවට පත්වීමට නියමිතය.
උන්වහන්සේ මීට පෙර 2017 වසරේදී ද යුරෝපයේ සංචාරයක යෙදුණු අතර එවර පැවැත්වූයේ සදහම් දේශනා පමණි. එහෙත් මෙවර සීල ව්‍යාපාර දෙකක් පැවැත්වේ. ඉන් පළමුවැන්න එංගලන්තයේ බර්මිංහැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේදී ජූනි මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැන්න ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේදී පැවැත්වේ.
ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරයේ ධර්ම දේශනය පැවැත්වෙන්නේ ජුනි මස 14 වැනිදාය. සියලුම ධර්ම දේශනා සිංහල භාෂාවෙන් සිදු කෙරෙන අතර ජූනි මස 15 වැනි සෙනසුරාදා ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වෙන ධර්ම දේශනය පමණක් සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.
ඥාණාලෝක ස්වාමින් වහන්සේ උපත ලැබුවේ 1971 වසරේදීය. උන්වහන්සේගේ ගිහි නම ශානක ධර්මකීර්තිය. වයස අවුරුදු 14දී දකුණු අප්‍රිකාවට තම දෙමව්පියන් සමග ගිය ඔහු තරුණ දිවිය ගත කළේ ලෙසෝතෝ රාජ්‍යයේය. වයස අවුරුදු 23දී ශානක ධර්මකීර්ති, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළේ සයිප්‍රසයේදීය. ඔහුට වයස 28ක්වූ 1999 වසරේදී පැවිදි දිවියට පත්වූ උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 2001 වසරේදීය. ජර්මානු ජාතික ඥාණවිමල ස්වාමින් වහන්සේගේ ඇසුරේ භාවනා ක්‍රම ගැඹුරෙන් ඉගෙන ගැනීමට උන්වහන්සේට හැකි වුණේ පොල්ගස්දූව ආරාමයේදීයි. උන්වහන්සේ වැඩි කාලයක් මිඩංගු කරන්නේ නේපාලය, ටිබෙටයේ කයිලාෂ් කඳු වැටිය, හිමාලය සහ මිනිස් පුළුටක් නැති ශ්‍රී ලංකාවේ ඝන වනාන්තරවල අසීරු භාවනා ක්‍රම පුරුදු පුහුණු කරමින් ය.
මෙවර උන්වහන්සේ යුරෝපා සංචාරයෙහි යෙදෙන්නේ මාසයක පමණ කාලයක් ඔස්ටේ්‍රලියාවේ දාන, සීල, භාවනා වැඩ සටහන් කීපයක්ම පැවැත්වීමෙන් අනතුරුවය.