බලය ගැනීමට මුසාව සාර්ථක වුවත් දිනපතා භාවිතය සාර්ථක නොවේ

850

සභානායකගේ ප්‍රකාශයට හිටපු කථානායකගෙන් පිළිතුරු

බලය ලබාගැනීමට මුසාව සාර්ථක උපක්‍රමයක් වුව ද ඡන්දය දුන් ජනතාවට තමන් එදා ගත් එම තීරණය නිවැරදි යැයි දිනපතා එත්තු ගැන්වීමට මුසාව භාවිතා කිරීම කෙටිකාලීනව වුවද සාර්ථක නොවන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉකුත් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මා 1983 මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි දින සිට 2020 අගෝස්තු මස කථානායක ධුරයට පත්ව එම වසරේම සැප්තැම්බර් මාසය වන තෙක්ම” කිසිම දිනෙක රජයේ නිල නිවසක් ලබාගෙන නොමැති බව ප්‍රථමයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. කථානායක නිල නිවසට ද මා හට පැමිණිමට සිදුවූයේ රාජකාරිමය හා ආරක්ෂක හේතූන් මතය. එම නිල නිවසේ ගතකළ මුළු කාලය පුරාවටම මාගේ ආහාර පාන සඳහා වියදම් කළේ මාගේ පෞද්ගලික මුදල් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. කථානායකවරයකුගේ ආහාර පාන සඳහා රජයේ මුදල් වැය කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ද නොමැත. එහෙත් විශේෂ අමුත්තන්” විදේශ තානාපතිවරුන් හෝ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණෙන අවස්ථාවලදී” ඔවුනට සංග්‍රහ කිරීම රාජකාරීමය කටයුත්තක් වන බැවින් එවැනි වියදම් කථානායකවරයාගේ වැය බරක් ලෙස සලකා රජයේ වියදමින් සිදු කරනු ලබයි. එවැනි වියදම් සියල්ල එකතු කර එය මාගේ පෞද්ගලික ආහාර වේල් සඳහා දැරීමට සිදුවූ වැය බරක් ලෙස හුවා දැක්වීම ගැන මාගේ කලකිරීම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

එසේම 1983 සිට 2020 අගෝස්තු මස කථානායක ධුරයට පත්වන තෙක්ම” විවිධ අමාත්‍යධුර දැරූ සමයන්වල පවා තනි වාහනයකින් ගමන් කළ මා හට කථානායක ධුරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සිදුවූවක් මෙන් ආරක්ෂක රථ පිරිවරාගෙන ගමන් කිරීමට සිදු විය.

සෑම කථානායකවරයකු වෙනුවෙන්ම වාහන 3ක් වෙන් කරන අතර (නිල වාහනය හා පරිවාර රථ දෙකක්) ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජීප් රථයක් ද වෙන්කර තිබුණි. මාගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා වෙන් කර තිබුණේ මෙම වාහන පමණක් බව දන්වනු කැමැත්තෙමි.

මීට අමතරව මාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් පස්දෙනකු සඳහා වාහන 5ක් ද ඒ සඳහා ඉන්ධන ද වෙන්කර තිබුණි. එම නිලධාරීන් සඳහා ලබාදුන් වාහන හා ඉන්ධන වර්තමාන රජයේ ජනාධිපති ලේකම්වරයා විසින් 2025 ජනවාරි මස 21 වැනි දින නිකුත් කළ” මැති ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල දීමනා පිළිබඳ උපදෙස් පත්‍රිකාවේ සඳහන් චක්‍රලේඛවලට අනුකූලව ලබාදී ඇත.

එබැවින් මා වෙත ලබා දී තිබූ වාහන තුනට මාස නවයකට ලක්ෂ 334ක ඉන්ධන ලබාදීම සංඛ්‍යාත්මක වුව ද විය නොහැකි බැවින් හා වාහන සම්බන්ධ ධාවන කාලසටහන් පාර්ලිමේන්තුව සතුව ඇති බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ විගණනයක් කරන ලෙස ඉල්ලා සිටිමි.

කෙටි පිළිතුරු අපේක්ෂා කරන සමාජ පසුබිමක මීට වඩා සවිස්තර දත්ත ම විසින් ඉදිරිපත් කිරීම නිෂ්ඵල වුවද” සත්‍ය ගවේෂණයට කැමැති මාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ඉහත සඳහන් විස්තර හා ඉදිරිපත් කළ අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් 2023/2024 වර්ෂවල පමණක් නොව මා පත්වූ 2020 වර්ෂයේ සිට හා ඊට පෙර කාලවල විස්තර වුව ද ලබාගෙන” සම්පූර්ණ විශ්ලේෂණයක් කර පළ කරන ලෙස ඉල්ලා සිටිනු කැමැත්තෙමි. එසේම මේ සම්බන්ධයෙන් යම්කිසි අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් වහාම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.

රාජ්‍ය දේපළ ප්‍රකෝටි ගණනින් විනාශ කරමින් හා රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරීමට කටයුතු කළ අයටම රාජ්‍ය දේපළ ආරක්ෂා කරමින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සිදුවීම දෛවයේ සරදමක් ලෙස සමහරුන් විග්‍රහ කළ ද” මා එය දකින්නේ කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව අප රටේ අනාගත යහපත වෙනුවෙන් සිදුවූ ආශිර්වාදයක් ලෙසයි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද ටයි කෝට් හැඳගත් පමණින් කෙනකු මහත්මයකු නොවන බවත්” මහත්මයකු වන්නේ හැදියාවෙන් හා ක්‍රියාවෙන් වන බවටත් කළ ප්‍රකාශය සමග මා සම්පූර්ණයෙන් එකඟ වන අතර” එයට ඌනපූරණයක් ලෙස දරන තනතුර කවර තරාතිරමක වුව ද පුද්ගලයකු මහත්මයකු නොවන බව ද එක්කරනු කැමැත්තෙමි.

අකිත පෙරේරා” රනිල් ධර්මසේන


advertistmentadvertistment